Home » ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහතික කළ ජනපති චීන සංචාරය

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහතික කළ ජනපති චීන සංචාරය

by Mahesh Lakehouse
October 28, 2023 12:30 am 0 comment
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රමුඛ දූත පිරිස බීජිං නුවර හුවාවි සමාගමේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේදී

ආර්ථික අගාධයෙන් කෙමෙන් ගොඩ එමින් සිටින ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ සහන් එළි දැල් වූ අවස්ථාවක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ඉකුත් චීන සංචාරය හැඳින්විය හැකිය. චීනයේ පැවැති ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන “එක් තීරයක් – එක් මාවතක්” සමුළුවට සහභාගී වෙමින් ඉකුත් ඔක්තෝබර් 16 වැනිදා සිට 20 වැනිදා දක්වා චීනයේ සිවුදින නිල සංචාරයකට එක් වූ ජනාධිපතිවරයා එහිදී චීන ජනපති, උප අගමැති ඇතුළු රාජ්‍ය නායකයන්, විද්වතුන්, ව්‍යාපාරිකයන් ඇතුළු පාර්ශ්ව රැසක් හමුවිය. ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන ‘එක් තීරයක් – එක් මාවතක්‘ සමුළුව මෙම වසරේදී පැවැත්වූයේ තෙවැනි වරටය. චීන ජනපති ෂී ජින් පින්ගේ සංකල්පයකට අනුව ඇරඹි මෙම සමුළුව දින පහක් පුරාවට රටවල් 20ක පමණ රාජ්‍ය නායකයන් ඇතුළු රටවල් 130ක රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් බීජිං නුවරදී පැවැත්විණි.

එහිදී අනාගතයේදී “එක් තීරයක්- එක් මාවතක්” වැඩසටහන සඳහා පදනම් කර ගැනීමට යෝජිත අට වැදෑරුම් ප්‍රතිපත්ති මාලාව එළි දැක්වීම ද චීන ජනාධිපතිවරයා විසින් සිදු කළ අතර, සියලු දෙනා අත්වැල් බැඳගනිමින් එකිනෙකාගේ සහයෝගය තුළින් නැඟී සිටීම මෙම සංකල්පයේ මූලික පදනම බව ද ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සමඟ සංචාරයට එක් වූ ශ්‍රී ලංකා දූත පිරිසට ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අැමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රමුඛ ඇමතිවරු පිරිසක් ද එක්වූහ. ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම සඳහා කිසිදු දේශපාලන අරමුණකින් තොරව ශ්‍රී ලංකාවට සහාය දීමට සූදානම් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සමඟ සමීපව කටයුතු කිරීම තම අරමුණ බවත් චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං එහිදී පැවසීය. මේ, ජනපතිගේ චීන සංචාරය පිළිබඳ සංක්ෂිප්ත සටහනකි.

සංචාරයේ පළමු දින ආරම්භ කරමින් ඉකුත් 16 වැනිදා පස්වරුවේ ජනපති රනිල් වික්‍රමසිංහයන් බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති ආයෝජන, වෙළෙඳ සහ සංචාරක සැසියකට සහභාගී වූ අතර, තරගකාරී හරිත සහ ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව ක්‍රමිකව ඉදිරියට යමින් සිටින බැවින් අනාගත ව්‍යාපාරික අවස්ථා සඳහා ශ්‍රී ලංකාව වේදිකාවක් කර ගන්නා ලෙස ජනාධිපතිවරයා එහිදී චීන ව්‍යාපාරිකයන්ට ඇරයුම් කළේය. ශ්‍රී ලංකාවේ භූ ගෝලීය පිහිටීම නිසා ආසියා කලාපයට බටහිර වෙළෙඳ පොළ ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව උපයෝගී කර ගැනීමේ විශේෂ අවකාශයක් පවතින බව ද එහිදී ජනාධිපතිවරයා අනාවරණය කළේය. ප්‍රවාහන සහ ජනමාධ්‍ය අැමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි එහිදී චීන ව්‍යාපාරික ප්‍රජාව විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන්හ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ප්‍රමුඛ දූත පිරිස ඉකුත් 17 වැනිදා පෙරවරුවේ බීජිං නුවර හුවාවි සමාගමේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වූ අතර, එහිදී චීනයේ හුවාවි (Huawei) සමාගමේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. ශ්‍රී ලංකාවේ මෘදුකාංග හා දෘඩාංග ඉංජිනේරුවන් වාර්ෂිකව බිහිකිරීමේ අධ්‍යයන වැඩසටහනක් වෙනුවෙන් සහාය ලබාදීමට තම සමාගම සූදානම් බව හුවාවි සමාගමේ තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ හුවාවි ආසියා පැසිෆික් කලාපීය සභාපති සයිමන් ලින් (Simon Lin) එහිදී පැවසීය. අනාගත ලෝකයට ශක්තිමත්ව මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවේ ඉතා තරගකාරී ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් නිර්මාණය කළ යුතු බවත් ඒ සඳහා මූලික පදනම දැන් සැකසෙමින් පවතින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී පැවසීය. ශ්‍රී ලංකාවේ පාසල් ඩිජිටල්කරණය සඳහා හුවාවි සමාගමේ සහාය ලබාදීම පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබීම ද මෙහිදී සිදු විය.

