Home » රංගනය කියන්නේ මට පුළුවන් දේ බැරි දේ මම හදාරන්න හිතුවා

රංගනය කියන්නේ මට පුළුවන් දේ බැරි දේ මම හදාරන්න හිතුවා

by thanushika
October 28, 2023 12:30 am 0 comment

ඇය යොහානි හෙට්ටිආරච්චිය. බාල වියේ සිටම රූපවාහිනි මෙන්ම සිනමා රංගනයට ද පිවිසි ඇය දැන් සුරුපී යෞවනියක්. හිරු රූපවාහිනි නාළිකාවෙන් විකාශනය වන සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ “සකුණි“ ලෙස ඔබේ ආලින්දයට ගොඩවෙන යොහානි ගැනයි අද කතාබහ.

මුලින්ම අපිට යොහානිගේ පවුලේ තොරතුරු ටිකක් කියන්න?

මගේ අම්මා ගෘහණියක්, තාත්තා ව්‍යපාරිකයෙක්, අයියලා දෙන්නෙක් ඉන්නවා මට. මේ වෙනකොට ඒ දෙන්නම විවාහ වෙලා වෙනම ඉන්නවා. මම තමයි අපේ ගෙදර පොඩිම එක්කෙනා

යොහානි රංගන ශිල්පිනියක් වෙන්නේ අහම්බයෙන්ද?

ඔව්. අපේ පවුලේ කිසිම කෙනෙක් රංගන ක්ෂේත්‍රයට හරි කලාවට කිසිම ආකාරයකින් සම්බන්ධ වුණ අය නෙමෙයි. පොඩි කාලේ මම වෙඩින් එකකට ගිය වෙලාවක, එතැනදී මාව දැකලා තමයි රංගන ක්ෂේත්‍රයට එන්න ආරාධනාවක් ලැබෙන්නේ.

ඔබේ පළමු රංගන දායකත්වය ලබා දුන් නිර්මාන මොකක්ද?

මම මුලින්ම කළේ නිවේදන කටයුතු. ඒ සිරස රූපවාහිනීයේ විකාශනය වුන පුංචි පැංචි වැඩසටහනට. ඊට පස්සේ තමයි මට ආරාධනාවක් ලැබෙන්නේ නාලන් මෙන්ඩිස් මහතාගේ අංගනා ටෙලි නාට්‍යයට රංගන දායකත්වය ලබා දෙන්න. එතකොට මගේ වයස අවුරුදු 6යි.

එහිදී ලබා ගත් අත්දැකීම් මොනවාද?

මට හරිම ආඩම්බරයි සහ මම ගැන ලොකු විශ්වාසයක් තියෙනවා මේ ආව ගමන ගැන. මම රඟපාන්න පටන් ගන්නේ මට වයස අවුරුදු 6දී. මට හිතෙනවා රංගන ක්ෂේත්‍රයට මම පිවිසුණේ නියම කාලයේ කියලා. ඒ වගේම තවත් මතක් කළ යුතුම දෙයක් තියනවා. ඒ තමයි මාව මේ ක්ෂේත්‍රයට හඳුන්වා දුන් නාලන් මෙන්ඩිස් මහතාට මේ මෑතක සම්මාන උලෙළකදී සම්මානයක් ලැබෙනවා. එතැනදී එතුමා කියනවා තමන් ගේ නිර්මාණයකට දායකත්වය ලබා දුන් කෙනෙක් අනිවාර්යයෙන්ම මේ කලා ක්ෂේත්‍රයේ ඉදිරියටම යනවා කියලා. ඒ කතාව මට ඉතාම වටිනවා වගේම මම එතුමාට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.

මේ වෙනකොට ඔබ රංගනයෙන් දායක වන නිර්මාණ මොනවාද?

මේ වෙනකොට මම සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ රංගන දායකත්වය ලබා දෙනවා. මේ දවස්වල මම වැඩිය නිර්මාණවල පෙනෙන්න නැත්තේ මගේ අධ්‍යාපන කටයුතුවලට ටිකක් මුල්තැන දීලා කටයුතු කරන නිසයි.

ඔබ සම්මානනීය ශිල්පිනියක් ඒ ගැනත් සඳහන් කළොත්?

මම 2017 වර්ෂයේ හොඳම ළමා රංගන ශිල්පිනිය විදිහට සුමති සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒක මගේ ජීවිතයේ අමතක නොවන සන්ධිස්ථානයක්.

චිත්‍රපට රංගනයට දායක වෙනවා නේද?

ඇහැලේපොළ කුමාරිහාමි, අලි කතාව, පුංචි අන්දරේ, නිහඬ සෙවණැලි ආදී චිත්‍රපට 10කට විතර මම මේ වෙනකොට රංගන දායකත්වය ලබා දීලා තියනවා.

ඔබ ළාබල රංගන ශිල්පිනියක්. ඔබට ප්‍රවීණයන්ගේ ලැබෙන සහාය කොහොමද?

මම රඟපෑම ගැන කොහේවත් හැදෑරීමක් කරලා නෑ. මම මේ හැමදේම කළේ මගේ ප්‍රවීණ රංගන ශිල්ප ශිල්පිනියන් කියලා දුන්න හා ඔවුන්ගෙන් ඉගෙන ගත්ත දේවල් වලින්. ඉතිං අදටත් මම ඒ සියලුම දෙනාට මගේ හදවතින්ම ගෞරව කරනවා යොහානි කියන රංගන ශිල්පිනියව හදන්න ඒ ලබා දුන් දායකත්වයට. ඒ වගේම තවදුරටත් මම ඒ ප්‍රවීණයන්ගේ උපදෙස් හා ආශිර්වාදයන් බලාපොරොත්තු වෙනවා.

ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද?

මම මේ වෙනකොට තාක්ෂණික කළමනාකරණ උපාධියක් හදාරනවා. රංගනය කියන්නේ මට පුළුවන් දේ නිසා, මට බැරි, මම නොදන්න දෙයක් ගැන හදාරන්න මම හිතුවා.

ඒ කියන්නේ ඔබ අනාගතයේ දී රංගන ක්ෂේත්‍රයෙන් සමුගන්නවද ?

නෑ, මම මුලදී හිතුවා දවසක මේ රංගන ක්ෂේත්‍රයෙන් සමු අරන් වෙනම රැකියාවක් කරන්න. නමුත් දැන් මට දැනෙනවා මගේ දේ තමයි රඟපෑම කියලා. ඒ වගේම මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ඒ උණුසුම් ප්‍රතිචාර, ආදරය, ගෞරවය සහ පිළිගැනීම මට හුඟක් වටිනවා. මට ඒ ආදරයේ වටිනාකම දැනෙනවා. මාව හුඟක් අය දැනගත්තේ සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ සකුණි විදිහට. අදටත් ඒ ජනප්‍රියත්වය තියනවා. ඒක විශේෂයෙන්ම කියන්න ඕන දෙයක්.

සකුණියි, යොහානියි දෙන්නම එක්කෙනෙක්ද? නැත්නම් ඊට වඩා වෙනස් කෙනෙක්ද ?

යොහානි කියන්නෙ සකුණිට වඩා හුඟාක් වෙනස් චරිතයක්. ඒක මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් හැමෝම දන්නවා.

මොහාන් සුරවීර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division