Home » මියගිය ඥාතීන්ට නිවසේදී පින් දී නැති කරදර ගෙට ගන්න එපා

මියගිය ඥාතීන්ට නිවසේදී පින් දී නැති කරදර ගෙට ගන්න එපා

by thanushika
November 11, 2023 12:31 am 0 comment

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී
නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති
සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන හිමි
(කොළඹගම පොඩි හාමුදුරුවෝ)

මියගිය ඥාතීන්ට නිවසේ නිතර පින් දීම කරදරවලට අත වැනීමකි. සිළුමිණ ඉසිවර පාඨක පින්වත් ඔබ වෙනුවෙන් අප සෑම ඉරිදාවකම බොහෝ යහපත් දේ ලියා පළ කර සාකච්ඡා කළෙමු. ඒ කිසිම වතාවතක් තුළ ඔබේ තිසරණයට හානියක් නොවී ආර්ය ශ්‍රාවක භාවය රැකෙන අයුරින් එම වතාවත් සිදුකර ආශිර්වාද ලබාගන්නා අයුරු අප ඉතා කරුණාවෙන් ජනගත කළෙමු.

එම ලිපි කියවා බලා අපමණ සතුටට පත් පින්වත් ස්වාමීන් වහන්සේ සහ ගිහි පින්වතුන් අපට කතා කර තම සතුට පළ කරන අයුරු අපගේද නොමඳ සතුටට හේතුවකි. මෙවර අප ඉසිවර පාඨක ඔබට ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිවිතුරු බුද්ධ දේශනාවක් අනුව ඔබගේ නොසිතූ කරුණක් පිළිබඳව සඳහන් කිරීමට අදහස් කළෙමු.

බොහෝවිට එදිනෙදා ජීවිතයේ තමන්ගේ කටයුතුවලට සහ එසේම තමන්ගේ ජීවිතවලට අපමණ බාධා සහ පීඩාවන් ඇතිවන්නේ අප නොදන්නා අපගේ පවුල්වල හෝ වෙනත් සංසාරගත මියගිය ඥාතීන්ගේ බලපෑම් නිසාවෙනි. විවිධ රෝග පීඩා ණයතුරුස් පවුල්වල අසමඟිතා ව්‍යාපාර බිඳ වැටීම් විවිධ අනතුරු සහ පවුල්වල කිසිම අභිවෘද්ධියක් නොමැති බව ඇතිවන්නේ මෙම ඥාති ප්‍රේත බලපෑම් නිසාවෙනි. පහත් පෙළේ මෙම ඥාති බලවේග තමන්ට සහ තම නිවසට කැඳවන්නේ තමන් විසින්මය. තම නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ මියගිය දෙමාපියන්, ස්වාමි පුරුෂයා, බිරිය දරුවන් ආදී ඥාතීන්ගේ පින්තූර තබාගෙන මල් පැලඳවීම, පහන් දැල්වීම, නිතර ඒ දෙස බලමින් පින් දෙමින් පිහිට පැතීම වැනි ඉතා භයානක අනවශ්‍ය දේ ඔබ සිදු කිරීම නිසා ඉතා පහසුවෙන් මෙම ඥාති බලවේග තමන් වෙත සහ තම නිවසට රිංගවාගෙන විවිධාකාර කරදර ඇති කරයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ‘තිරෝකුණ්ඩ සූත්‍රය‘ වැනි උතුම් දේශනාවේද සඳහන් වන්නේ මියගිය පසු පරදත්තූප වැනි ප්‍රේත ලෝකයක ඉපදී සිටියහොත් පමණක් පින් ලබාගත හැකිය. වෙනත් කිසිම ප්‍රේත ආත්මයකට පිනක් ලබාගත නොහැකි බවය. බොහෝ මියයන පිරිස් බත් පැන් ලෝබයෙන් ඉතා පහත් දුක්ඛිත ආත්ම ලබා කල්ප ගණන් එහි දුක් විඳිති. එවන් දුක්ඛිත ප්‍රේත භූත ජීවිත ගෙවන ඥාතීන් ඔබේ මව, පියා, කිරි අම්මා, කිරි අත්තා හෝ වෙනත් කවුරු හෝ ඥාතියෙක් විය හැකිය. මියගිය පසු චාරිත්‍රයක් ලෙස සත් දින, තුන් මාසෙ සහ අවුරුද්දෙන් ආදී පින් කර නිවසේදී පින් දීම යුතුකමකි. එහෙත් නිවස තුළ නිතර මියගිය ඥාතීන්ට පින් දීමට ඔබ පුරුදු වුවහොත් ඔබට කිට්ටු වීමට සිටින ඥාති බලවේගවලට එය ඉතා පහසු කටයුත්තක් වනු ඇත.

බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මියගිය ඥාතීන් ප්‍රේත ආත්ම ලබා නිවස අසල, නිවසේ දොරකඩ ජීවත්ව සිටියදී ඔවුන් වඩාත්ම ආශාවන් දැක්වූ ස්ථානවලට වී රැඳී සිටිති. ඔවුන් ගැන සිහිපත් කරමින් නිතර පින් දීම තුළ කිසිම පිනක් අනුමෝදන් විය නොහැක. එම ඥාති බලවේග දුක සේ ඔබ වෙත පැමිණ නොයෙක් පීඩා ඇති කරයි. ඔබගේ නිවස නිතර පිරිසිදුව තබා ගැනීම, නිවසේ බුදු පහන දැල්වීම, බුද්ධ වන්දනාව සිදු කිරීම, බුද්ධ ශ්‍රාවක දෙවිවරුන්ට පින් දීම, මෛත්‍රී භාවනාව වැඩීම වැනි උතුම් කටයුතු නිරතුරු සිදුකර තෙරුවන් බෙලෙන් නිවස සෞභාග්‍යවත් කරගන්න. නිවස තුළ මියගිය ඥාතීන්ට නිතර පින් දීමෙන් වළකින්න. ඔබට අපමණ සැනසීමක් උදා වනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division