සංචාරයේ තෙවැනි දිනය වූ ඔක්තෝබර් 18 වැනිදා ජනපති රනිල් වික්‍රමසිංහයන් 03 වැනි “එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුවට සමගාමීව එදින පස්වරුවේ චීන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී “ස්වභාවික සුසංයෝගය වෙනුවෙන් හරිත සේද මාවත” මැයෙන් පැවති සම්මන්ත්‍රණය ඇමතුවේය. සම්මන්ත්‍රණය චීන මහජන සමූහාණ්ඩුවේ උප ජනාධිපති හාන් ෂෙංග් (Han Zheng)ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් (Antonio Guterres) සහ අනෙකුත් රටවල රාජ්‍ය නායකයෝ ද අදහස් දැක්වූහ. ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් එහිදී ප්‍රකාශ කළේ අනාගත දේශගුණික විපර්යාසයන්ට ශක්තිමත්ව මුහුණ දීමට ඝර්ම කලාපීය රටවල් කේන්ද්‍ර කර ගනිමින් විශේෂ වැඩපිළිවෙළක් දියත් කළ යුතු බවයි.

ලෝකයට ආවේණික ශාක ප්‍රභේදයන්ගෙන් 80%ක් හා සමස්ත කොරල් සහ කඩොලානවලින් 50%ක් පමණ පිහිටා ඇත්තේ ද ඝර්ම කලාපය තුළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම තත්ත්වය පසුබිම් කරගෙන දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමේ ප්‍රයත්නයක ශ්‍රී ලංකාව යෙදී සිටින බව ද අනාවරණය කළේය. දේශගුණික විපර්යාස අවම කර ගැනීමට මුළු මහත් විශ්ව ප්‍රජාවම එක්වී විසඳුම් සෙවිය යුතු බව පැවසූ ජනාධිපතිවරයා , ඒ සඳහා අඩු ආදායම් ලබන රටවලට ණය සහන ලබාදීම, වැඩි ආදායම් රටවලට සහනදායී පදනම මත ණය ලබා ගැනීමේ අවකාශ සැලසීම සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ඇතුළු වෙනත් බහුපාර්ශ්වීය සංවිධාන ඔස්සේ අමතර අරමුදල් සැපයීම යන යෝජනා ත්‍රිත්වය ද ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ එම යෝජනාවලට යහපත් ප්‍රතිචාර දක්වමින් දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් පිහිටු වීමට ශ්‍රී ලංකාව කළ යෝජනාව සම්බන්ධව අධ්‍යයන හා තාක්ෂණ අංශයන්ගෙන් සහයෝගය ලබාදීමට දේශගුණික කාර්යයන්ට සම්බන්ධ චීන ආයතන ගණනාවක නියෝජිතයෝ එකඟ වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සමඟ ඊට පසුදින එනම්, ඔක්තෝබර් 19 වැනිදා පැවති සාකච්ඡාවකදීය. දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් පිහිටුවීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රයත්නය ඉතා කාලෝචිත හා දූරදර්ශී එකක් බව එම නියෝජිතයෝ එහිදී ප්‍රකාශ කළහ.

