Home » පන්තියේ සිසුන් කණ්ඩායම් කර අත්හදා බැලු ගුරුළු පක්ෂි පාඩම

පන්තියේ සිසුන් කණ්ඩායම් කර අත්හදා බැලු ගුරුළු පක්ෂි පාඩම

by thanushika
November 11, 2023 12:30 am 0 comment

ගුරුළුව ඉතා අලංකාර විනෝදජනක ශාස්ත්‍රයක් බව මට පෙනේ. ඉස්කෝලේ හිතවතුන්ගේ, ගුරුවරුන්ගේ ඒ වගේම සමහර ළමයින්ගේ නම් මම ගැණ බැලීමි. මාටින් ගුරුන්නාන්සේ කීවාක් මෙන්ම ඒ ඒ නම්වලට අයිති සත්ත්ව සංකේතවල ගුණ ලක්ෂණ ඒ ඒ නම් හිමියන්ට තිබෙන බව මට පසක් වී තිබේ. මගේ නම ගැණ බැලු විට ආයේ දිවියාය. දිවියා බළල් පවුලේ එකෙකි. හෙමින් හෙමින් ගොදුර වෙතට යයි. ඒ කියන්නේ අරමුණ වෙත සෙමින් සෙමින් යයි අවසානයේදී වේගයෙන් අරමුණු ඉටු කරගැනීම සඳහා ක්‍රියා කරයි. සඳමාලිගේ නම මීයාට අයිති එකකි. මීයා පොළොව හාරාගෙන යන්නෙකි. ගණ දෙවියන්ගේ වාහනය බවට පත්වනුයේ තීක්ෂණ ඥානය නිසාවෙනි.

‘ශිවාගමෙහි’ මේ පිළිබඳ රසවත්වූ අර්ථවත්වූ සටහනක් ඇත. ආත්මය ආශාව සහ ඥානයේ සහ සම්බන්ධය සඳහා මයිනා, බකමූණා සහ මීයාව ගෙන ඇත. රාත්‍රියට බකමූණා මයිනාට කිට්ටුවේ. එවිට මයිනාට මීයා ශබ්ද කොට අනතුරු හඟවනු ඇත. මෙසේ ආශාවන් අපේ ආත්මය ගිල දමන්නට සූදානම් වන විට අපේ ඥානය අපට අනතුරු හැඟවෙන බව ශිව ආගමේ ඉගැන්වෙයි. ඉතින් ඒ මීයාගේ ලක්ෂණ සඳමාලි තුළින් මා දකිමි.

මගේ පන්තියේ හොඳින් සවන්දෙන ළමයෙකි. ඔහුට සියුම් ඥාන ශක්තියක් ඇත. විපරම් කරන ස්වභාවය මා දැක ඇත්තෙමි. ඔහුගේ නම ගැන බැලීමි. ඒ මුවාට අයිති ලක්ෂණ බව දැන මා පුදුම නොවුණා ද නොවේ. “ගුරුළු – බළල් – සිංහ – දිවි – නයි – මී – ඇත් – මුව යන අට දෙනාගේ ක්‍රියාකාරිත්වය හරියට හඳුනා ගතහොත් කරන්න බැරි දෙයක් නැහැ” කියා කීවේ මාටින් ගුරුන්නාන්සේය. එහෙත් මට තවම එය තේරෙන්නේ නැත. කෙසේ වෙතත් මාටින් ගුරුන්නාන්සේගේ උපදෙස් අනුව පර්යේෂණ සහ නිරීක්ෂණ කරමි. මා හට එය සතුටකි. ගුරුළුව අනුව කණ්ඩායම් අටක් නිර්මාණය වේ. ඒ ගුරුළා, බළලා, සිංහයා, දිවියා, නයා, මීයා, ඇතා, මුවා වශයෙන් ගතහොත්ය. පන්තියේ සිසුන් ප්‍රමාණය අනුව කණ්ඩායම් අටකට බෙදිය නොහැකි නිසා මම හැම ළමයෙකුගේම නම් ගැන ඔවුන්ගේ නම්වලට වැටෙන ‘ගුරුළු පක්ෂියා’ තෝරාගෙන පන්තිය කණ්ඩායම් හතරකට බෙදුවෙමි. ඒ ගුරුළා සහ මීයා එක කණ්ඩායමකටත්, මුවා සහ සිංහයා තවත් කණ්ඩායමකටත්, නයා සහ බළලා තවත් එකකටත්, දිවියයි ඇතැයි තවත් කණ්ඩායමකටත් වැටෙන ලෙසය.

මෙසේ කණ්ඩායම් බෙදු මම ඔවුන්ට සාමූහික ක්‍රියාකාරකම් යෝජනා කළෙමි. සිතුවාට වඩා වැඩේ සාර්ථකය. ඔවුන් සහයෝගයෙන් වැඩ කරන බව දුටුවෙමි. මෙම ශාස්ත්‍රය තව තවන් උගත යුතුය. පර්යේෂණ කළ යුතුයැයි මට හැඟේ ‘මහත්තයට මම දෙයක් කියන්නම් මේකෙ සත්‍ය අසත්‍යතාව බලන්න මහත්තයගෙ පන්තිය ‘මිතුරු යෝනිවලට’ බෙදාගෙන පැවරුම් දීලා බලන්න” මාටින් ගුරුන්නාන්සේගේ එම යෝජනාව කෙතරම් තාර්කික ද ප්‍රායෝගික ද කියා මට සිතේ. “තවත් එකක් ඒ වැඩේ ඉවර කරලා සතුරු යෝනි කණ්ඩායම් කරල ඒකත් නිරීක්ෂණය කරල බලන්න” එය ද මාටින් ගුරුන්නාන්සේගේම ඉල්ලීමකි. මා සති 3ක් පමණම මෙසේ මිත්‍ර යෝනි කණ්ඩායම් පැවරුම් නිරීක්ෂණය කලෙමි. ඒ අතර අඟහරුවාදාවන්හි ගුරුන්නාන්සේ බැලීමට යාම අඛණ්ඩව සිදු කළත් මේ සතියේ එය සිදු කළ නොහැකි වුයේ කලාප කාර්යාලයට යාමට සිදුවන නිසාය. කෙසේ හෝ ලබන සතියේ යා යුතුමය මම නිතර නිතර මටම කියා ගතිමි.

