Home » ඔන්ලයින් පනත කාලීන අවශ්‍යතාවක්

ඔන්ලයින් පනත කාලීන අවශ්‍යතාවක්

by Mahesh Lakehouse
November 11, 2023 12:30 am 0 comment

ත්මන් ලෝකය දත්ත මත ගොඩනැඟුණු තොරතුරු ලෝකයක් බවට පත්වී ඇති බැවින් මිනිසාගේ පැවැත්ම සඳහා එකී දත්ත සහ තොරතුරුවල ආරක්ෂාව සහ විශ්වසනීය බව අත්‍යවශ්‍ය කරුණක් බවට පත්වී ඇත.

යම්කිසි පුද්ගලයකුට අයත් පෞද්ගලික දත්ත ඔහුගේ අවසරයකින් තොරව වෙනත් අයකුට භාවිත කිරීමට ඉඩ නොදීමේ අයිතිය එනම්, තොරතුරු පෞද්ගලිකත්වය මෙහිදී සුවිශේෂී වේ.

මේ වන විට ලෝකයේ බොහෝ රටවල් පෞද්ගලික දත්ත ආරක්ෂණ නීති ක්‍රියාත්මක කරන අතර, එයින් අසත්‍ය තොරතුරු ප්‍ර‍චාරණය වැළැක්වීම මෙන්ම සත්‍ය වූ තොරතුරු පවා ඒවායේ හිමිකරුවන්ගේ අවසරය‍කින් තොරව අනාවරණය කිරීම හෝ ප්‍රයෝ‍ජනයට ගැනීමට සීමා පනවා ඇත. එහෙත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය කෙබඳුද? ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රකාශකයකු පැවසුවේ අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ඔස්සේ සිදු වන හිරිහැර සම්බන්ධයෙන් මසකට පැමිණිලි දහසක් පමණ එම ආයතනයට ලැබෙන බවයි. ඒ වාර්තා වන සංඛ්‍යාව පමණක් වන අතර, වාර්තා නොවන එවැනි සිදුවීම් සංඛ්‍යාව ඊට වඩා බොහෝ වැඩි විය හැකිය.

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් විසින් ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත’ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගනිමිනි. ඉකුත් සැප්තැම්බර් 15 වැනිදා ගැසට් පත්‍රයේ පළ වූ මෙම පනත් කෙටුම්පත ඔක්තෝබර් 3 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

එසේ වුවද එදිනම මෙම පනත් කෙටුම්පතෙහි අන්තර්ගත ඇතැම් විධිවිධාන හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පවසමින් මාධ්‍යවේදියකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේය. නීතිපතිවරයා වගඋත්තරකරු ලෙස නම් කරමින් ඉදිරිපත් කළ එම පෙත්සම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කළ පළමු පෙත්සමයි. පනත සම්බන්ධයෙන් විවිධ පුරවැසියන් සහ සංවිධාන විසින් ඉදිරිපත් කළ පෙත්සම් සංඛ්‍යාව 45කි.

