Home » ලුමාලා රනින් සම්මාන දිනුවත් රටට විදෙස් විනිමය ගේන්න තවමත් බාධා

ලුමාලා රනින් සම්මාන දිනුවත් රටට විදෙස් විනිමය ගේන්න තවමත් බාධා

රටේ ආර්ථිකය නංවන්න ගැටලු විසඳා දෙන්න - නියමුවෝ ඉල්ලති

by gayan
November 11, 2023 12:30 am 0 comment

පාපැදිය අපූරු වාහනයෙකි. සමබරතාවකින් ගමන් කිරීමේ කලාව ප්‍රගුණ කරන්නකි. ඒ නිසා පාපැදියේ ගමන් කිරීම කලාවකි. එහි ගමන් කිරීම ආස්වාදයක් වුවද සමබරතාව ගිලිහී ගියහොත් වැටීම නැඟිටීම් නියතය. එය විශ්වාසයෙන් සහ ධෛර්යය ගමන් කළ යුතු ගමනකි; අලස නොවන මිනිස්සු සැමදා පාපැදියට පෙම් බඳිති.

එයට හොඳම උදාහරණය පාපැදි ලොවේ ඉහළින්ම වැජඹෙන ලුමාලා පාපැදියයි. දශක හතරකට ආසන්න කාලයක් පුරා වැටීම් නැඟීටීම් මධ්‍යයේ නිසැකයෙන්ම මහත් පන්නරයක් ලැබූ ජනප්‍රිය පාපැදි සන්නාමය ලුමාලා වෙයි. ජපන් බසින් ශක්තිය යන අරුත් දෙන ලුමාලා මෙරට ප්‍රමුඛ පෙළේ පාපැදිය බව අවිවාදිතයි. අභියෝග හමුවේ දිරියෙන් ඉදිරියට ඇදුණු ලුමාලා සියලු කඩඉම් පසු කරමින් දිගු ගමනක් පැමිණ ඇත. ඒ දිගු ගමන අගයමින් මේ මස පළමු වැනිදා පැවැති 2023 ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උලෙළේදී රන් සම්මානයෙන් පිදුම් ලැබුවේය.

ජපන් අර්ථයෙන් ශක්තිය නම් වන ලුමාලා සන්නාමය මෙරට පාපැදි ක්ෂේත්‍රයේ රනින් සරසන දිනය දක්වා ගිය ගමන එතරම් සුන්දර නැත. රෝද හතරේ වාහන සුලබ නොවූ 80 දශකයේ පාපැදි ලොවේ රජකර වූයේ ජපන් රටින් පැමිණි “ලුමාලා”ය. එදා පාපැදියක ගමන් කිරීමේ මූලික පාඩම බොහෝ දෙනෙකු උගත්තේ ද මේ පාපැදියෙනි. ලුමාලා පාපැදි කර්මාන්ත ශාලාව අද වන විට අක්කර තුනක් පුරා විහිඳුණු දැවැන්ත ගොඩනැඟිලි පරිශ්‍රයකි. වසර 38කට අධික කාලයකට, පරම්පරා 3ක පමණ සිට ශ්‍රී ලංකාවේ පාපැදි නිෂ්පාදනයේ ප්‍රමුඛයා ලුමාලා වීමට හේතුව වන්නේ නොයෙක් අභියෝග හමුවේ නොපසුබට දිරියෙන් ගමන් කිරීම නිසා බව නොරහසකි. පාණදුර, සරික්කාලමුල්ල, හේනමුල්ල, පරණ ගාලු පාර 119, ස්ථානයෙහි ඒ. ආර්. එම් නජ්බුදීන් නම් වන ව්‍යාපාරිකයා විසින් 1953දී ආනයනික භාණ්ඩ වෙළෙඳ ව්‍යාපාරයක් ලෙස සිටි සයිකල් ස්ටෝස් (city cycle stores) නමින් මේ පාපැදි ව්‍යාපාරය ආරම්භ කර ඇත. 1980 වසරේදී ලුමාලා වෙළෙඳ නාමය යටතේ ජපානයේ ප්‍රසිද්ධ පාපැදි නිෂ්පාදන ආයතනයකින් එම සන්නාමයෙන් මෙරට වෙළෙඳ පොළට ලුමාලා පාපැදි ආනයනය කර අලෙවි කිරීම එහි ආරම්භ විය.

