Home » වඳුරඹ මහ ගෙදර දොරට තට්ටු කළේ කවුද?
මැලේසියාවේදී මියගිය වඳුරඹ පරිගණක ඉංජිනේරු යුවළගේ අවසන් මොහොතේ

වඳුරඹ මහ ගෙදර දොරට තට්ටු කළේ කවුද?

by Mahesh Lakehouse
October 28, 2023 12:30 am 0 comment

– දොරවල් ඇර බලද්දී කිසිවෙක් නෑ 
– ඒ මොහොතේම මාමාගේ ගෙදර දුම්මැස්සත් කඩා වැටෙයි

දිනය පසුගිය 22 වෙනි ඉරිදාය. දහවල් කෑමට පෙර පුවත්පතක් බලමින් සිටි ගාල්ල තැපැල් කාර්යාලයේ සේවය කරන ගුණතිලක පතිරණට දුරකතන ඇමතුමක් ආවේය. ඒ ඔහුගේ නැගණිය විවාහ වී සිටින ඥාති සොහොයුරාගෙනි.

‘‘අයියෙ ලොකු කරදරයක් ශාමෙලා දුවයි සශික පුතයි මැලේසියාවෙදි ඇක්සිඩන්ට් වෙලාලු…”

‘‘මොනව අමාරුයි ද, පොඩි එකීට කොහොමද…..” ගුණතිලකගේ පැනයට බාල ඥාති සොහොයුරාගෙන් පිළිතුරක් නොවීය.

‘‘මල්ලි ඇයි මොකද? මොකක්ද වෙලා තියෙන්නෙ” ගුණතිලක කලබලයෙන් යළිත් විමසන්නට විය.

‘‘අයියෙ…. අයියෙ.. දෙන්නම නැති වෙලා… පොඩි දරුවා ඉස්පිරිතාලෙලු”.  

එක්වරම ඇති වූ කම්පනය වාවා ගැනීමට අසීරු වුවත් විනාඩි කිහිපයකින් පියවි තත්ත්වයට පත් ගුණතිලක වහාම ඇඳුමක් ඇඟලා ශාමෙලාගේ පියා වන සිරිල් ශාන්ත හමුවට ගියේය. සියලු දෙනා ශාමෙලාගේ පියා වන සිරිල් ශාන්තට සිදුවීම දැනුවත් කළේ ඔහුගේ සිත සැනසෙන ලෙසිනි.

ඔවුන්ට මතුව ආ ලොකුම ගැටලුව වූයේ ශාමෙලාගේ මව වන රූපා රංජනී පතිරණට මේ සිදුවීම පවසන්නේ කෙසේද යන්නය. ශාමෙලා පවුලේ සිටි එකම දරුවාය. ඇය ගැන මාපියෝ විශාල බලාපොරොත්තු තබා සිටියහ. ඒ බලාපොරොත්තු කෙසේ වෙතත් තම එකම දියණිය මිය ගිය බව පවසන්නේ කෙසේද යන්න යන ගැටලුවට ඔවුන් බොහෝ වේලාවක් විසඳුමක් සොයන්නට විය. කෙසේ හෝ ඒ බව දැනුම් දෙන්නට ඔවුන්ට සිදු විය.

ඉරිදා පස්වරුව වන විට ශාමෙලා සහ සශික පදිංචිව සිටි වඳුරඹ කුඹලමලහේනේ අංක 35 නිවසින් නැඟ ආ ශාමෙලාගේ මව වන රූපා රංජනී පතිරණගේ විලාපය අවට සියලු දෙනා ඒ නිවෙසට ගෙන්වන්නට සමත් විය.

වඳුරඹ, කුඹලමලහේන ගමටම ආලෝකයක් බඳු ශාමෙලා රංගනී හා ඔහුගේ ස්වාමිපුරුෂයා වූ සශික රංගොඩ මැලේසියාවේ ක්වාලාලම්පූර්හි රිය අනතුරකින් මිය ගොස් ඇති පුවත විනාඩි කිහිපයකින් ගම පුරාම පැතිර යන්නට විය.