ආර්. එම්. තරිඳු උඩුවරගෙදර, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ එහි ලේකම් දුමින්ද සම්පත්, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, එරංග ගුණසේකර, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, මීඩියා ලෝෆෝරම් ගැරන්ටි ලිමිටඩ්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් දුමින්ද නාගමුව, අම්බිගා සතාකුගනාදන්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති කෞශල්‍ය නවරත්න, ටි. කේ. ද සිල්වා, ඩබ්ලිව්. ඩී. ජේ. පීරිස්, කෞශල්‍යා ආරියරත්න, රංග කලංසූරිය, වීදිය පතිරගේ විජයානන්ද ජයවීර, ලංකා ගුරු සංගමයේ ලේකම් පී. ජෝසප් ස්ටාලින් ප්‍රනාන්දු, එම්. ආරා. එම්. නජා, ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, එම්. එම්. රහුමාන්, ජී. ටී. ඒ. කුමාර, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, එම්. ටී. වී. චැනල් පෞද්ගලික සමාගම, ශාන්ත ප්‍රදර්ශන විජේසූරිය, සී. ඒ. රන්මල් අමරසිංහ, තරුණ නීතිඥ සංගමයේ විධායක සභික ජේ. දෙහිඅත්තගේ, ඒ. ඩී. ලියනආරච්චි, ඩී. එම්. ආර්. එස්. සේනාරත්න, ඩී. ඩී. ගමගේ, රසික ජයකොඩි, පී. එම්. දහනායක ගෙදර, ඒ. ඒ. එම්. ආර්. අලී, උදය කළු පතිරණ, ජී. ඩබ්ලිව්. ඒ.ජේ. සී. එම් ද සිල්වා, විනිවිද පෙරමුණේ මහ ලේකම් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු, ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජෙෆ්රි අලගරත්නම්, ස්ටාර් පබ්ලිකේෂන් පෞද්ගලික සමාගම,අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, වයි. එල්. ආරියවංශ, ඒ. ආර්. වීරසිංහ, මයික් ස්ටීව් ජෝර්ජ් ග්‍රයිව්, සත්ත්ව සහ පරිසර අයිතීන් උදෙසා වන සංවිධානය, ආචාර්ය වී. චන්ද්‍රසේකරම්, දොන් ඒ.එස්. එගොඩ මහවත්ත, ඒ. එල්.එම්. කේ. නානායක්කාර, බී. එච්. ඊබ්‍රහිම්, ඒ. ඒ. ටී. චාමර සහ තරිඳු ජයවර්ධන එම පෙත්සම්කරුවන්ය.

ඒ ආකාරයෙන් සමාජය තුළ විශාල කතාබහකට තුඩු දුන් ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත’ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවක් පිළිබඳ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ ඉකුත් නොවැම්බර් 07 වැනිදා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ඒ අනුව එම පනත් කෙටුම්පතේ වගන්ති 31ක් පිළිබඳ ලබා දී ඇති සංශෝධනයන්ට යටත්ව පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ උදය රොහාන් ද සිල්වා පනතේ නීතිමය තත්ත්වය පිළිබඳ මෙසේ පැහැදිලි කළේය.

“සාමාන්‍යයෙන් පනතක් පාර්ලිමේන්තුවේ සම්මත වීමට ප්‍රථම ඒ කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කළ පසු ඒ පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා නම්, ඕනෑම පුරවැසියකුට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් ඒ පිළිබඳ කරුණු දැක්වීමක් කළ හැකියි. ඒ අනුව මේ පනත සම්බන්ධයෙනුත් ඉදිරිපත් වූ සියලු කරුණු දැක්වීම් සලකා බැලීමෙන් පසුවයි ශ්‍රේෂ්ඨාධිකරණය එකී තීන්දුව ප්‍රකාශ කර තිබෙන්නේ. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනතේ යම් යම් වගන්තිවල තිබෙන ගැටලුකාරී තත්ත්වයන් එනම්, ව්‍යවස්ථාවට පටහැණි විය හැකි වීමට බලපෑ හැකි කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාට කරුණු දැක්වූවාට පසු නීතිපතිතුමා ඒ පිළිබඳ එකඟත්වය ප්‍රකාශ කිරීමෙන් පසු පනත පාර්ලිමේන්තුවේ පළමු වර විවාදයට ගෙන ඉන්පසුව කමිටු අවස්ථාවේදී ඒ අදාළ වගන්ති වෙනස් කරන බවට පොරොන්දුවක් දී තිබෙනවා.

ඒ පොරොන්දුව මත ඒවා වෙනස් විය යුතු ආකාරය පිළිබඳ නිර්දේශයන් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දක්වා තිබෙනවා.

ඒ වගන්ති එලෙසම පවත්වා ගෙන යනවා නම් එවැනි අවස්ථාවකදී සරල බහුතරයකට එහා ගිහින් පාර්ලිමේන්තුවෙන් විශේෂ ආකාරයට තුනෙන් දෙකකට වඩා වැඩි ඡන්දයකින් සම්මත කරගැනීමට සිදු වනවා. ඒ වගේම කමිටු අවස්ථාවේදී නීතිපති එකඟ වී ඇති පරිදි අදාළ ප්‍රකාශ වෙනස් කරනවා නම් සරල බහුතරයකින් පනත සම්මත කර ගත හැකියි. එම සංශෝධනය කළ පසු මේ පනත කිසිම ආකාරයකින් අපේ ව්‍යවස්ථාවට පටහැණි නොවන වගන්ති ඇතුළත් පනතක් ලෙස පිළිගත හැකි බවටයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප්‍රකාශ වී තිබෙන්නේ. ඒ නිසා මේ කරුණු සියල්ල පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරලා ඉතා පහසුවෙන් එම පනත සම්මත කරගැනීමට හැකියාව ලැබෙනවා.