පසුකාලීනව ජපානයේ ලුමාලා පාපැදි නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව වසා දැමීමෙන් අනතුරුව 1985 වසරේදී එම කර්මාන්ත ශාලාවේ සියලුම යන්ත්‍ර සූත්‍ර ද ලුමාලා සන්නාමය ද සම්පූර්ණයෙන් මිලදී ගැනීමට වත්මන් සභාපති එම්. එම්. මිෆ්ලාල් සමත් විය. මෙම ව්‍යාපාරය ශ්‍රී ලාංකිකත්වය වෙත පවරා ගැනීමෙන් පසුව දැවැන්ත ව්‍යාපාරයක් බවට පත් කිරීමේ පුරෝගාමියා වූයේ ද ඔහුය. ලුමාලා නම් ජපාන සන්නාමය යටතේ එක් ගොඩනැඟිල්ලක සේවකයන් තුන් දෙනෙකුගෙන් පාපැදි නිෂ්පාදන ආයතනයක් ලෙස මෙය ආරම්භ කෙරුණේ වත්මන් සභාපති මිෆ්ලාල්ගේ හිමිකාරීත්වය යටතේය. මෙම පාපැදි සමාගමය 1985 වසරේදී ඔහු විසින් සිටි සයිකල් ඉන්ඩස්ට්‍රිස් නමින් නාමකරණය කිරීමෙන් අනතුරුව කර්මාන්ත ශාලාව තුළදීම සියලුම අමුද්‍රව්‍ය නිෂ්පාදනය කර ගනිමින් පාපැදී නිෂ්පාදනය කිරීමට ආරම්භ කරන ලදී.

ඉන් අනතුරුව ඉතා කෙටි කලක් තුළ 2010 වන විට දේශීය වෙළෙඳ පොළ අතික්‍රමණය කරමින් විදෙස් වෙළෙඳ පොළ විජයග්‍රහණය කර සේවකයන් 1500ක් දක්වා පිරිස් බලය වැඩි විය. නිෂ්පාදන ධාරිතාව දිනකට පාපැදි 2000ක් දක්වා ඉහළ මට්ටමක් විය. 2010 වසරේදී ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට බයිසිකල් සැපැයුම් කරණයේ තුන්වැනි ස්ථානයට පත්ව ඇති අතර එහිදී එම බයිසිකල් අපනයනකරුවන්ගෙන් යුරෝපා සංගමයට වැඩිම පාපැදි සැපැයුම්කරු වූයේ ද සිටි සයිකල් ආයතනයයි.

එතැන් සිට දශකයකට අධික කාලයක් පාපැදි නිෂ්පාදකයන් අතර ප්‍රමුඛ පෙළේ නිෂ්පාදකයකු බවට පත්වෙමින් දේශීය වෙළෙඳ පොළ තුළ අංක එකේ නිෂ්පාදකයෙකු බවට ද පත් විය. පාපැදි නිෂ්පාදනයේ හිණි පෙත්තට පැමිණිමට සිටි සයිකල් ආයතනයේ තවත් නිෂ්පාදනයක් වන ලයිකන් නාමය යටතේ වන විද්යුත් පාපැදි ඇතුළු සියලුම වර්ගයේ පාපැදි නිෂ්පාදනය සහ අමතර කොටස් නිෂ්පාදනය සිදු කෙරෙන මෙම ආයතනය මඟින් දේශීය ආර්ථිකයට සිදුවන අති මහත් දායකත්වය අපි අගය කළ යුතුමය.

ලුමාලා ආයතනය විසින් 1997දී මැදපෙරදිග හා අප්‍රිකානු කලාපයට පාපැදි අපනයනය ආරම්භ කිරීමෙන් ඇරැඹි විදෙස් අපනයනය 1999දී යුරෝපා වෙළෙඳ පොළ ජය ගැනීමට සමත් විය. 2005 වසර වන විට ඉන්දියාවට සහ ඉන් අනතුරුව, පාකිස්ථානය ආදී ආසියානු රටවල්වලට මෙන්ම අප්‍රිකානු රටවල් සඳහා ද පාපැදි අපනයනය කිරීමට ‘සිටි සයිකල්