ඒ වන විට මෙරට මාධ්‍ය මඟින්ද මැලේසියාවේදී තරුණ පරිගණක ඉංජිනේරු යුවළක් අනතුරකින් මිය ගිය පුවත ප්‍රචාරය වෙමින් තිබුණි. ඒ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ලබා දුන් නිල පුවතක් ලෙසිනි.

මේ අනතුරින් ශාමෙලා හා සශික ගේ සිවු හැවිරිදි දියණිය ද තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද සැල විය.

මේ සම්බන්ධ පුවත දෙවනුව ලැබුණු ශාමෙලා රංගනීගේ මාමාගෙන් අපි තොරතුරු විමසුවෙමු.

“ශාමෙලා රංගනී කියන්නෙ මගේ නංගිගෙ එකම දුව, ගිය අවුරුද්දෙ රට ගියේ. මේ රටේ ඉඳල ලැබෙන පඩියෙන් වැඩ කර ගන්න අමාරුයි කියලා. එයා ගිහින් ටික දවසකට පස්සෙ මහත්තයත් පොඩි දුවත් එක්ක මැලේසියාවට ගියා.

සශික පුතා රාජගිරියෙ ඉඩමක් ගත්තා. දුවයි පුතයි දෙන්නම එකතු වෙලා ඒකෙ ගෙයක් හැදුවා. ඒකෙ වැඩ ඉවර කර ගන්නත් බැරි වුණා.

ළඟදි පදිංචියට යන්න හිටියත් වැඩ ඉවර නැති නිසාත් ඒවට ගත්ත ණය එහෙම ගෙවන්න තියෙන හින්දත් රට යන්න තීරණය කළා. දෙන්නම මැලේසියාවෙ හිටියෙ. ඒ ඉන්න අතරෙ තමයි මේ අනතුර වෙලා තියෙන්නෙ. පහුගිය 21 වෙනිදා සෙනසුරාදා රෑ චූටි දුවත් එක්ක එළියට ගිහින් මෝටර් සයිකලේකින් එද්දි මෙයාල නැවතිලා ඉන්න ගෙදරට මීටර් 500ක් වගේ දුර තියෙද්දි අධික වේගයෙන් බීමතින් මෝටර් රථයක් පදවාගෙන ආපු අයෙක් මේ දෙන්න ගමන් කරපු බයිසිකලේ හප්ප ගෙන ගිහින් තියෙනවා. හැප්පෙන කොට දරුවා විසි වෙලා ගිහින් තුවාල වෙලා බේරිලා තිබුණත් මේ දෙන්නව රෝහලට ගෙනිච්චත් වැඩක් වෙලා නැහැ. දෙන්නම එතනම මිය ගිය බවයි අපට දැන ගන්න ලැබුණෙ.

සිද්ධිය දැනගෙන එහේ රස්සාවක් කරන සශිකගෙ අයිය පුළුවන් හැම දෙයක්ම කරල දරුවා ගැනත් හොයල බලල ඉරිදා දවල්ට තමයි මගේ ඥාති මල්ලි කෙනකුට පණිවුඩය කියලා තිබුණෙ. එයා මට කිව්වා. පස්සෙ අපි ශාමෙලාගෙ තාත්තට පණිවුඩය කියලා අම්මට පණිවුඩය කියන්නෙ කොහාමද කියල කල්පනා කළා. තමන්ගෙ එකම දුව නැතිවුණු තාත්තාට ඇති වුණු දුක ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඒ වුණත් අපි කොහොම හරි එයාට දරා ගන්න පුළුවන් වෙන විදිහට හිත හැදුවා.

කොහොම හරි අම්මට පණිවුඩය කියන්න වුණා. එයාගෙ විලාපය ඉතින් අපි බලාපොරොත්තු වුණා. අම්ම කෙනෙකුගෙ දුක එහෙම තමයි. අදටත් එයා කන්නෙ බොන්නෙ නැතුව දුක වාවා ගන්න බැරිවයි ඉන්නෙ.

