ඇතැම් නිර්මාණවල ප්‍රධාන චරිත මෙන්ම සෙසු චරිත ද සමාජයේ නිතර කතාබහට ලක්වන අවස්ථා ඕනෑතරම්ය. එවන් චරිතයන්හි රංගන ඉරියවුවක් හෝ දෙබසක් ජනප්‍රිය වීම නිසා නිර්මාණය ජනප්‍රිය වන අවස්ථා ද නැතුවාම නොවේ. වාසනා බාලසූරිය ද බොහෝ නිර්මාණවලට ආරාධනා ලබන රංගන ශිල්පිනියකි. එමෙන්ම ඇය කිවිඳියකි. ලේඛිකාවකි. ඉරේෂ් ලොකුබණ්ඩාරගේ ආයෙමත් ආදරෙන් ටෙලි නිර්මාණයේ රංගනය මෙන්ම කෝපි කඩේ ඒකාංගික ටෙලි නාට්‍ය මාලාවේ රංගනය ද ප්‍රේක්ෂකයන්ගේ කතාබහට ලක්වූ අවස්ථාවන්ය. පුංචි තිරය, රිදී තිරය මෙන්ම ප්‍රධාන භූමිකා ඔස්සේ ඇය වේදිකාවේ ද අපට හමුවන චරිතයකි.
වාසනා බාලසූරිය කියන්නේ ගොඩක් නිර්මාණවලට ආරාධනා ලබන රංගන ශිල්පිනියක් කියල කිවුවොත්?
මෑත කාලීනව විකාශය වුණු බොහෝ නිර්මාණවලට මං රංගනයෙන් දායක වුණා. ප්‍රධාන චරිතම නොවුණත් යම්කිසි දෙයක් කරන්න පුළුවන් චරිතවලට ආරාධනා ලැබුණා. මං ගැන යම්කිසි විශ්වාසයක් තියෙන නිසානෙ එහෙම ආරාධනා ලැබෙන්නෙත්. මට හිතෙනවා මං ඒ විශ්වාසය රකින්න ඇති කියලා. මේ දවස්වල මං මවු පදවිය බලාපොරොත්තුවෙන් රංගනයෙන් ටිකක් ඈත්වෙලා හිටියත්, දිගටම ආරාධනා ලැබුණා. ඒ ගැන ගොඩක් සතුටුයි.
ඔබ කිවිඳියක්, ලේඛිකාවක් විදිහටත් නම ගිය කෙනෙක්?
ලේඛනය කියන්නෙ මගේ ඇඟේම තියෙන දෙයක්. ඉස්සර ඉඳන්ම පත්තරවලට කවි ලිවුවා. නව කතා, කෙටි කතා ලිවුවා. අදටත් මා ගාව ඒව එකතුවක් විදිහට තියෙනවා. රංගනයට යොමු වුණාට පස්සෙ ලේඛනය පැත්ත ටිකක් අඩු වුණත් ලිවීම නතර කළේ නෑ. මගේ කතා ෆේස්බුක් පේජ් එකේ කොටස් වශයෙන් පළ කළා. ඒවටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. බොහෝදෙනාගේ ඉල්ලීම් තිබුණා ඒව නව කතා විදිහට පළ කරන්න කියලත්. මේ වෙද්දි මගේ නව කතා දෙකක් නිකුත් වෙලා තියෙනවා සඳගිරි කුමරී සහ නුඹ පාරමිතාවක් නමින්. තව එකක් ලබන අවුරුද්දෙ නිකුත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ගොඩක් දුරට මං පාදක කරගන්නේ කාන්තාව මෝටිවේට් කරන තේමාවක්. ප්‍රශ්නවලින් හිරවෙලා, මිරිකිලා අඬ අඬාම ඉඳල ඵලක් නෑ. ඔවුන්ට නැඟිටින්න, දිරිමත් වෙන්න, ජය ලබන්න අවශ්‍ය උත්තේජනය ලබාදෙන්නයි මං උත්සාහ කරන්නේ.
