උපදේශන සේවය බලාපොරොත්තුවෙන් දිනපතා කතා කරන බොහෝ අයට තියන පොදු ප්‍රශ්න විවාහය කියන කාරණාව එක්ක පොදුවේ බැඳිලා තියන අවස්ථා වැඩියි. සරලවම කිව්වොත් ආසියාවේ හුඟක් මිනිස්සුන්ට විවාහය කියන්නේ තමන් වෙනුවෙන් ජීවත් වුණු ගත කරපු කාලය අවසන් කරන්නට සිද්ධ වෙලා ඊට පස්සේ ගෙයක් වාහනයක් ළමයි දෙන්නෙක් වගේ රාමුවකට සීමා වෙලා ජීවත් වෙන්න සිද්ධ වෙන තත්වයක්.
බහ තෝරන්න පටන් ගත්ත කාලෙම අකුරු ඉෙගනගන්න පටන් අරන්, අවුරුදු දහතුනක් විතර ඉස්කෝලේ ගිහින් , ඊටත් පස්සේ තවත් වැඩිදුරගන ඉගෙන රස්සාවක් කරන්න පටන් ගන්නකොටම පවුල හෝ සමාජය හෝ විසින් එහෙමත් නැත්තන් තමන්ම විසින් ඊළඟ අරමුණ විදිහට විවාහය කියන කාරණාව මතු කරවනවා. එතැනින් එහාට මිනිස්සු විවාහය කියන සංකල්පය අස්සේ ජීවිතය ගොතන්නට අසීරු උත්සහයක නිරන්තරයෙන් යෙදෙනවා
රටටම කියල ලෝකෙටම ණයවෙලා ජයටම මඟුලක් කන්න ප්ලෑන් ගැහුවට එතැනින් එහාට ජීවිත ගලාගෙන යා යුතු දිහාව ගැන ප්ලෑන් ගහන්න බහුතර තරුණ තරුණියන්ට අමතක වෙලා යනවා .
බඳින දවස ගැන මිසක් බැන්දට පස්සේ ජීවිතයට මුහුණ දෙන විදිහ නොදැන හදිස්සියේ කසාද බඳින බොහොමයක් මිනිස්සු නිවීසැනසිල්ලේ පසුතැවෙන ආකාරය මට මගේ උපදේශන ජීවිතයේ දිනපතා අත්දකින්නට ලැබෙනවා .
ඔතන සිදු නොවිය යුතුම දෙයකුත් සිද්ධ වෙනවා ,
පොඩි කාලේ, තරුණ කාලේ තමන්ට ආස හිතිච්ච දේවල්, තමන්ට තමන් ගැන තිබ්බ ආසාවල් බලාපොරොත්තු බොහොමයක් ඔය විවාහය කියන කාරණාව එක්ක යටට ගිලිලා යනවා. ඒ ගිලා බැසීම ජීවිතයේ හිඩැසක් විදිහට මිනිස්සුන්ගේ හදවත්වල නොපෙනෙන පරාසයක තැන්පත් වෙලා තියනවා. මානසික පීඩනයක්, කළකිරීමක්, දුකක්, විතරක් නෙමෙයි ඇරියස් එකක් විදිහටත් ඒ තැන්පත් වීම කොයි මොහොතක හෝ පුපුරා යන්න පුළුවන් .
ඒ පුපුරා යාම පුද්ගලිකව තමන්ට වගේම තමන්ගේ පවුලට, සමාජයට හැමෝටම එකම විදිහට සෘණාත්මකව බලපාන්න පුළුවන් .
ඒක එහෙම නොවෙන්න නම් විවාහයෙන් පස්සේ වුණත් තමන් තමන්ගේ ජීවිතය තුළ ජීවත් වෙන්න ඕනේ, අමාරුවෙන් අපහසුතා මැද වුණත් තමන් වෙනුවෙනුත් ජීවත් වෙන්න ඕනේ. පුංචි කාලේ ආස වෙලා කැමැත්තෙන් හිටපු තමන්ගේ ආසාවල් බලාපොරෝත්තු වෙනුවෙන් පුළු පුළුවන් විදිහට මහන්සි වෙන්න ඕනේ.