ක්වාලාලම්පූර් රෝහලේ හිටපු චූටි දියණිය පහුගිය බ්‍රහස්පතින්දා රෑ රෝහලින් නිවෙසට අරගෙන ගිහින් තියෙනවා සශිකගෙ අයියා. සශිකගෙ අයියත් ක්වාලාලම්පූර්වල තමයි වැඩ කරන්නෙ. එයා තමයි එහේ ඉඳල අනෙක් අයත් එක්ක මේ සේරම කරන්නෙ. එයා චූටි දරුවත් එක්ක ලංකාවට එනවා.

දුවගෙත් පුතාගෙත් දේහ ගෙනැල්ල දෙන්න කියලා අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් හා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කරපු ඉල්ලීම්වලට අනුව ගිය සිකුරාදා රෑ වෙනකොට දේහ ගෙනැත් දෙනව කියල කිව්වා. ශාමෙලා ලොකු මහත් කරල හදපු අම්මට දැන් එයාගෙ චූටි දුවගෙ භාරකාරය වෙන්න වෙලා තියෙන්නෙ.”

මෙවැනි අවාසනාවන්ත ඛේදවාචක සිදු වන විට නොයෙක් පෙර නිමිති මෙන්ම අසුබ ලකුණු ද පහළ වන බවට ජන වහරේ එන කතා අප අසා ඇත. ශ්‍යාමෙලාගේ හා සශිකගේ අකල් වියෝව සිදුවන මොහොතේ ද ශ්‍යාමෙලාගේ මහ ගෙදරත් මාමාගේ ගෙදරත් එබඳු සිද්ධීන් දෙකක් සිදු වීම ද විශ්මයජනකය.

“මැලේසියාවේ මේ ගොල්ලන්ට අනතුර වෙන වේලාවේ මෙහේ හරි පුදුම සිද්ධි දෙකක් වුණා. එදා රෑ එකොළහ හමාරට විතර මයේ ගෙදර දුම්මැස්ස කඩාගෙන වැටුණා.

ඔය වෙලාවෙම ශ්‍යාමෙලාගෙ අම්මලගෙ ගෙදර ඒ කියන්නෙ මගෙ නංගිගෙ ගෙදර ඉස්සරහ දොරට හයියෙන් ගහන සද්දයක් ඇහිලා පිටිපස්සේ දොරටත් හයියෙන් තට්ටු කරලා දොරවල් ඇරල බලද්දී කවුරුවත් ඉඳල නෑ…

ඔය වෙලාවෙම තමයි මේ ගොල්ලන්ට අනතුර වෙලා තියෙන්නෙ… මේවා හරි පුදුම දේවල්.”

ශ්‍යාමෙලාගේ මාමා කියාගෙන ගියේ මා සිත ද තිගැස්මට ලක් කරමිනි.

සශික රංගොඩගේ ගම ඉමදූවය. ඔහු ගාල්ල, සාන්ත ඇලෝසියස් විදුහලේ අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයෙන් මෘදුකාංග ඉන්ජිනේරු උපාධිය ලබා ඇති අයෙකි. මිය යන විට සශික 35 වැනි වියෙහි පසු විය. ඔහුගේ ආදරවන්තිය වී සිටි ශාමෙලා රංගනී සමඟ විවාහ වී තවමත් වසර 6ක් 7ක් වත් නැත. ඇය මිය යන විට තිස්දෙහැවිරිදි වියේ පසු වූවාය. දෙදෙනා විවාහයෙන් පසුව ශාමෙලා රංගනීගේ නිවෙසේ නැවතී ඇත්තේ ශාමෙලා එම පවුලේ එකම දරුවා වූ නිසා ය.

මෙරටදී ලැබෙන වැටුප එදිනෙදා කටයුතුවලටවත් ප්‍රමාණවත් නොවන බව පවසා ඔවුන් විදේශගත වීමට කටයුතු කර ඇත.