එදින පස්වරුවේ ජනපති රනිල් වික්‍රමසිංහයන් සහ චීන උප අගමැතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් බීජිං නුවරදී පැවැත්විණි. මහජන චීන සමූහාණ්ඩුව සමඟ රබර් – සහල් ගිවිසුම අත්සන් කිරීම හරහා ශ්‍රී ලංකාව තමන්ට ලබා දුන් සහයෝගය චීන ජනතාව කිසිදා අමතක නොකරන බවත්, චීනය සෑමවිටම ශ්‍රී ලංකාව වෙත සහයෝගයේ දෑත දිගු කරන බවත් චීන උප අගමැති තිං ක්ෂ්යෙශං එහිදී පැවසීය. කොළඹ වරාය නගරය හා හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම සඳහා “එක් තීරයක් – එක් මාවතක්” වැඩසටහන යටතේ පූර්ණ සහාය ලබා දෙන බව ද මෙහිදී පැවසූ චීන උප අගමැතිවරයා, ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ නායකත්වය යටතේ එම ව්‍යාපෘති දෙකම සාර්ථකව අවසන් කිරීමට හැකිවනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව ද පැවසූ රනිල් වික්‍රමසිංහයන් ශ්‍රී ලංකාව RCEP හෙවත් කලාපීය ආර්ථික සබඳතා සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බව ද පැවසීය.

ජනපති රනිල් වික්‍රමසිංහයන් ඇතුළු දූත පිරිස එදින චීන සන්නිවේදන ඉදිකිරීම් සංස්ථාව, සිනොපෙක් සමාගම, BYD සමාගම ඇතුළු ප්‍රධාන පෙළේ චීන සමාගම් කිහිපයක නියෝජිතයන් සමඟ ද සාකච්ඡා පැවැත්වීය. වරාය නගරය අන්තර්ජාතික මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, වරාය නගර පරිශ්‍රය උදෙසා නව මූල්‍ය නීති රීති සම්පාදනය, වරාය නගර පරිශ්‍රයට සීමා වූ අධිකරණ සහ බේරුම්කාරක ක්‍රමවේදයන් සැකසීම පිළිබඳ මෙහිදී අවධානය යොමු විය. එසේම ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධති විදුලියෙන් ක්‍රියාත්මක කිරිමේ අවකාශ, විදුලි වාහන එකළස් කිරීම, විදුලි දුම්රිය සේවා ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.

එදින පස්වරුවේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා බීජිං නුවර “සුදු තුරඟ” විහාරස්ථානයේ විහාරාධිපති යින් ලී හිමිපාණන් සමඟ සාකච්ඡාවකට එක්විය. රනිල් වික්‍රමසිංහයන් අගමැතිව සිටියදී මෙම “සුදු තුරඟ” විහාර සංකීර්ණයේ ලාංකේය විහාර මන්දිරයේ ඉදිකිරීම සඳහා එවකට කථානායක කරු ජයසූරිය විසින් මුල පිරුව ද පසුකාලීනව එහි වැඩ කටයුතු ක්‍රියාත්මක නොවීය.

එබැවින් එම ලාංකේය විහාර මන්දිරයේ ඉදිකිරීම් යළි අරඹන ලෙසත්, විහාර මන්දිර සැලසුම් අලුතින් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව චීනයේ මුල්ම බෞද්ධ සිද්ධස්ථානය ලෙස සැලකෙන හිනන් පළාතේ “සුදු තුරඟ” විහාරස්ථාන පරිශ්‍රයේ ශ්‍රී ලාංකේය පාරම්පරික ගෘහ නිර්මාණ ලක්ෂණ පිළිඹිඹු කෙරෙන විහාර මන්දිරයක් සහ ස්ථූපයක් ඉදි කිරීමේ කාර්යය කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් පැවසීය. ෆාහියන් භික්ෂුව ලංකාවේ සිට චීනයට රැගෙන ආ බෞද්ධාගමික පාලි ග්‍රන්ථයන්හි පිටපත් මෙම විහාර මන්දිරයේ තැන්පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් ලබාදීමට ක්‍රියා කරන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ජනපති රනිල් වික්‍රමසිංහයන් සහ චීන ජනාධිපති ෂී ජින් පිං අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ඉකුත් 20 වැනිදා පෙරවරුවේදී චීන මහජන මහ ශාලාවේදී පැවැති අතර, එහිදී චීන ජනාධිපතිවරයා සහතික කර සිටියේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ සඳහා සුහද, ප්‍රායෝගික සහ කඩිනම් සහාය ලබා දීමට චීනය කටයුතු කරන බවය. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සමුළුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සිදු කළ කතාව මඟින් ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික ස්වාධීනත්වය පිළිඹිබු වූ බව සඳහන් කළ චීන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව දරන මධ්‍යස්ථ ස්ථාවරය ඇගැයීමට ලක් කළේය.