විවාහය කියන දේ ජීවිතයට හයියක් කරගන්නවද බාධාවක් කරගන්නවද කියන එක තනිකරම පුද්ගලානුබද්ධ තීරණයක්. නිවැරදිව බුද්ධිමත්ව ඒ තීරණය ගත්ත මිනිස්සුන්ට ජීවිතය තුළ පසුතැවීම් ඉතුරු වෙන්නේ නැහැ .
කප්පරක් හීන දැකලා කසාද බැඳලා බැඳපු දවසේ ඉඳන් දේපළ වස්තුව ළමයි වෙනුවෙන් නැහිලා නැහිලා ඊට පස්සේ දරුවන්ගේ දරුවොත් හදලා ජීවිතේ අන්තිම ටික තෙල් බෙහෙත් වලින් ගැටගහගෙන අන්තිමට හුස්ම යනකන් උඩ බලාගෙන ඉන්න මනුස්ස ආත්මයක් නොවී , ඉගෙනගෙන රස්සාවක් කරලා තමන් කැමති දේවල්, තමන් කැමති අරමුණු වෙනුවෙන් මහන්සි වෙලා, ජීවිතේ කියන දේ පතුලටම විඳලා රටට ලෝකෙට පවුලට බර නැති සුන්දර මනුස්සයෙක් වෙලා සතුටෙන් තෘප්තියෙන් ජීවිතේ අවසාන කරන්න විවාහය බාධාවක් කරගන්න ඕනේ නැහැ .
කෙනෙක් මොන වයසෙන් විවාහ වුණත් ප්‍රශ්නයක් නැහැ, හේතුව විවාහයට නිශ්චිත වයසක් කාල වකවානුවක් නැහැ , හැබැයි විවාහය කියන කාරණාව තුළ තමන්ට තමන්ව නැති වෙන්න නොදී බලාගන්න එක නම් තමන්ගේ අතේ තියන වැඩක්, කසාදයත් සමඟම දෙදෙනාටම එක සමානව පැටවෙන සමාජ, ආර්ථික, වගකීම් ගොන්නත් සමඟ කාලය කළමනාකරණය කර ගැනීම හිතන තරමට පහසු දෙයක් නොවුණත් වුවමනාව සහ කැපවීම තියන මිනිස්සුන්ට තමන් වෙනුවෙන් කාලය සොයාගැනීම සිතන තරම් අමාරු වැඩකුත් නෙමෙයි .
මේක මිනිස්සු විදිහට අපි හැමෝටම පොදු කාරණාවක් ,
වයසට යනකොට ඇරියස් නැති තෘප්තිමත් සාමකාමී මනසකින් ජීවිතය දිහා බලන්න නම් තරුණ කාලය වගේම විවාහයෙන් පස්සේ කාලෙදීත් තමන්ට තමන්ව නැති වෙන්න නොදී තමන් වෙනුවෙනුත් ජීවිතේ සැලකියයුතු කොටසක් වෙන් කරන්නම ඕනේ .
තරුණ කාලේ තමන්ගේ ජීවිතේ මග හැර ගත්ත සමහර වැඩිහිටියෝ අතින් හිතා හෝ නොහිතා අද දවසේ තමන්ගේ දරුවන්ගේ , සහ පවුල්වල අනිත් මිනිස්සුන්ගේ ජීවිත වලට සහ සමාජයට සිදුවන අකටයුතුකම් අනාගතයේ දවසක ඔබේ අතින් සිදු නොවෙන්න නම් අද දවසේ ඔබ ඔබේ ජීවිතය සතුටෙන් විඳින්නම ඕනේ .