ශාමෙලා රංගනී පාසල් සමයේ සිට අධ්‍යාපනයේ මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම්වල කැපී පෙනෙන දස්කම් දැක්වූ සිසුවියක් වූවාය. ඇය වරෙක විදුහලේ හොඳම සිසුවියක ලෙසින්ද සම්මාන ලැබුවාය. තවත් විටෙක විෂය බාහිර ක්‍රියාකාරකම් වෙනුවෙන් සම්මාන ලැබුවාය. ගාල්ලේ අනුලාදේවි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය මොරටුව විශ්වවිද්‍යාලයෙන් පරිගණක ඉංජිනේරු විද්‍යා උපාධිය ලබා මෙරට වසර 5ක් පමණ සේවය කර පසුව මැලේසියාවට ගොස් තිබේ. එහි බැංකුවක මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස ඇය එරට රැකියාව කරන අතරම ස්වාමියාත් කුඩා දියණියත් එරටට ගෙන්වාගෙන තිබේ.

ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති සශික කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක උපාධිධාරියෙකි.

සති අන්තයේ නිවාඩු දිනයක් වූ පසුගිය 21 වෙනිදා සෙනසුරාදා ඔවුන් දෙදෙනා සිවු හැවිරිදි දියණිය සමඟ පිටතට ගොස් යළි රාත්‍රි නවාතැනට එමින් සිටියදී බීමත් රියැදුරකු විසින් මේ අනතුර සිදු කර ඇති බව වාර්තා වේ. අදාළ රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති බවට ද වාර්තා වේ. පසුගිය ඔක්තෝබර් මස ශාමෙලා මෙරටට පැමිණ ඇත්තේ සිවු හැවිරිදි දියණිය ද සමඟය. සිය ස්වාමිපුරුෂයා නොවැම්බර් මස එන බව ඇය එහිදී පවසා ඇත.

තම එක ම දරුවා හා බෑණනුවන්ගේ අකල් වියෝවෙන් වැලපෙන රංගනීගේ මව වන 55 වියැති රූපා රංජනී පතිරණ තවමත් වාවාගත නොහැකි ශෝකයෙන් යුතුව සිටින්නීය.

“ගාල්ලෙ අනුලාදේවි බාලිකා විද්‍යාලයේ හිටපු දක්ෂම දරුවෙක් තමයි මගේ දුව. කවදාවත් ගුරුවරු කිසිම පැමිණිල්ලක් කරල නැහැ. ඉස්කෝලෙන් පස්සෙ මොරටුව විශ්වවිද්‍යාලයෙන් පරිගණක උපාධිය ලබල මෙහේ ආයතනයක අවුරුදු පහක් විතර වැඩ කළා. එයාලගෙ පඩියෙන් බදු අය කරන්න ගත්තට පස්සේ පඩියෙන් ගොඩක් කැපෙන නිසා ඒක ප්‍රමාණවත් නැහැ කියල දුව කිව්වා. ඒක නිසා මෙහේ හිටියොත් චූටි දුවට උගන්වන්නවත් ලැබෙන්නේ නැහැ කියලයි එයා රට ගියේ.

එයා ගියේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් 9 වන දා. පස්සෙ සශික පුතා චූටි දුවත් එක්ක ගියා. ඒ ගිය අවුරුද්දෙම නොවැම්බර් මාසෙ.

එයාල ගියාට පස්සෙ දැනුණු පාළුව කාන්සිය නිවාගත්තෙ ඒ අයගෙ අනාගතය ගැන හිතල.

දූවගේ මුල්ම පඩිය මට එවලා තිබුණා දඹදිව යන්න කියලා. දුව වගේම පුතත් මට සැලකුවෙ එයාගෙ අම්මට වගේ. කිසිම වෙනසක් නැහැ. මේ දෙන්නා මතු උපදින බවයක මගේම දරුවො වෙන්න ඕන.