මේ අතරම මම ‘සතුරු යෝනි’ ‘සතුරු ගුරුළු’ පක්ෂීන් එක්කර පැවරුමක් ලබා දී ඇතත් ළමයින් ඒ පැවරුම මෙතෙක් නිමා කර නැති බව පෙනේ. කණ්ඩායමේ සහයෝගය නොමැති බව මට හොඳින් පෙනේ. මාටින් ගුරුන්නාන්සේ කී ලෙස ගුරුළත් – නයත් උන් උන්ට හතුරුය. සිංහයා සහ ඇතාත් එකිනෙකාට හතුරුය. බළලාත් – මීයාත් හතුරුය. දිවියා සහ මුවත් හතුරුය. එතනත් කණ්ඩායම් සතරකි. මාගේ නිරීක්ෂණය අනුව ගුරුළුවේ විස්මයජනක බව දකිමි. ඒ ඒ සතාට හිමි ජයග්‍රාහී වේලාවක් තිබෙන බව මාටින් ගුරුන්නාන්සේ කීවත් ඒ ගැන තවමත් මා ඉගෙන ගෙන නැත.

මහත්තය ‘කරණ ගණිතය’ ගැන අහල තියෙනවද? ඔහු මගෙන් විමසු බව මතකය. මා එය ඇසුවේ ද එදිනය. එහෙත් පැරැන්නෝ කරණ ගණිතය භාවිත කර ගොවිපළට සතුන්ගෙන් වන හානි වළකා ගත් ආකාරයත් වගාව සශ්‍රික කර ගත් ආකාරයත් ඔහු පැහැදිලි කළ නමුත් ‘කරණ ගණිතයත්’ පසුව උගන්වන බව පැවසුවේ මා හට ඒවා දැන්ම බර වැඩියයි ද කියමිනි. කෙසේ වෙතත් ඒ සියල්ල ගුරුළුවට යටත් බව ඔහු තහවුරු කොට පැවසුයේ ඒ පිළිබඳ ඔහුගේ ඥානය ඉහළ මට්ටමක තිබෙන නිසා විය යුතුය. ගුරුන්නාන්සේගේ ඥාති සොහොයුරෙකු කැකිරාව පැත්තේ බඩ ඉරිඟු වගා කරන බවත්, ඒ පැත්තේ අලි කරදර බොහෝ බවත් පැවසු ඔහු මට කීයේ අලියාව නවත්වන්න නම් සිංහයාව මුලට ගත යුතු බව ද පවසමිනි. මා එය නැවත විමසුවේ මට එය නොතේරුණ බැවිනි. බඩ ඉරිඟු වවන කොට සිංහයාගේ වෙලාවක් උදාකරගෙන වගාව ආරම්භ කළොත් ඒ බිමට අලින්ගෙන් කරදර නොවන බව මාටින් ගුරුන්නාන්සේ කීයේ විශ්වාසවන්ත ලෙසය. ඔහුගේ සොහොයුරාට ද අලි කරදර අඩු බව ගුරුන්නාන්සේ කීය. එහෙත් දවසක අහම්බෙන් වන අලියෙක් ගොවිපළට පිවිස ඇති නමුත් වගාවට කිසිම හානියක් නොවී ඇති බව ඔහුගේ සොහොයුරා ඔහුට පැවසු බව ද ඔහු මා සමග පවසන ලදී.

“ගුරුළුව කියන්නෙ මහ පුදුම ශාස්ත්‍රයක් මහත්තයා. ඇස් පනාපිට දේවල් ඔප්පු කරන්න පුළුවන් ගණිත ශාස්ත්‍රයක් මේකේ ගණිතමය කොටස ඒ කියන්නෙ ඒ ඒ සතා බලවත් වෙන වෙලාව ඊළඟ දවසෙ කියා දෙන්නම්” ඔහු එසේ කී බව මතකය. එහෙත් එය ඉගෙනීමට තිබු දවසේ මට එහි යාමට නොහැකි විය.

වර්ෂාව ද නිමක් නොවන නිසා නවාතැන් පළට ගිය පසුව මා වඩ වඩා ආශාවෙන් මේ පාඩම් නිතර නිතර කියවමි. මේ ගැන ලියැවුණු පත පොත ගැන මා ගරුන්නාන්සේගෙන් විමසුවෙමි. ඔය පොත් සමාගමකින් ඔය ගැන පොත් කීපයක් කරල තියෙනවා. ඒ වගේම හැටේ දශකයේ සඟරා කීපයකුත් කරල තියෙනවා. ඒත් ඕවල ‘යතුර’ නැහැ කමල් මහත්තයා යැයි ඔහු කීවේ ගම්භීර සොබාවකිනි.

පාරම්පරික ශාස්ත්‍රඥ හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division