Home » කාන්තාවක් කියන්නෙ කන්දක් නූපා කියන්නේ කන්දක් වගේ ගැහැනියක්

කාන්තාවක් කියන්නෙ කන්දක් නූපා කියන්නේ කන්දක් වගේ ගැහැනියක්

by thanushika
October 28, 2023 12:30 am 0 comment

වසර ගණනාවක් තිස්සේ ප්‍රේක්ෂකයින් බලාපොරොත්තුවෙන් සිටි කන්දක් සේමා සිනමාපටය නොවැම්බර් මස 02වනදා සිට තිරගත වනවා. කන්දක් සේමා සිනමාවට නැගෙන්නේ ප්‍රවීණ ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය විසින් රචිත කන්දක් සේමා කෘතිය ඇසුරෙන්. කන්දක් සේමා හි ප්‍රධාන චරිත වන්නේ නුපා සහ මසායා සාන්. නූපාගේ චරිතය රඟපාන්නෙ නිරෝෂා පෙරේරාය.

නුපා කියන්නේ සියලු දුක් කරදර නිවා ගන්න ජපානයට යන යුවතියක්. නුපාගේ ජපන් ජාතික සැමියා මසායා සාන් නුපාට වඩා බොහෝ වැඩිමල්. කොහොම නමුත් නුපා පැමිණි දුක් සැපතක් කරගන්නට වෙහෙසෙනවා. නුපා හොයන්නේ ආදරය. සෙනෙහස. මසායා කියන්නේ ආදරය සෙනෙහස හිත ඇතුළේ හිරකරගෙන ඉන්න ස්වාමි පුරුෂයෙක්. හිතින් මවාගත් ආදරණීය පුද්ගලයකුගෙන් නුපා ආදරය යදිනවා. ඒ තමයි පෙම්බරා. මේ අතර සුමල්ව නුපාට හමුවෙනවා. සුමල් කියන්නේ වීසා නැතුව ජපානෙ ඉන්න සිංහල තරුණයෙක්. මේ හැමෝගෙම කතාව විදිහට තමයි කන්දක් සේමා සිනමාවට නැගෙන්නේ.

කන්දක් සේමා සිනමාවට නැගෙන්න කලින් කෘතියක්නේ, ඒ ගැන කතා කළොත්?

හැම පොතක්ම සිනමාවට නගන්න බැහැනේ. කන්දක් සේමා කෘතිය තුළම තිබුණා සිනමාපටයක් කරන්න අඩංගු විය යුතු ද්‍රව්‍ය ටික. මේ වෙද්දී පොත කියවපු අයත් ඉන්නවා. නොකියවපු අයත් ඉන්නවා. මට කියන්න තියෙන්නේ අපි හැමෝම කියවන්නේ එකම පොත වුණාට අපි හැමෝම කියවන්නේ එකම කතාව නෙවෙයි. මේ පොත ලියපු සුමිත්‍රා රාහුබද්ධ ලියන්නේ එයාට දැනුණ කතාවක්. නමුත් කියවන කෙනා කියවන්නේ තමන්ගේ කරගෙන. පොත එකයි පිටකවරය එකයි වුණාට කියවලා ගන්න කතාව එකම වෙන්නේ නැහැ. ඒ ඒ අය මවා ගත්ත රූප එක්ක කියවනවා වෙන්න පුළුවන්. කන්දක් සේමා පොත ලියපු සුමිත්‍රා රාහුබද්ධ මහත්මියමයි මෙහි තිර රචනාව ලියන්නේ. එතකොට මට නුපා වෙන්න ආරාධනා කරන්නේත් එතුමිය. අපි හැමෝම කියවන්නේ එකම කතාව නොවුණට ලියපු කෙනාගේ ඔළුවට ආවේ නිරෝෂා තමයි නුපා කියන එකනේ. එයා හිතපු එයා ලියපු නුපා මගෙන් දකින නිසානේ මට කතා කරන්නේ. මේ පොත ලියපු ලේඛිකාවම, මේ සිනමා තිර පිටපත ලියපු ඇයම මගේ නුපා නිරෝෂා කියන තේරීම වෙන එක. මෙය අධ්‍යක්ෂණය කළේ අසෝක අතාවුදහෙට්ටි. ඔහුගේ ඇක්ෂන් කට් එක මත කරපු චරිතය සංස්කරණය වෙලා දැන් ප්‍රේක්ෂකයින්ට බාර වෙන්නේ.

