Home » ගාසා තීරයේ දුෂ්කර ගොඩබිම් මෙහෙයුම්

ගාසා තීරයේ දුෂ්කර ගොඩබිම් මෙහෙයුම්

by Mahesh Lakehouse
October 28, 2023 12:30 am 0 comment

යුද්ධයක් අනපේක්ෂිත ප්‍රතිවිපාක ඇති කරන බව සත්‍යයකි. කලින් කල සිදු වන දේශසීමාබද ගැටුම් හැරුණු විට, 2005 දී ගාසා තීරයෙන් තම හමුදා ඉවත් කර ගැනීමෙන් අනතුරුව ඊශායලය, 2008, 2014 සහ 2021 යන වසරවල දී හමාස් සංවිධානයට එරෙහිව ප්‍රධාන යුද්ධ තුනක් සිදු කර ඇත. මේ සෑම යුද්ධයක් ම සීමිත ගොඩබිම් ආක්‍රමණයකට පමණක් සීමා වූ අතර, ඒ සෑම විටෙකදීම ඊශ්‍රායල සෙබළුන් දෙසතියක් පමණ ගාසා තීරයේ රැඳී සිටියහ.

ඊශ්‍රායල ජාතිකයන් 1,400ක් පමණ ඝාතනය කරමින් පසුගිය ඔක්තෝබර් මස 7 වෙනිදා එල්ල කෙරුණු හමාස් ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායලය තවත් ගොඩබිම් ආක්‍රමණයක් දියත් කිරීමට දැවැන්ත හමුදාවක් යොදවා ඇත. ඊශ්‍රායල ආරක්ෂක හමුදාව යුද ටැංකි 1,000 කින් පමණ සමන්විත ඔවුන්ගේ සම්පූර්ණ සන්නද්ධ බළකාය ගාසා තීර දේශසීමට කැඳවා ඇත. 360,000ක් පමණ වූ ස්වේච්ජා බළකාය 170,000ක් පමණ වන පූර්ණකාලීන භට පිරිස් සමඟ එක්වීමට නියමිතය.

පලස්තීන විමුක්ති සංවිධානය ලෙබනනයේ සිය කඳවුරෙන් පලවා හැරීමේ අරමුණින් 1982 දී සිදු කෙරුණු ලෙබනනය ආක්‍රමණයෙන් පසු ඊශ්‍රායලය මෙතෙක් සිදු කළ විශාලතම මෙහෙයුම බවට මෙම මෙහෙයුම හැඩ ගැසෙමින් පවතී. ලෙබනනයේ දී ඊශ්‍රායලය තම අරමුණ සාර්ථක කර ගත්ත ද, එම යුද්ධයේ අනපේක්ෂිත ප්‍රතිඵලයක් වූයේ ෂියා සටන්කාමී සංවිධානයක් වන හිස්බුල්ලා සංවිධානයේ බිහි වීමයි. ඉරානයේ සහය සහ ආශීර්වාදය ලත් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට දැවැන්ත සතුරකු බවට පත්ව ඇත.

ගාසාහි ගොඩබිම් මෙහෙයුමක දුෂ්කරතා බෙහෙවින් පැහැදිලිය. වර්ග කිලෝමීටර 365 ක සීමිත, බෙහෙවින් නාගරීකරණය වූ පරිසරයක් තුළ වීදියෙන් වීදියට සටන් කිරීම ඊශ්‍රායල හමුදාවන්ට අතිශය දුෂ්කර වනු ඇති බව නිසැක ය. කිලෝමීටර් 500 ක් දක්වා දිගින් යුක්ත බැව් සැලකෙන විස්තීර්ණ උමං ජාලයක වාසිය ද හමාස් ස‍ංවිධානය සතුව ඇති අතර, එහිදී තම සතුරාට පහර දී සැඟව පලා යාමට ඔවුනට හැකි වනු ඇත. රොබෝ යන්ත්‍ර සහ ඩ්‍රෝන යානා භාවිතයෙන් ඊශ්‍රායලයට මෙම අභියෝගවලට යම් තරමකට මුහුණ දිය හැකිය. නමුත් උමං මාර්ග තුළ ගන කළුවරේ නයිට් විෂන් රාත්‍රී දර්ශන තාක්‍ෂණය යොදා ගැනීම අකාර්යක්ෂම වනු ඇත, මක්නිසාද යත්, මෙම උපාංග ක්‍රියා කිරීමට දුර්වල පරිසර ආලෝකයක් අවශ්‍ය වන බැවිනි.

