Home » ලබපු අත්දැකීම් එක්ක ආදරේට බයයි

ලබපු අත්දැකීම් එක්ක ආදරේට බයයි

by thanushika
October 28, 2023 12:30 am 0 comment

දෙරණ නාළිකාවේ විකාශය වන හර්ෂ උඩකන්දගේ ලොක්කි ටෙලි නිර්මාණයේ ප්‍රවීනා මේ දිනවල ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගත් චරිතයකි. කටකාර, විසේකාර ප්‍රවීනාගේ චරිතයට පණ පොවන ඇය ඩිලුක්ෂි වීරපෙරුමය. හාස්‍යජනක චරිත ඔස්සේ මේ දිනවල විශේෂ ප්‍රේක්ෂකාදරයක් ලබන ඇය පාසල් වියේ සිටම නර්තන අංශයේ විවිධ ඉසවු ස්පර්ශ කරමින් නර්තනයෙහිද දක්ෂතා දක්වන්නියකි. ඉසුරු ලොකුලියන සමඟ හිරු නාළිකාවේ කලා තරු සමඟ ගත කරන සොඳුරු හෝරාව House Full වැඩසටහන මෙහෙය වන්නේ ද ඇයයි.

මේ දවස්වල ඔබ වඩාත්ම ජනප්‍රිය හාස්‍යජනක චරිතවලින් නේද?

දෙරණ නාළිකාවේ විකාශය වන ලොක්කි නාට්‍යයේ ප්‍රවීනා එහෙම නැත්නම් අනා කියන්නේ ගොඩක් ප්‍රතිචාර ලබන සෑහෙන පිරිසක් ආදරෙන් වැලඳ ගත් චරිතයක්. මුලින්ම ස්ක්‍රිප්ට් එක කියවද්දි මං ඒක ප්‍රතික්ෂේප කළා. ඒ වෙද්දි මං හර්ෂ අයියව දන්නෙවත් නෑ. මීට කලින් මං කොමඩි චරිතයක් කරලත් නෑ. ඒ ගැන දැනුමක්වත් ඉගෙනගෙනවත් තිබුණෙ නෑ. හර්ෂ අයිය කිවුව කමක් නෑ අපි මේක කරල බලමු කියලා. මාත් අභියෝග බාරගන්න කැමැති කෙනෙක් නිසා කරල බැලුවා. ලැබෙන ප්‍රතිචාරත් එක්ක සාර්ථකයි කියලා හිතෙනවා. ෂෙයාර් වෙන වීඩියෝ ක්ලිප් මිලියනයක් විතර නරඹලා තිබුණා. ලොක්කි සීසන් – 2 එකේ ලැබෙන්නේ අසාමාන්‍ය ප්‍රේක්ෂක ආදරයක්. බේකරි ගෙදර කියන්නෙත් කොමඩි පැත්තට බර චරිතයක්. දැන් කොමඩි චරිතවලට ගොඩක් ආරාධනා ලැබෙනවා. ඒත් මං තීරණය කළා ටික කාලෙකට කොමඩි චරිතවලින් ඈත්වෙලා ඉන්න. මං කැමැති නෑ එකම රාමුවකට කොටු වෙන්න. මට ඕන විවිධ චරිත කරලා චරිතාංග නිළියක් වෙන්න.

ඔබ මෙතෙක් කරපු චරිතවලින් සිත්ගත් චරිතයක් තියේ ද?

ඉන්දික ධර්මතිලකගේ මැස්සා නාට්‍යයේ චරිතයට මං ගොඩක් කැමැතියි. කවදහරි ආපහු හැරිල බලද්දි මං මෙන්න මේ වගේ චරිතයක් කළා කියන්න පුළුවන් චරිතයක් ඒක. ගමක ඉඳන් කොළඹට ඇවිත් ගාමන්ට් එකක වැඩ කරන, ජීවිතේ ගැන ලස්සන හීන මවන තරුණියක්. වත්මනේ මේ ගෙන්දගම් පොළොවේ වෙන දේවල් ගැන කියන ගමන්ම යම් පණිවුඩයක් සමාජගත කරන්නත් උත්සාහ කරන නිර්මාණයක්.

ඩිලුක්ෂි රංගන ක්ෂේත්‍රයට පිවිසීම ගැන කතා කළොත්?