ආයතනය’ සමත් වී ඇත. රටේ පවතින අර්ථීක අවපාතය සමඟ අමුද්‍රව්‍ය සපයා ගැනීමට ඇති අසීරුව සහ බදු අය කිරීම නිසා පාපැදි නිෂ්පාදනය කිරීමට විශාල පිරිවැයක් දැරීමට සිදු වෙයි. දෛනික පාපැදි නිෂ්පාදනය පාපැදි 2000ක් දක්වා ඉහළ මට්ටමක තිබූ සිටි සයිකල් ආයතනයට එම ධාරිතාව අද වන විට සපුරා ගැනීම අසීරු කාරියකි. ඒ සඳහා අවශ්‍ය කම්හල් නිෂ්පාදන ක්‍රියාන්විතයට ආධාර අනුබල ලබාදීමට සහ අගය මත එකතු කරන බද්ධ සම්බන්ධයෙන් යම් සහනයක් සිටි සයිකල් ආයතනයට ලබාදීම වගකිවයුතු පාර්ශ්වයන්ගේ අවධානයට යොමු විය යුතු කරුණකි. එමඟින් දේශීය ආර්ථිකය ඔප් නංවන මෙම මහරු ව්‍යාපාරය අපේ රටේ අපනයන ආදායමට දක්වන දායකත්වය ද ඉහළ නංවා ගත හැකි බව සහතික ය.

මේ දේශීය නිෂ්පාදනයක් සම්බන්ධයෙන් මීට වඩා රජය විසින් මැදිහත් වන්නේ නම් තමන්ගේ නිෂ්පාදන ධාරිතාව වැඩි කර ගැනීමට හැකියාව ඇති බව ලුමාලා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අසිම් මිෆ්ලාල් පවසයි.

“අපේ සිටි සයිකල් ආයතනයේ නිෂ්පාදනය කරන ලුමාලා බයිසිකලය සම්පූර්ණයෙන් ලංකාවේ නිෂ්පාදනය කරන බයිසිකලයක්. ලංකාවේ හදනවා විතරක් නෙමෙයි ඇත්තටම මේ බයිසිකල් වෙනත් රටවලටත් අපනයනය කරනවා. ලුමාලා කියා කියන්නේ ලංකාවට ගෙන්වන ජපන් සන්නාමයක්. අපේ සිටි සයිකල් ආයතනයේ ලුමාලා ඇතුළු බයිසිකල් වර්ග රැසක් ඉන්දියාවට, අප්‍රිකානු රටවලට, මැද පෙරදිගට වගේම යුරෝපීය සංගමයේ රටවලටත් යැව්වා. නමුත් අදවනවිට යුරෝපා සංගමයට අපනයනය කළ පාපැදි සඳහා යම් තහනමක් තියෙනවා.

එය තහනමට හේතුව ලෙස යුරෝපා සංගමය ඉදිරිපත් කළේ විදේශීය වෙළෙඳපොළ සඳහා අපනයනය කරන පාපැදි සඳහා දේශීයව යොදා ගැනීම සියයට පනහකට වඩා වැඩි විය යුතු වීම, යුරෝපිය වෙළඳ පොළට අපනයනය සඳහා තිබිය යුතු මූලික සුදුසුකමයි. ඒ සුදුසුකම ආයතනය ඒ අවස්ථාවේ දි සපුරා නොතිබුණ බවයි.එහෙත් අපි ඒ සුදුසුකම හොඳින් සපුරා තිබුණා.

2013 යුරෝපය සංගමය මෙම එකතු කළ අගය සම්බන්ධ නියාමන දී අප විසින් දේශීය වෙළඳ පොළ සඳහා ආනයනය කරන ලද කරන අමුද්‍රව්‍ය ද විගණනය කිරීම නිසා අපගේ එකතු කළ අගය අඩුවෙන් පෙන්වීම මත අපගේ ආනයනය සඳහා වාරණයක් පැනවීම සිදු කළා. ඉන් අනතුරුව ‘ලුමාලා’ආයතනය එවකට හිමිකරු මොහොමඩ් මිෆ්ලාල් විසින් මේ වාරණය ඉවත් කිරිම සම්බන්ධයෙන් යුරෝපා සංගමයට විරුද්ධව නඩුවක් පැවරිම සිදු කළා. එම නඩුව විමසීම්වලදී දේශීය නිෂ්පාදන කාර්යයේදී එකතු කළ අගය 50% වැඩි බව තහවුරු වීම මත එම නඩුව අපි ජයග්‍රහණය කළා. ඉන් අනතුරුව නැවත යුරෝපා සංගමය අප ජයග්‍රහණය කරන ලද නඩුවට ඇපෑලක් ඉදිරිපත් කර එම ඇපෑලෙන් ද අපි ජයග්‍රහණය කළා.