ගාසා තීරයේ උතුරු අර්ධයේ වෙසෙන මිලියන 1.1ක් පමණ වන සාමාන්‍ය වැසියන්ට දකුණු අර්ධයට යන ලෙස ඊශ්‍රායලය අනතුරු අඟවා තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන අන්දමට ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ මිලියන 1.4 ක ජනතාවක් අවතැන් ව සිටින අතර 580,000 කට ආසන්න පිරිසක් එක්සත් ජාතීන්ගේ සරණාගත කඳවුරු තුළ නවාතැන්වල ලැඟුම් ගෙන සිටිති. ගාසා තීරයේ උතුරුදිග ප්‍රදේශයේ වැසියන් කොපමණ පිරිසක් සිටිනවා ද යන්න තවමත් පැහැදිලි නැත. එලෙස ඉතිරිව සිටින අය “ත්‍රස්තවාදී සංවිධානයකට” හිතවත් අය ලෙස සලකා ඔවුනට එරෙහිව පියවර ගන්නා බවට ඊශ්‍රායලය අනතුරු අඟවයි.

ගොඩබිම් මෙහෙයුමක දී, නොවැළැක්විය හැකි පරිදිම, භයානක සිවිල් ජීවිත හානි සිදුවනු ඇත. එවිට ඊශ්‍රායලයට ගෝලීය වශයෙන් දැඩි විරෝධයක් එල්ල වනු නිසැකය. ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය සාමාන්‍ය වැසියන් 5,000 කගේ නම් ගම් එරට බලධාරීන් විසින් දැනටමත් ඉදිරිපත් කර තිබේ.

තවත් අභියෝගයක් නම් හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 200ක් අල්ලා ගෙන යාමයි. හමාස් සංවිධානය පවසන්නේ ඔවුන් ගාසා තීරය අවට තැන් තැන්වල සඟවා ගෙන සිටින බවයි. නිසැකවම, ඔවුන්ගෙන් ඇතැමෙක් උතුරු යුද කලාපයේ රඳවා සිටිනු ඇත. ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින් දැනටමත් ප්‍රාණ ඇපකරුවන් 22 දෙනකු මියගොස් ඇති බව හමාස් සංවිධානය පවසයි. තම ආදරණීයයන් නිදහස් කර ගැනීමට නෙතන්යාහු රජය නිසි ප්‍රමුඛතාවක් ලබා නොදෙන බවට ප්‍රාණ ඇපකරුවන්ගේ ඥාතීහු චෝදනා කරති.

නව කථානායකවරයකු සෙවීමේ අමෙරිකානු පාර්ලිමේන්තු සටන නිමාවට පත් කරමින් ලුසියානා ප්‍රාන්තය නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂ නියෝජිත මයික් ජොන්සන් තම පක්ෂයේ සෑම මන්ත්‍රීවරයකුගේම ඡන්දය දිනා ගනිමින් එම ධුරයට තේරී පත් විය.

යුක්රේනය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 60 ක් සහ ඊශ්‍රායලය සඳහා ඩොලර් බිලියන 14 ක් ලබා දීමට අදාළ ජනාධිපති ජෝ බයිඩ්න්ගේ හදිසි වියදම් පනත් කෙටුම්පත මේ වන විට සභාව මුහුණ දෙන පළමු ප්‍රධාන ගැටලුව බවට සැකයක් නැත. මෙම දැවැන්ත අරමුදල් පනත පිළිබඳ නව කථානායකවරයාගේ ප්‍රවේශය කුමක් ද යන්න තවමත් නොපැහැදිලි ය. බොහෝ දෙනාගේ අවධානයට යොමුව ඇති කාරණය නම් මයික් ජොන්සන් යුක්‍රේනයට ආධාර කිරීම සඳහා වන සෑම පැකේජයකටම විරුද්ධව මෙතෙක් ඡන්දය ලබා දී තිබීමයි.

කථානායක ධුරය සඳහා රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් අනතුරුව ඉකුත් අඟහරුවාදා සවස ඒ ගැන විමසූ විට, ජොන්සන් වාර්තාකරුවන්ට පැවසුවේ තමන් “ප්‍රතිපත්ති තීරණ එක රැයකින් නොගන්නා” බවයි.

Hydrolic Fracking නැතහොත් ෆ්‍රැක් කිරීම යනු පීඩනයට ලක් වූ ද්‍රවයක් මඟින් පාෂාණවල ඇති ආකෘතීන් කැඩීම හා බැඳුණු ළිං උත්තේජක තාක්‍ෂණයකි. ස්වාභාවික වායු, සහ ඛණිජ තෙල් ලබා ගැනීම සඳහා ගැඹුරු පාෂාණ සැකැස්මේ ඉරිතැළීම් ඇති කිරීම සඳහා ළිඳකට “ෆ්‍රැකින් තරලය” අධිපීඩනයකින් යුතුව එන්නත් කිරීම මෙම ක්‍රියාවලියට ඇතුළත්ය.