පාසල් කාලෙ ඉඳන්ම මං නර්තනය හැදෑරුවා. නමුත් මං රංගන ශිල්පිනියක් විදිහට මුලින්ම කැමරාව ඉදිරියට එන්නෙ ගෝත්‍ර කියන සිනමාපටයෙන්. ඒ 2016 දි. ඊට පස්සෙ දමිත් ෆොන්සේකාගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වුණු බෆලෝ ට්‍රැවල්ස් සිනමාපටයට සම්බන්ධ වුණා. ඒත් ප්‍රේක්ෂකයන්ට මුලින්ම මාව හමුවෙන්නෙ සල් සපු නා ටෙලි නිර්මාණයේ විලන් චරිතයකින්. ඉස්සර මට චරිත ලැබුණෙ මගේ බාහිර පෙනුමට. රාවණා, ගුග්ලි, ක්වීන්, මිහි, සංසාරිණී වැනි නිර්මාණවල වෙනස් චරිතවලින් සම්බන්ධ වුණා. මේ වෙද්දි කොමඩි පැත්තට ටිකක් බර වෙලා. ළඟඳි ඉඳන් හිරු නාළිකාවේ කලා තරු එක්ක කරන House Full වැඩසටහනට සම්බන්ධවෙලා ඉන්නවා.

මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු ගාණක් වුණත් මට හිතෙනවා දැන් තමයි මට චරිත ලැබෙන්නෙ කියලා. අදටත් මං හිතන්නේ මං අලුත්. මට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව කියලා. එතකොට ඉගෙන ගන්න ලේසියි. අදටත් මං ජ්‍යෙෂ්ඨයින්ගේ ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඔවුන් ඩයලොග් ඩිලිවරි කරන විදිහ, ඔවුන්ගෙ ටයිමින්, රිඇක්ෂන්. ඔවුන් එක්ක ඉන්නව කියන්නෙම වර්ක් ෂොප් එකක ඉන්නවා වගේ.

දැන් ඔබ යම් තැනක ඉන්නව කියලා හිතෙනව ද?

තාමත් මං මට අවශ්‍ය තැනට ඇවිත් නෑ. මේක හෙමින් ආපු ගමනක්. තව ගොඩක් දුර යන්න තියෙනවා. ඒ දුරත් හෙමින් යන්නයි බලාපොරොත්තුව. මේ ආපු ගමනෙදි නැඟිට්ට අවස්ථාවලට වඩා කැපුන අවස්ථා අනන්තයි. වැටෙද්දි උපරිමයෙන්ම වැටෙනවා. බාහිරින් බලලා මාව රිජෙක්ට් කරපු අවස්ථා එමටයි.

සාමාන්‍ය ජීවිතේ ඩිලුක්ෂි කියන්නෙ මොනවගේ කෙනෙක් ද කියලත් කියමු?

ඩිලුක්ෂි කියන්නෙ ගෙදර ඉන්නව නම් තමන්ගෙ පාඩුවෙ කාමරේට වෙලා ෆිල්ම් එකක් බලන, එහෙම නැත්නම් ගේම් එකක් ගහන කෙනෙක්. ගෙදර අය එක්ක, යාළුවො එක්ක ඉද්දි කෑගහල, හිනාවෙලා හරිම ජොලියෙ ඉන්න චරිතයක්. සාමාන්‍යයෙන් මං පොඩි දේටත් ගොඩක් සංවේදී වෙන කෙනෙක්. ඒ වුණත් ඒක පිටතට නොපෙන්වා ශක්තිමත් කෙනෙක් විදිහට ඉන්න උත්සාහ කරන චරිතයක් කිවුවත් හරි.

ආදරය ගැන ඩිලුක්ෂිගෙ අත්දැකීම් ගැන කතා කළොත්?

මට රිලේෂන් ෂිප් තිබිල තියෙනවා. ඒත් ඒ අය ජීවිතේ ගත කරන්නෙ ප්‍රශ්න එක්ක විතරමයි. එයාලට හිනාවුණත් ප්‍රශ්නයක්. මට ඒ ගැන අත්දැකීම් තියෙනවා. මෙතෙක් මට හමුවෙලා නෑ සතුටෙන් ඉන්න පුළුවන් විදිහේ කෙනෙක්. ආදරේදි මං ගොඩක් පරාද වෙච්ච කෙනෙක්. මට ආදරේ ගොඩක් වටිනවා. ඒ අවශ්‍ය දේම තමයි මට ලැබිල නැත්තෙත්. ආදරේදි මං ගොඩක් පරිත්‍යාග කරපු කෙනෙක්. දැන් මගේ හිතේ කවුරු හිටියත් එතනින් එහාට මං අත්දැකීමක් ගන්නවත් යන්නෙ නෑ. මොකද මං ලබපු අත්දැකීම් එක්ක මට බයයි මට ආදරේ එපාම වෙයි කියලා. මං කරන රස්සාව එක්ක මාව තේරුම් ගන්න පුළුවන්, මම මෙතෙක් ආපු ගමන වෙනස් නොකර මේ ජීවිතේ මේ විදිහටම ගෙනියන්න උදවු වෙන කෙනෙක් තමයි බලාපොරොත්තු වෙන්නෙ.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division