අප නිවැරදි බවට තහවුරු වූ පසු අප විසින් නඩු කටයුතුවලට වැය කළ වියදම් ප්‍රතිපූර්ණය කරන ලෙසට යුරෝපා සංගමයට දැනුම් දී අපගේ වාරණය ඉවත් කිරීමට කටයුතු කරන ලෙසටත් තීන්දුව ලබාදී තිබුණත් අපට නැවත යුරෝපා සංගමයට අපනයනය කිරීමට මේ වනතෙක් අවකාශ ලැබිලා නැහැ. රටක් ලෙස ආර්ථීක අවපාතයකට මුහුණ පා ඇති මේ අවස්ථාවේදී මේ රටේ ආර්ථික ක්‍රියාවලියට යම් දායකත්වයක් ලබාදීමට අපිට හැකියාව තියෙනවා. යුරෝපා සංගමයට අප පාපැදි අපනයනය කරන කාලවකවානුවේදී විශාල විදෙස් විනිමයක් ඉපයීමට අපට හැකි වූ බව ද එම රටවලට පාපැදි අපනයනය කරන කාලවකවානුවේ දේශීය වශයෙන් විශාල පිරිසකට ඍජු හා වක්‍ර රැකියා අවස්ථා හිමි වුණා. ඒ නිසා අපිට සාධාරණයක් ඉටු කර දීමට මේ සඳහා මැදිහත් වන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ සම්බන්ධව වගකිව යුතු පාර්ශවයන් විසින් මැදිහත් වී යම් සහනයක් ලබා දෙන්නේ නම් රටට විදෙස් විණිමය ඉපයීමට අපිට හැකියාව තියෙනවා‘

යැයි එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා පවසයි. කිලෝ මීටරයකට රුපියලකටත් වඩා අඩු පිරිවැයක් යටතේ එක් ආරෝපණ වාරයකින් කිලෝ මීටර් 100ක පමණ ධාවනය කළ හැකි විදුලි පාපැදි ඇතුළු මාදිලි රැසක් ලුමාලා ආයතන විසින් නිෂ්පාදනය කරනු ලබයි. මෙම තාක්ෂණය යටතේ සාමාන්‍ය විදුලි පාපැදි, සංචාරකයන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද ද්විත්ව ආසන සහිත විදුලි පාපැදි, ඉවතලන ප්ලාස්ටික් බෝතල් ඇතුළු සැහැල්ලු කසළ එකතු කළ හැකි විශේෂ විදුලි පාපැදි, විදුලියෙන් ක්‍රියාත්මක වන රෝද පුටු, මගීන් ප්‍රවාහනය සඳහා ආසන සහිතව සකස් කළ විදුලි පාපැදි, අයිස් ක්‍රීම්, රස කැවිලි වැනි ජංගම අලෙවි කටයුතු සඳහා නිෂ්පාදනය කරන ලද විදුලි පාපැදි ඇතුළු නිෂ්පාදන මාදිලි රැසක් හඳුන්වා දී ඇති අතර ඉල්ලුම අනුව මහා පරිමාණයෙන් එම පාපැදි නිෂ්පාදනය කිරීමේ හැකියාව ද ආයතනය සතු වේ.

“ පාපැදි කර්මාන්තය ලංකාවට තරගකාරී කර්මාන්තයක්. ලංකාවේ හදන මේ පාපැදි තිබුණත් වෙනත් වගේ රටවලින් ආනයනය කරන පාපැදිත් ලංකාවේ වෙළඳ පොළට ආනයනය කරනවා. නමුත් ලංකාවේ හදන පාපැදිවලට වෙනත් රටවල පාපැදි එක්ක තරග කරන්න පුළුවන්. ලංකාවේ විතරක් නෙමෙයි; ලංකාවෙන් පිටතදීත් මේ තරගකාරිත්වය පවත්වා ගන්න පුළුවන්. රජය මුල් වෙලා ඒ දේ කරන්න අවශ්‍යයි. දේශීය පාපැදි නිපදවීමේ කර්මාන්තය ආරක්ෂා කරන්න පාපැදි ආනයනය කරන එක නැවැත්තුවොත් වෙන්නේ ඔය තරගකාරිත්වය නැති වෙන එකයි. රට ඇතුළෙන් අලුත් නිෂ්පාදකයෝ, අලුත් අපනයනකරුවෝ බිහි වෙලා. ඒ නිසා, එක පැත්තකින් බයිසිකල් මාෆියාවක් බිහි වෙලා. දේශීය නිෂ්පාදකයා බිඳ වැටිලා. කොහොම වුණත් ඩොලර් එක වැඩි වීමේ මේ වාසිය නිෂ්පාදකයන්ට ලැබෙන්නේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල අඩු නම් පමණයි.