පහුගිය 12 වැනිදා බ්‍රහස්පතින්දා පුතා කතා කරල කිව්වේ එයා ලබන මාසෙ ලංකාවට එනවා කියල. එයාව ගන්න එන්න කියලත් කිව්වා.

එහෙම කියල දවස් කීයද ගියේ. සෙනසුරාදා හවස එළියට ගිහින් එද්දි බීමත් මිනිහෙක් එළවපු කාර් එකක මෙයාලගෙ මෝටර් සයිකලේ හප්පලා. ගෙදරට මීටර් පන්සීයක් වගේ තියෙද්දි තමයි අනතුර වෙලා තියෙන්නේ. මගේ දරුවො දෙන්න මට නැතිවුණා.”

පියා වන සිරිල් ශාන්ත ද කලක් විදේශගතව සිට මෙරටට පැමිණ ඇත්තේ දියණියගේ උසස් අධ්‍යාපන කටයුතු විවාහ කටයුතු ආදිය ගැන සොයා බැලිය යුතු නිසාය. දැනට වඳුරඹ ටයර් අලෙවි සැලක් කරගෙන යන ඔහු සිටින්නේ ද දැඩි ශෝකයෙනි

‘‘දරුවො දෙන්නම දැන් නැතිවෙලා ඒක නිසා දැන් ඒ ගැන කතා කරල වැඩක් නැහැ. එයාල වෙනුවෙන් මොනව ලැබුණත් ඒ ජීවිත අපට ආයිත් ලැබෙන්නෙ නැහැ. ඒ දෙන්න වෙනුවෙන් පුංචි දුව බලාගන්න එක විතරයි අපට දැන් තියෙන්නෙ. දරා ගන්න බැරි වුණත් හිත හදා ගන්න බලනව, වෙන කරන්න දෙයක් නැති නිසා.”

සශික ලබන මස මෙරටට පැමිණ සිය නිවෙසේ වැඩ කටයුතු ගැන සොයා බලා යළි මැලේසියාවට යාමේ අරමුණින් සිටිය ද ඔහුට යළිත් නිරුපද්‍රිතව මෙරටට පැමිණීමට ලැබුණේ නැත. සිය තරුණ භාර්යාව ද සමඟින් නිසලව පැමිණීමට සිදුව ඇත්තේ වයස අවුරුදු 4ක් වන කුඩා දියණියට මවුපියන් නොමැතිව තනිව දිවි ගමනට මුහුණ දෙන්නට ඇති වන තත්ත්වයක් යටතේය.

සිද්ධිය සැලවීමත් සමඟම කොළඹ විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක උපාධි හැදෑරූ සහෝදර සරසවි සිසු සිසුවියෝ වඳුරඹ නිවෙසට පැමිණෙති. වියෝවූ සිය සහෝදර සගයාට අවසන් ගෞරව දැක්වීම පිණිස ඔවුහු දැන් සූදානමින් සිටිති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් යාපා පැවසුවේ ශාමෙලා රංගනී මෘදුකාංග ඉන්ජිනේරුවරියක ලෙස මැලේසියාවේ සේවය කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති අයකු බවත් ඇයගේ මිය යාම සම්බන්ධයෙන් පවුලේ ඥාතීන්ගේ ඉල්ලීම අනුව අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. එමෙන්ම ඔවුන් වෙනුවෙන් කාර්යාංශ මට්ටමින් සිදු කළ හැකි සියල්ලම සිදු කරමින් සිටින බවත් ඒ අනුව දේහයන් කඩිනමින් මෙරටට ගෙන්වීමට කටයුතු යෙදූ බවත් ඔහු පැවසුවේය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසා සිටින්නේ අගතියට පත් පවුලේ අය වෙනුවෙන් තම ශෝකය පළ කරන අතර, රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඔවුන් වෙනුවෙන් අය විය යුතු වන්දි මුදල් ආදිය ලබා දීමට කටයුතු යොදන බවයි.

ඡායාරූප – හිනිදුම රවින්ද්‍ර ලියනගේ

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division