කොහොමද නිරෝෂා ට නුපා වීම තුළින් ලද අත්දැකීම

කන්දක් සේමා මට ලැබෙන්නේ ෆිල්ම් ගොඩක් ලැබෙන කාලයක. ඒ අතරින් මම බැහැ කියපු නිර්මාණ වැඩියි. එහෙම ඉන්න කාලයක මට ලැබුණු මම නොහිතපු චරිතයක් නුපා. මම පස්සේ දැන ගත්ත මේ චරිතය කරන්න ගොඩක් අය කැමැත්තෙන් හිටියා කියලා. නුපා කියන්නේ ශ්‍රී ලාංකීය කාන්තාවක්. ඇය මෙහෙන් විවාහ වෙලා ජපානයට ගිහින් දරුවන් ලැබිලා ජිවිතේ ගෙවන අවුරුදු ගාණක් මේ නිර්මාණය තුළ තියෙනවා. නුපා යන්නේ ජපානයේ නීගතාවලට. නීගතාවල ඉන්න තරුණ ගැහැනු වයසක පිරිමි විවාහ කර ගන්න අකමැති නිසා තමයි යම් ගෙවීමක් කරලා ලංකාවෙන් විවාහ කර ගන්නේ. එහෙම නැතුව නුපා යන්නේ ජපන් රටේ සිරි නරඹන්න නෙවෙයි. එයා යන තැන එයා හිතපු තැන නෙවෙයි. ඒ එක්කම කියන්න ඕනේ නුපා කියන්නේ නිරෝෂාට වඩා හැම අතින්ම වෙනස් චරිතයක්. මම නුපා වෙන්න ආස කළෙත් ඒ නිසා. හැමදේකින්ම මම නොවන චරිත කරන්නයි මම කැමතිම.

චරිතයක් විදියට ගත්තම අත්දැකීම ගැන කියද්දී කාලගුණය දේශගුණය මේ හැම දෙයක් ගැනම හිතන්න වුණා. ඒක තමයි අපිට තිබ්බ ලොකුම අභියෝගය. ජපානයේ උෂ්ණත්වය සෘණ අගයක් තියෙද්දිත් අපි ෂූටින්. මටම තේරෙන්නේ නැහැ අපි කොහොමද කළේ කියලා. ඇක්ෂන් කිව්වම අපි අපිට තියෙන දෙබස් කියනවා රඟපානවා ඔක්කොම කරනවා. කට් කිව්ව වෙලාවේ ඉඳන් දත් කුරු සද්ධ ඇහෙන තරමට වෙව්ලනවා. සාමාන්‍යයෙන් එහෙ සකුරා පිපෙන ගිම්හාන කාලයට කෙනෙක් වෙව්ලන්න බැහැනේ. එහෙමනේ කියන්නේ. ඒත් මම වෙව්ලනවා. මේකේ වැඩිපුර හිටියේ ජපන් ආටිස්ලා. ඒ අයට සිංහල බැහැ. අපේ අයට ජපන් බැහැ. මට ජපන් භාෂාවේ දැනුමක් තිබ්බ නිසා යම් කිසි පහසුවක් වුණා.

ජපන් බස හසුරුවමින් ඔබ මේ රංගනය කරන්නේ?

මට මේ චරිතය තුළ ජපන් දෙබස් ගොඩක් තියෙනවා. හැබැයි නුපා කියන්නේ ජපන් දැනගෙන ගිය කෙනෙක් නොවන නිසා මට ජපන් හරියට හසුරුවන්න බැහැ. නුපා තුළින් මට තිබ්බේ ජපන් බස හරි හැටි හසුරුවා ගන්න බැරි තැනේ ඉඳන් චතුරව ජපන් බස හසුරුවමින් ජපන් බසින් බැණ ගන්න තැන දක්වා එන්න ඕනේ. ඒ නිසා මුල සිට සියලු ශිල්ප දන්නවා කියලා පෙන්වන්නත් බැහැ. හැබැයි මෙතනදී මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මගේ නංගි ඉරෝෂාව. මට මුලින්ම මෙහි ජපන් පිටපතක් ලැබුණේ. ඒ තිර රචනය ජපන් බසට පරිවර්තනය කරලා තිබ්බේ කනෝ මිත්සුරු මහතා. මට ජපන් කතා කරන්න පුළුවන් වුණාට ජපානයේ කන්ජි අක්ෂර කියවන්න බැහැ. මට පුළුවන් “රෝමජි” අක්ෂර. ඉතින් සිංහල පිටපත ලැබෙන්න කලින් සම්පූර්ණයෙන්ම ජපන් පිටපත “රෝමජි” වලට පරිවර්තනය කරලා දුන්නේ ඉරෝෂා. ඊට පස්සේ තමයි මට සිංහල පිටපත ලැබුණේ.