මෙම ක්‍රියාවලිය එලෙස නිස්සාරණය කෙරෙන ස්ථාන අසල පදිංචිකරුවන්ට පිළිකා, හෘද වාහිනී රෝග, ඇදුම සහ උපත් ආබාධ ඇතුළු සෞඛ්‍ය හානි රාශියකට වග කිව යුතු බැව් පර්යේෂණ මඟින් හෙළි වී තිබේ. නමුත් එය ඔබාමා පාලන සමයේ අමෙරිකා එක්සත් ජනපදයේ තෙල් සහ වායුව මහා පරිමාණයෙන් නිපදවීම ආරම්භ කෙරුණු ‘ෂේල් විප්ලවයට’ දායක වූ ක්‍රියාවලියයි. 2008 මහා අවපාතය යනුවෙන් හඳුන්වනු ලබන ආර්ථික අවපාතයෙන් පසු එක්සත් ජනපදයේ තෙල් හා ගෑස් නිෂ්පාදනය වැඩි කිරීමට මෙම ක්‍රියාවලිය මහෝපකාරී විය. ආර්ථික උත්පාදකයක් ලෙස බලශක්ති නිෂ්පාදනය ඉහළ නංවාලීම සහ විනාශකාරී සෞඛ්‍ය ප්‍රතිඵලවලට එය හේතුවීම යන මෙම ද්විකෝටිය මුල් කරගනිමින් එහි අහිතකර සෞඛ්‍ය බලපෑම් පිළිබඳ පර්යේෂණ, සහ මත එහි යෝජකයන් සහ විරුද්ධවාදීන් අතර දශක ගණනාවක තොරතුරු සටනක කේන්ද්‍රීය ගැටලුවක් බවට පත්ව ඇත.

අධ්‍යයන 200කට වඩා වැඩි ප්‍රමාණයකින් හෙළි වී ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයේ භූගත ජලයෙන් සෑම දිනකම ජලය ගැලුම් බිලියන දෙකක් පමණ ප්‍රමාණයක් මේ ක්‍රියාවලිය නිසා අපවිත්‍ර වන බවයි. පොළව යටට දැඩි පීඩනයක් එල්ල කිරීම හේතුවෙන් විෂ සහිත අපද්‍රව්‍යවලින් පිරුණු ළිං 187,000 ක් පමණ බිහි වී ඇති බවට විද්‍යාඥයෝ චෝදනා කරති. නමුත් ස්වභාවික ගෑස් කර්මාන්තයේ නිරත වෙළඳ කණ්ඩායම් ඊට අදාළ පර්යේෂණ වාර්තා “කුණු විද්‍යාවක්” ලෙස බැහැර කරයි. මෙක්සිකෝ භූමිකම්පාවෙන්

මෙක්සිකෝ නගරය රිච්ටර් පරිමාණයේ 7.7 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවකට මුහුණ දුන්නේ ය. ගොඩනැගිලි දහස් ගණනකට එමඟින් දැඩි ලෙස හානි සිදු වූ අතර, ප්‍රධාන භූමිකම්පාවෙන් අනතුරුව පසු කම්පන 2,000 ක් පමණ වාර්තා විය. නමුත් භූමිකම්පාව වැදගත් පුරාවිද්‍යාත්මක සොයා ගැනීමක් ද සිදු කළේය. එය දිගුකලක් නැති වූ කලා කෘතියක් සොයා ගැනීමට දායක විය. නගර මධ්‍යයට නුදුරින් පොළව යට වැළලී තිබූ වසර 500ක් පැරණි මූර්තියක් සොයා ගැනුණු අතර, එය ඇස්ටෙක් අධිරාජ්‍යයට ඍජු සම්බන්ධයක් ඇති බව අනාවරණය වී තිබේ.

මෙක්සිකෝවේ ජාතික මානව විද්‍යා හා ඉතිහාස ආයතනයේ පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් සොයා ගැනුණු මෙම පුරාවස්තුව දිගින් මීටර් 1.8 ක් දිග, උසින් මීටර් 1 ක් සහ සෙන්ටිමීටර 85 ක් පළලින් යුක්ත ය. එමඟින් ඇස් යුගලයක්, අඩක් විවර වූ මුඛයක් සහ කොරපොතු සහිත, ඉතා සූක්ෂ්ම ලෙස කැටයම් කරන ලද යෝධ සර්පයකුගේ හිසක් නිරූපණය කරයි. මතුපිටින් 80% ක් පමණ තවමත් රතු, නිල් සහ කළු වර්ණකවලින් සමන්විත වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division