සමාජ මාධ්‍යවලින් ජනතාවට වැරදි ආකල්ප දෙන, ජනතාව පීඩනයට පත්කරලා වංචා සහගතව මුදල් උපයන පුද්ගලයන් මේ පනතට බයයි. ඒ නිසා ඔවුන් මේ පනත ගැන වැරදි මත සමාජගත කිරීමට උත්සාහ කරනවා. ඔන්ලයින් ක්‍රමවේදය යටතේ විවිධ ආකාරයට ජනතාව නොමඟ යැවීමට, අපචාර සඳහා ළමුන් පොලඹවා ගැනීමට, කාන්තාවන් වෙළෙඳාම් කිරීමට උත්සාහ කරන හැමෝටම මේ පනත යටතේ වැට බැඳෙනවා. ඒ වගේම ඔවුන්ට විරුද්ධව ඉතා පහසුවෙන් නීතිමය කටයුතු කරන්නත් අවස්ථාව සැලසෙනවා. ඒ නිසා මේ පනතට විරෝධතා දක්වන අයගේ අදහස මේ පනත සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීම නම් එය රටට කරන විශාල හානියක්. ”

ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන පැවසුවේ සයිබර් අවකාශයේ සිදු වන විවිධ වංචනික ක්‍රියා, හිංසන සහ වෙනත් අවභාවිත සම්බන්ධ ප්‍රශ්නවලට නීතිමය, අධ්‍යාපනික සහ සමාජයීය මට්ටම්වලින් ප්‍රතිචාර දැක්වීම අවශ්‍ය බවත් නීතිවලින් පමණක් ශිෂ්ට සමාජයක් බිහිකළ නොහැකි බවත්ය. ඒ පිළිබඳ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“ඔන්ලයින් සුරක්ෂිත භාවයේ නාමයෙන් සයිබර් අවකාශයට අසාධාරණ ලෙස සීමා, තහංචි සහ දණ්ඩන පැනවීම පිළිබඳ අහිතකර පූර්වාදර්ශ අධිකාරිවාදී රටවල දැකිය හැකියි. එබඳු දරදඬු නියාමනයක් ප්‍රජාතන්ත්‍රවාදී රටකට උචිත නැහැ. අපට අවශ්‍ය වන්නේ ඔන්ලයින් අවකාශයන්හි බහුවිධ ප්‍රතිලාභ ප්‍රශස්ත කරන අතරම ඒ ඔස්සේ මතු වන හිංසන සහ වංචනික ක්‍රියාසමනය කර ගැනීමට තුලනාත්මක නියාමන රාමුවක්.

සමාජයේ හැම ප්‍රශ්නයක්ම නීති, නියාමන හෝ දණ්ඩනවලින් කිසිසේත්ම විසඳිය නොහැකියි. සයිබර් අවකාශයේ යහ භාවිතය සඳහා ඩිජිටල් සාක්ෂරතාව පුළුල් කිරීම, විචාරශීලී චින්තනය ප්‍රවර්ධනය කිරීම මෙන්ම ගෝලීය ඩිජිටල් සේවා සපයන සමාගම් සමඟ සන්ධානගතව සන්නිවේදන වගවීමේ ක්‍රමවේදයක් හැකි ඉක්මනින් හඳුන්වා දීම ද අවශ්‍යයි.”

රජය විසින් කෙටුම්පත් කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත මඟින් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ක්‍රියාකරකම් කිහිපයක් වැරදි ලෙස අර්ථ ගන්වා ඇත. ඒ අනුව ළමා අපයෝජකයන්ට ද වැට බැඳේ.