නුපා එක්ක ගැටෙන අනෙකුත් චරිත සහ කොහොමද ඒ අය එක්ක වැඩ කිරීම?

මසායා සාන් තමයි නුපාගේ ස්වාමිපුරුෂයා. ඒ චරිතය කළේ ජුන් ඉතො. එයාව දැක්කම මට හිතුණා මේ තමයි නුපාගේ මසායා සාන් කියන එක. ඒක මම ඒ නළුවට කිව්වා. හේතුව මම ඒ වෙද්දී නිරෝෂාව අමතක කරලා නුපා වෙලා ඉවරයි. ඒ කාලේ හිතුවෙම මම ඇත්තටම බැඳලා ජපන් ඇවිත් මේ තමයි මගේ හස්බන්ඩ් කියන එක. මම ඒ නිර්මාණය කරන කාලය පුරා ජිවත් වුණේ නුපා විදියට. ඒ නිසා මම ෂූටින් ඉවරවෙලා ඇවිත් යම් කාලයක් ගියා ඉන් මිදෙන්න. එතකොට නුපා ප්‍රාර්ථනා කරන පිරිමියා වුණේ පෙම්බරා. එයා සම්පූර්ණයෙන්ම ඉන්නේ මගේ සිහිනයක. දිනෙත් ද සිල්වා ඒ චරිතය කළේ. ලංකාවෙන් ජපානයට එන සුමල් තමයි බිමල් ජයකොඩි. සොරා සාන්ට හිටියේ කොබයෂි අයකො. හරිම සන්තෝෂයි මට වැඩ කරන්න ලැබුණේ හොඳ මිනිස්සු එක්ක. ඒ අය අදටත් මා එක්ක මිත්‍රශීලියි.

කන්දක් සේමා චිත්‍රපටයෙන් පස්සේ රඟපෑවේ නැද්ද?

මම කාලයකට එක නිර්මාණයක් කරන්නේ. මම ජොබ් එකක් විදියට රඟපාන කෙනෙක් නෙවෙයි නිසා. කිහිපයක් කරන්න හිටියා. නමුත් පාස්කු ප්‍රහාරෙන් පස්සේ කෝවිඩ් එක සහ අරගල නිසා මඟ හැරුණා. සමහර නිර්මාණ ඒ කාලේ කරොත් මිසක් දැන් කරලා වැඩකුත් නැහැ. ඒ එක්කම මගේ අධ්‍යාපන දේවල්වලට ට්‍රැවල් පැත්තට වැඩි කාලයක් යොමු වීමත් එක්ක කාලය ගත වුණා.

අවසාන වශයෙන් ප්‍රේක්ෂකයින්ට මොන වගේ ඇරයුමක් ද කරන්නේ

ඇත්තම කියනවා නම් මගේ උනන්දුවත් වැඩි වුණේ ප්‍රේක්ෂක උනන්දුව නිසා. මේ ෆිල්ම් එක කරලා අවුරුදු නවයක් වෙන්න එනවා. මේ ගැන මම යන යන හැම තැනදීම අහනවා. ෆිල්ම් එක බලන්න හිටිය සමහර අය මේ වෙද්දී ජිවත් වෙන්නේ ජපානයේ. මේ චිත්‍රපටය මීට කලින් එන්න තිබුණත් රටේ තත්ත්වය එක්ක පහු වුණා. කන්දක් සේමා කියන්නේ කාන්තවක් මූලික වුණු කතාවක්. කාන්තාවක් කියන්නෙම කන්දක්. මම ආරාධනා කරනවා කාන්තාව ගැන නිර්මාණය වුණු මේ කන්දක් සේමා සිනමාපටය නරඹන්න එන්න කියලා.

 අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division