චීනය, මියන්මාරය, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව එක් කරන සමුද්‍ර ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී සඳහන් කළ අතර, ඒ සඳහා මුල පුරන ලෙස චීන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

සමුළුවට සමගාමීව චීනයේදී පැවති 29 වන ITS ලෝක සම්මේලනයේ අමාත්‍යවරුන්ගේ සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් වූ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අැමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන සමුළුව අමතමින් පැවසුවේ “එක් තීරයක්-එක් මාවතක්” වැඩසටහන යටතේ රටවල් රාශියක ඉදිකිරීම් හා යටිතල පහසුකම් වර්ධනය උදෙසා ව්‍යාපෘති රාශියක් වෙනුවෙන් සුවිශේෂී අවස්ථා රැසක් නිර්මාණය කර ඇති බවයි. යටිතල පහසුකම් අවශ්‍ය රටවල් සඳහා, නව දුම්රිය මාර්ග, මාර්ග, වරාය සහ වෙනත් ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම සඳහා රටවල් තුළ සහ රටවල් අතර සම්බන්ධතා වැඩිදියුණු කිරීමේදී එක් තීරයක්-එක් මාවතක් වැඩසටහන දැවැන්ත මෙහෙවරක නිරත වන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

මේ වන විට චීනය, ශ්‍රී ලංකාව තුළ ප්‍රවාහන, ජලය, විදුලිය, වරාය ආදී යටිතල පහසුකම් නඟා සිටුවීම උදෙසා ව්‍යාපෘති ගණනාවක් සම්පූර්ණ කරමින් රටේ සමාජ, ආර්ථික සංවර්ධනයට සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇති බවත් කොළඹ නගරය ගුවන්තොටුපළට සම්බන්ධ කරමින් කටුනායක අධිවේගී මාර්ගය හඳුන්වා දීමෙන් කෘෂි නිෂ්පාදන ඇතුළු භාණ්ඩ වඩාත් කඩිනමින් ප්‍රවාහනය කිරීමට පහසුකම් සැලසී ඇති අතර, යටිතල පහසුකම් සංවර්ධනය මඟින් ව්‍යවසායකයන්ට වෙළෙඳ පොළ වෙත කඩිනමින් සහ පහසුවෙන් පිවිසීම උදෙසා ඉහළ උත්තේජනයක් ඇති කිරීමේ හැකියාව ඇතිවී ඇති බවත් අවධාරණය කළේය.

2015 වසරේ සිට චීනය සෑම වසරකම ශ්‍රී ලංකාවට ශිෂ්‍යත්ව, පුහුණු වැඩසටහන් සහ සීමාවාසික පුහුණු සඳහා අවස්ථාවවන් 1200 කට වඩා පිරිනමා තිබීම පිළිබඳ ආචාර්ය බන්දුල ගුණවර්ධන සිය කෘතඥතාව ද පිරිනැමීය.

ශ්‍රී ලංකාව “එක් තීරයක් එක් මාවතක්” තුළ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ හැකියාව පවතින බවත් ශ්‍රී ලංකාව කලාපයේ ප්‍රමුඛතම සැපයුම්, වෙළෙඳ සහ නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ අපේක්ෂාව උදෙසා එක් තීරයක් එක් මාවතක් වැඩසටහනට සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළ හැකි බව ද පෙන්වා දුන්නේය.

මෙම සමුළුව තුළින් මිත්‍රත්වයේ, විශ්වාසයේ සහ අන්‍යෝන්‍ය අවබෝධයේ සවිමත් සබඳතාවක් ගොඩනඟා ගැනීමේ අවස්ථාව උදාවී තිබෙන අතර, එක්ව අත්වැල් බැඳගෙන කටයුතු කිරීමෙන් සැමට තිරසර වර්ධනයක්, සැමට භුක්ති විඳිය ප්‍රතිලාභ සහ වඩාත් සමීපව බැඳුණු ලෝකයක් බිහි කර ගැනීමට හැකි වනු ඇති බවට ද අැමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන සිය විශ්වාසය පළ කළේය.

 

සුරේකා නිල්මිණි ඉලංකෝන්,

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division