ළමයින්ට සහ කාන්තාවන්ට සිදුවන අපචාර සහ හිංසන සිදුවීම් පිළිබඳ නිබඳව වාර්තා වන ළමා හා කාන්තා කාර්යාංශයේ අපයෝජන විමර්ශන අංශයේ නියෝජ්‍ය පොලිස්පතිනී රේණුකා ජයසුන්දර පැවසුවේ මෙම පනත ගෙන ඒම කාලෝචිත අවශ්‍යතාවක් බවය.

“අන්තර්ජාලය තොරතුරු දැනගැනීමේ අවශ්‍යතාව ඉක්මවා ගොස් එය මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතයට හිංසාවක්, පීඩාවක් වී ඇති බවට අපට බොහෝ අත්දැකීම් තිබෙනවා. එම නිසා එහි නියාමනයක් තිබීම අත්‍යවශ්‍ය කාරණයක්. නීතියෙන් සියලු මිනිසුන්ගේ අදහස් දැක්වීමේ අයිතිය ආරක්ෂා විය යුතුයි. නමුත් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය රැකෙන අතරේ අනිත් පුද්ගලයන්ගේ ගෞරවයත් ආරක්ෂා විය යුතුයි. සියලු දෙනාටම මානසික හිංසාවෙන්, අවමානයෙන් තොරව ජීවත් විය හැක්කේ ඉහත කී දෙපාර්ශ්වයේම අයිතිවාසිකම් ආරක්ෂා වන ක්‍රමවේදයක් තුළයි. මීළඟට අප අදහස් විමසුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ නීති අධ්‍යයන ඒකකයේ අංශ ප්‍රධානී ආචාර්ය තුසිත අබේසේකරගෙනි.

“සමාජ මාධ්‍ය යම් නියාමනයකින් යුක්තව සිදු විය යුතුය යන්න ලෝකය පුරාම පිළිගත් මතයක්. ඒ වගේම භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා වීමත් උත්තරීතර අයිතිවාසිකමක්.

මිනිසුන්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තිබිය යුතුයි. නමුත් එහි සීමාව කුමක්ද? එයින් සිදුවන අනිටු ප්‍රතිවිපාක මොනවාද? යන්න අතර සමබරතාවක් තිබිය යුතුයි. සරලව කියනවා නම් මිනිසුන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය දෙන අතර, එහි සීමාව තීරණය කිරීමේ හැකියාවකුත් නීතිය සතුවිය යුතුයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි පරිච්ඡේදයේ 14-1 යටතේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ලබා දී තිබෙනවා.

නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි පරිච්ඡේදයේ 15 වැනි වගන්තිය මඟින් 14 වැනි වගන්තියේ සීමාවන් ද සඳහන් වෙනවා. ඒ අනුව තෝරාගත් විශේෂ දේවල්වලට හානියක් වෙන අවස්ථාවකදී පුරවැසියාට සිය භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය එලෙසින්ම ක්‍රියාත්මක කිරීමේ අයිතියක් නැහැ.

විශේෂයෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන, මහජන පැවැත්මට හානිකර සහ අනිත් අයගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථාවක ඒ අයිතිය එලෙසින්ම ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නේ නැහැ.

සමාජ මාධ්‍ය සහ මාර්ගගත ක්‍රමයන් ඔස්සේ ලබා දෙන භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අසීමිත බව සහ එය නියාමනයකින් තොරව ක්‍රියාත්මක වන ආකාරයත් අපට දකින්න ලැබෙනවා. විශේෂයෙන් උපකරණය ඉතා වේගවත් නම්, ඉතා සුමට නම්, පාලනයට නතු කිරීමේ ඉඩකඩ අඩු නම් එවැනි දෙයකට පාලනයක් දිය යුතුයි යන්න අපි බැහැර නොකළ යුතු සත්‍යයක්. ඒ අදහසින් මාර්ගගත ක්‍රමයට ආරක්ෂණයක් පිළිබඳ පනතක් ගෙන එනවා නම් ජනතාවට ඊට එකඟ වීමට සිදු වෙනවා.”

ආචාර්ය තුසිත අබේසේකර වැඩිදුරටත් සඳහන් කළේ අයිතිවාසිකම් උත්තරීතර වූවත් ඒ උත්තරීතර බව රැකෙන්නේ කාටත් පිළිගත හැකි අයුරින් ක්‍රියාත්මක වන්නේ නම් පමණක් බවය.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division