යකඩ, වානේ වැනි දේවල් අවශ්‍ය පමණ ආනයනය කරන්න ඩොලර් නිකුත් නොකිරීම නිසා මිල විශාල ලෙස ඉහළ ගිහින්. ආයතනයේ විවිධ අංශවල දායකත්වයෙන් දේශීය වශයෙන් නිපදවන අපගේ පාපැදි කර්මාන්ත ශාලාවේ එක් එක් අංශ මඟින් සිදු කරන කාර්යභාරය නිරීක්ෂණය කිරීමට ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ආයතනයට පැමිණ ඇගැයීමට ලක්කිරීම ගැන අපි සතුටු වෙන බව ආයතනයේ සාමාන්‍යාධිකාරි රංජිත් සිරිවර්ධන පවසයි.

දේශීය සහ විදේශීය වෙළෙඳ පොළ අරමුණු කර ගනිමින් වාර්ෂිකව පාපැදි ඒකක 500,000 කට අධික ප්‍රමාණයක් නිපද වූ ලුමාලා සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන විදුලි පා පැදි (e-bike) ලයිකන් සන්නාමය යටතේ නිෂ්පාදනය කෙරේ.

කිලෝ මීටරයකට රුපියලකටත් වඩා අඩු පිරිවැයක් යටතේ එක් ආරෝපණ වාරයකින් කිලෝ මීටර් 100ක පමණ ධාවනය කළ හැකි ලයිකන් විදුලි පාපැදි ඇතුළු මාදිලි රැසක් සිටි සයිකල් ආයතන විසින් වර්තමානයේදී නිෂ්පාදනය කරනු ලබයි. මේ ලයිකන් පාපැදි සඳහා විශාල විදෙස් වෙළෙඳ පොළ ඉල්ලුමක් ඇති බව පවසන එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා මේ පාපැදි සඳහා දේශීය වෙළෙඳ පොළ පුළුල් කිරීමට යම් සහන ක්‍රමවේදයක් යටතේ ආයතනවලට මේ පාපැදි හඳුන්වාදීමට හැකියාව ඇති බව ඔහු පවසයි.

මෙම තාක්ෂණය යටතේ සාමාන්‍ය විදුලි පාපැදි, සංචාරකයන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද ද්විත්ව ආසන සහිත විදුලි පාපැදි, ඉවතලන ප්ලාස්ටික් බෝතල් ඇතුළු සැහැල්ලු කසළ එකතු කළ හැකි විශේෂ විදුලි පාපැදි, විදුලියෙන් ක්‍රියාත්මක වන රෝද පුටු, මගීන් ප්‍රවාහනය සඳහා ආසන සහිතව සකස් කළ විදුලි පාපැදි, අයිස් ක්‍රීම්, රස කැවිලි ඇතුළු වෙනත් දිවයිනේ ප්‍රසිද්ධ ආහාර නිෂ්පාදන මාර්ගත ක්‍රමය ඔස්සේ බෙදා හරින්නන් වැනි ජංගම අලෙවි කටයුතු සඳහා නිෂ්පාදනය කරන ලද විදුලි පාපැදි ඇතුළු නිෂ්පාදන මාදිලි රැසක් හඳුන්වා දී ඇති අතර ඉල්ලුම අනුව මහා පරිමාණයෙන් එම පාපැදි නිෂ්පාදනය කිරීමේ හැකියාව ද ආයතනය සතු වේ. සාම්ප්‍රදායික පාපැදිවලට අමතරව මාදිලි රැසක එනම් කුඩා දරුවන්ට විවිධ ක්ෂේත්‍රවල ජංගම අලෙවි කරුවන්ට පහසුකම් සහිත පාපැදි සහ විශේෂයෙන් ලයිකන් නාමය යටතේ විදුලි බයිසිකල් ඇතුළු බයිසිකල් රැසක් මේවන විට වෙළෙඳ පොළට හඳුන්වා දී ඇති බව ද ඔහු සඳහන් කරයි. විශේෂයෙන්ම විදුලි පාපැදි භාවිතයෙන් ශාරීරිකව මෙන්ම මූල්‍යමය අංශයෙන් ද විශාල ඉතිරියක් වෙයි. දිනපතා භාවිත කරන්නකුට මසකට රුපියල් 8,000ක් පමණ ඉන්ධන ඉතිරියක් මෙමඟින් හිමි වෙයි.

