Home » නොවැම්බර් 19 සියලු දෝෂ නසනඅමෘත යෝගයක්

නොවැම්බර් 19 සියලු දෝෂ නසනඅමෘත යෝගයක්

සියලු කටයුතු ඉක්මනින් පල දරන සඳුගේ නැකතක්

by thanushika
November 11, 2023 12:30 am 0 comment

සියලු දෝෂ නසන අමෘත යෝගයක් 2023 නොවැම්බර් 19 වැනිදා ඉරිදා පෙරවරු 6.02 සිට පෙරවරු 7.25 දක්වා යෙදෙන සුබ කාල හෝරාවේදී උදාවන බව ජ්‍යොතිෂයෙහි සඳහන් වේ.

එදින ඉර උදාව පෙරවරු 6.02ට යෙදී ඇති අතර ඒ වන විට පවතිනුයේ ග්‍රහ ලොව මවුතුමිය වන සඳුට අයත් සුවණ නැකතය.

සුවණ නැකත යනු ජීවිතයේ බොහෝ යහපත් කරුණු කාරණාවලට සුබ මුහුර්ත සාදන විට ගනු ලබන නැකතකි. එහි බලය වැඩි වන්නේ සඳුගේ කාර්යයන් ඉක්මනින් සිදුවන බැවිනි. එමෙන්ම මේ වන විට පවතින සැටවක තිථිය ඉරිදා දිනය හා සැසඳෙන විට අමෘත යෝගයයි. අමෘත යෝගය පවතින දිනයක සුබ කටයුත්තකට අත ගැසූ විට එහි සාර්ථකත්වය නොපමාව සහ ඉතා පලදායී අයුරින් අපට ලැබෙනු ඇත. අමෘත යෝගයෙහි තේරුම සරලවම ගතහොත් වැඩ සපල වන්නේ ය යන අර්ථයයි. වෙනත් සුළු දෝෂ භංග කරන ගුණය ද අමෘත යෝගයට ඇත.

ඉර උදාවේ සිට පවතින පැයකටත් වැඩි මෙම කාල සීමාවෙන් පල ප්‍රයෝජන ගැනීම ඔබ සතුය. බොහෝ දෙනෙකුට තම කාර්යයන් ඉෂ්ට සිද්ධ කරගැනීමට සුබ නැකතක් සොයා ගැනීමට හැකි වන්නේ සතියේ දිනවලය. දෛවඥ මහතකු සොයා එම කාර්ය ඉටුකර ගැනීමට ගිය විට ලැබෙන්නේම සතියේ සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා යන දිනයන්ගෙන් දිනකි. ඒ සාමාන්‍යයෙන් නැකැත් සඳහා දින තේරීමේ පොදු සාධකයයි. එහෙත් ඔබට නිවාඩු දිනයේ ඔබේ නැකතට ගැළපේ නම් සුබ කාර්යයන්ට අත ගැසීමට බිය නොවන්න. මෙදින සුබ දිශාව වනුයේ දකුණු දිශාවයි. වැව්, ළිං, පොකුණු ආදිය කැපීමට මුල පිරීම, සත්ත්ව ගොවිපොළ ආරම්භයට, වාහන මිලදී ගැනීමට මෙන්ම වාහන අලුත්වැඩියා කරන කාර්යයන් ආරම්භයට, ඉඩම් මිල දී ගැනීමට, නිවාස සම්බන්ධ සියලු වැඩ කටයුතු කුමන කරුණක් නිසා හෝ නතරව තිබුණේ නම් මේ දිනයේ නැවත ආරම්භ කරන්න. හිසකෙස් කැපීම, ඉඳුල් කටගෑම වැනි දරුවන්ගේ සුබ කටයුතුවලට පවා යෝග්‍යය. රැකියා භාර ගැනීම, පොත්පත් ලිවීම, ගොවිතැන් කටයුතු සහ වෙහෙර විහාර, දේවස්ථාන කටයුතු සඳහා ද මේ කාලය යෝග්‍යය.

ඔබ ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට සිතා සිටින්නේ නම් මේ දිනයේ යෙදෙන නැකැත් කාලය තුළ එය ආරම්භ කරන්න. ඉරිදා දිනය හිරුගේ බලය ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබෙන බැවින් කාර්යයන් පල දරනු ඇත. ඔබ අසනීපයකට බෙහෙත් ගැනීමට සිතා සිටින්නේ නම් මේ වේලාවට නිවසින් පිටත්වන්න. සුවය ඉක්මනින් ඔබ කරා පැමිණෙයි. ස්වර්ණාභරණ, මැණික් ව්‍යාපාර මෙන්ම රිදියෙන් තනනු ලබන ආභරණ සැරසිලි වෙළෙඳාමට ද මේ දිනය යහපත්ය. හිරුගේ පළමු පැය සම්බන්ධ බැවින් සූර්ය බලය යොදාගෙන කරන සියලු කටයුතු සුබපල ගෙන දෙයි. ප්‍රධානියෙකු හමුවී ඔබගේ ගැටලු විසඳා ගැනීමට, උදවු උපකාර ලබා ගැනීමට අනුමැතිය ලබා ගැනීමට මේ දිනය යොදා ගන්න. රාහු කාලය ඉරිදා උදය වරුවට නොයෙදේ. සුබ දිශාවට මුහුණලා කටයුතු ආරම්භ කර ජයග්‍රහණ ලබාගන්න.

අස්විද, මා, මුල, කැති, උත්‍රපල්, උත්‍රසල, මුවසිරස, සිත, දෙනට, අද, සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත්වලින් ඔබ ඉපදී ඇත්නම් මේ දිනයේ බලාපොරොත්තු සහගතව අරමුණු ඉටුකර ගැනීමට හැකි වනු ඇත.

විදෙස් ගමනක් සඳහා අදාළ කාර්යයන් කරගැනීමට මේ දිනය යහපත් වේ. සඳුගේ නැකතක් පවතින බැවින් කටයුතු ඉක්මනින් සාර්ථක කරගැනීමට හැකි වනු ඇත. කුමන කාර්යයකට අතගැසීමට සිතුවද ආගමික වතාවත් ඊට කලින් සිදු කරන්න. සූර්ය පිරිත කීමෙන් හිරුගේ බලය ද පත්තිනි මෑණියන්ට පින් දීමෙන් සඳුගේ බලය ද ඔබට ලැබේවි.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division