රංගනයට පිවිසීම ගැන කතා කළොත්?
මුල්ම රංගන අත්දැකීම ලබන්නේ ටී. එන්. එල් නාළිකාවේ විකාශය වුණු රස කතා ඒකාංගික ටෙලි කතා මාලාවෙන්. ඒ සඳහා මට අවස්ථාව ලබාදුන්නේ පත්මා පෙරේරා. ඊට පස්සෙ සත්පුරවැසියෝ, හිරු කුමරිය වගේ ටෙලි නිර්මාණවලට දායක වුණා. එතැනින් පස්සෙ අවුරුදු කිහිපයක්ම රංගනයෙන් ඈත්වෙලා හිටියා. ඒ අතරතුර තමයි වැඩිපුරම ලේඛනයට යොමු වුණේ. සිළුමිණ, ලංකාදීප, මවුබිම, නවලිය, සිරිකත වගේ පත්තරවලට කවි ලිවුවා. සුනිල් ලියනාරච්චිගේ ‘සිලෝන් සිල්වා‘ වේදිකා නිර්මාණයේ ප්‍රධාන චරිතය ඔස්සේ නැවතත් රංගනයට පිවිසුණා. මට ඒක විශේෂයි. මං ඒකෙ අවුරුදු 70ක විතර වයසක චරිතයක් නිරූපණය කළේ. බිමල් ජයලංකාගේ ‘32 වත්ත‘, බැමි, නිම්නැති ආශා, මැඩම් චෙරියෝ, කන්ඩයි ආවේ කාලයි යන්නේ, පදමානවක වගේ වේදිකා නිර්මාණවලටත් දායක වුණා. වේදිකාවෙදි මූලික ගුරුහරුකම් ලැබුණේ රත්නසිරි පරණවිතාන සර්ගෙන්. 2001දි මුලින්ම වේදිකාවට එන්නේ පතිරාජ එල්. එස් දයානන්ද සර්ගේ සිසී සහ බාරුසි නිර්මාණයෙන්. ඒක ද්විත්ව චරිතයක්. ටෙලි නිර්මාණ අතර මහවිරු පණ්ඩු, තුන්පනේ, රේස්, බයෝ, ද මර්ඩර්, කියාදෙන්න ආදරේ තරම් ගොඩක් ජනප්‍රිය වුණු නිර්මාණ. ඒ අතරින් කියා දෙන්න ආදරේ තරම්, දෙකොන් මාරුව, කෝපි කඩේ චරිත ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගියා. සිනමා නිර්මාණ කිහිපයකටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ක්‍රිෂාන්ත වීරමන්ගේ අයිස් වගේම කීර්ති රත්නායකගේ භ්‍රමණය ඉදිරියේ දී තිරගත වීමට නියමිතයි. ඊට අමතරව මියුසික් වීඩියෝවලටත් සම්බන්ධ වුණා. ශිරාන් පුෂ්පකුමාරගේ අකුර අකුර කියන ගීතයට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා.
මේ වෙද්දි ඔබ ගීත රචනයටත් යොමු වෙලා නේද?
මං ලියපු ගීතයක් ඉන්ද්‍රජිත් දොලමුල්ල විසින් ගයනවා. මේ වෙද්දිත් ඒක යූටියුබ් හරහා විකාශය වෙමින් හොඳ ප්‍රතිචාර ලබනවා.
ඔබේ සැමියාගෙන් ලැබෙන සහාය ගැන සඳහන් කළොත්?
එයා ප්‍රියන්ත අචල කුමාර. ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. ඒත් ඔහු මාව හොඳින් තේරුම් අරන් මගේ ගමනට ලොකු සහායක් දෙනවා. මං මේ තැන ඉන්නෙ එයා නිසා කිවුවත් හරි. මං නිර්මාණයක් ගැන මොකක් හරි දෙගිඩියාවකින් හිටියොත් නෑ නෑ ඔයාට ඒක පුළුවන්, ඔයා ඒක කරන්න කියලා එයා තමා මාව දිරිමත් කරන්නෙ.