මෙරට මෙන්ම එක්සත් රාජධානිය, යුරෝපය, ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මැද පෙරදිග රාජ්‍යයන් ඇතුළු රටවල් රැසකට මෙම විදුලි පාපැදි සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව බව ද ආයතනයේ සාමාන්‍යාධිකාරි රංජිත් සිරිවර්ධන පවසයි.

මේ පාපැදි 100%ක් දේශීයව නිෂ්පාදනය කරන හෙයින් දරන්නට වන පිරිවැය ඉතා විශාලය. අමතර කොටස් ආනයනයේදීත් දේශීයව අලෙවි කිරීමේදීත් බදු අය කිරීම නිසා මේ ආයතනය පවත්වා ගෙන යාමේ දැඩි අසීරුවක අපි පත්ව ඇති බව එහි කළමනාකාර අධ්‍යක්ෂ අසීම් මිෆ්ලාල් පවසයි.

ආවස්ථික පිරිවැය නිෂ්පාදන පිරිවැය මත මේ නිෂ්පාදනයන්ගේ උසස් භාවයත් නිසා අනෙක් විකල්ප පාපැදි ආනයනකරුවන් වඩාත් අඩු මිලට භාණ්ඩ සැපයීමට නොහැකි බව කළමනාකාර අධ්‍යක්ෂ ආසිම් මිෆ්ලාල් පවසයි.

ලුමාලා කියන්නේ සියට සියක් ම ලංකාවේ හදන බයිසිකලයක්. පාපැදි නිපදවීමේ කර්මාන්තය ලංකාවට තරගකාරී විය හැකි කර්මාන්තයක්. ඒ තරගකාරීත්වය තුළ යම් විධිමත් බවක් අත්‍යවශ්‍ය බව එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා පවසයි.

ලුමාලා මෙරට නිෂ්පාදනය කරන සිටි සයිකල් ආයතනයේ පාපැදි ප්‍රමිතියෙන් උසස් බව නොරහසකි. වෙනත් රටවලින් ආනයනය කරන පාපැදිත් ලංකාවේ වෙළඳපොළට මේ වන විට පැමිණ ඇත. ලංකාවේ සිටි සයිකල් ආයතනයේ පාපැදි ලංකාවේ පමණක් නොවෙයි වෙනත් ඕනෑම රටක් සමඟ තරග කළ හැකි ප්‍රමිතියක් ඔවුන් සතු වෙයි. ලංකාවෙන් පිටතදීත් මේ තරගකාරිත්වය පවත්වා යාමට ඇති බාධා ඉවත් කර දිමට එකතු කළ අගය මත පනවන බදු සම්බන්ධයෙන් යම් තීන්දුවක් තීරණයක් ගැනීමට.

රජය මුල් වී යම් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව මෙහි කළමනාකාරීත්වයේ අදහසයි.

“දේශීය පාපැදි නිපදවීමේ කර්මාන්තය ආරක්ෂා කිරීමට පාපැදි ආනයනය කිරිමේදී යම් නියාමනයක් ප්‍රමිතියක් අනිවාර්ය බව ද ඔවුන්ගේ අදහසයි. දේශීය කර්මාන්තයක් වන සිටි සයිකල් මේ රටේ පාපැදි අතර ඉහළින්ම වැජඹෙන සන්නාමය හිමි කරගත් පාපැදියයි. එය රැක ගැනීම් සමස්ත ජාතියේම වගකිමකි.

ඡායාරූප – දුෂ්මන්ත මායාදුන්න

lසුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division