Home » නිවැසියන්ට කිරි ඉතිරෙන ගිනිකොනදිග මුළුතැන්ගෙය

නිවැසියන්ට කිරි ඉතිරෙන ගිනිකොනදිග මුළුතැන්ගෙය

by thanushika
October 21, 2023 12:30 pm 0 comment

ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාවේදී
විදුහල්පති දැරණියගල කපිල ඉන්ද්‍රික ගුණදාස

ගෘහාශ්‍රිත වාස්තු විද්‍යාවේදී මුළුතැන්ගෙයට ප්‍රධාන ස්ථානයක් හිමි වේ. විශේෂයෙන් ම නිවසක දියුණුවට, නිවැසියන්ගේ සමඟියට මෙන්ම නීරෝගී බවට බෙහෙවින්ම බලපාන මුළුතැන්ගෙය ඉතා නිවැරදිව ඉදිකර ගත යුතුය. එය ඉදිකළ යුත්තේ අග්නි දේවතාවාට අයත් ගිනිකොන දිශාවේය. මුළුතැන්ගෙය ගිනිකොන දිශාවේ ඉදිකර ඇත්නම් එහි නිවැසියන්ට සැප සම්පත් නොඅඩුව ලැබෙන බව වාස්තු විද්‍යාවේ දැක්වේ.

නිවසක මුළුතැන්ගෙය උතුරු දිශාවේ නම් එහි වෙසෙන නිවැසියන්ගේ පවුලේ සමගියට බාධා ඇති වේ. නිතර අඹුසැමියන් අතර මත ගැටුම් ඇති වේ. දරුවන් අකීකරු වේ. මුළුතැන්ගෙය දකුණු දිශාවේ නම් එහි නිවැසියන් දිනෙන් දින දිළිඳු වේ. ඔවුන්ගේ ආදායම් මාර්ග, රැකියා අහිමි වේ. බටහිර දිශාවේ මුළුතැන්ගෙය පිහිටි විට නිවැසියන් එකිනෙකා නුරුස්සන ගතියෙන් පසු වේ. කලකෝලාහල ඇතිකර ගනී. මුළුතැන්ගෙය නැඟෙනහිර දිශාවේ නම් එම නිවසේ ගෘහිණිය නිතර කලකිරීමෙන් පසු වේ.

මුළුතැන්ගෙය වයඹ දිශාවේ පිහිටි විට නිවසට ගින්නෙන් හානි සිදුවිය හැකි අතර ඊසාන දිශාවේ පිහිටීම නිවසේ පිරිමි දරුවන්ට අපලදායක වේ. නිරිත දිශාවේ මුළුතැන්ගෙය පිහිටීම නිවැසියන්ට සුබදායක වේ. මේ අනුව මුළුතැන්ගෙය සඳහා ඉතාමත් සුදුසු වන්නේ ගිනිකොන දිශාව පමණක් බව පැහැදිලි වන අතර එහි ළිප බැඳීම, ගෑස් ළිප් හෝ උඳුන් ළිප් තැබිය යුත්තේද ගිනිකොන දිශාවේමය. කිසි විටකත් බිම ළිප බැඳීම හෝ ගෑස් ළිප තැබීම නොකළ යුතු අතර ඒ සඳහා පොළෝ මට්ටමෙන් මඳක් උස් වේදිකාවක් වැනි කොටසක් සාදා ගත යුතුය. ළිප් තුනක් එක පෙළට බැඳීම අසුබ වන අතර ළිප් දෙකක් හෝ එක ළිපක් බැඳීම සුබදායක වේ.

ළිප බැඳීම හෝ ගෑස් ළිප තැබීම සදහා පෝරණුවක් බඳින්නේ නම් එය මුළුතැන්ගෙයින් පිටතට පන්නා නොසෑදිය යුතුය.

ඉන් නිවස පොරෝ හැඩයක් ගනු ලබන අතර එසේ වූ විට එම නිවසේ සෞභාග්‍යය පලා යයි. ආර්ථික අපහසුතා ද ඇති වෙයි. දුම් පිටවන චිමිනියද ගිනිකොන දිශාවේ විය යුතුය. මුළුතැන්ගෙයි දොර ඊසාන හෝ වයඹ දෙසින් තැබීම සුදුසුය. පෝරණුව උළුවස්ස කෙළින්මද, මර්මස්ථාන රේඛාවලට හෝ ප්‍රේත පාදයට හසු නොවන ලෙස ද සෑදිය යුතුය. මුළුතැන්ගෙය නිවසේ මට්ටමට වඩා පහත් වීම ද සුබදායක නැත. එසේම මුළුතැන්ගෙයි ආහාර පිසිය යුත්තේ ද නැඟෙනහිරට මුහුණලාය.

වයඹ දිශාවට මුහුණලා ගිනි මෙළවීමෙන් නිවසේ ආර්ථිකය පිරිහෙන බවද, නිරිත දිශාවට මුහුණලා ආහාර පිසීමෙන් නිවසේ වෙසෙන විවාහකයන්ගේ ලිංගික බෙලහීනතාද ඇති වේ. එසේම ධනය පිරිහෙන බවද බටහිර හෝ ඊශාන දිශාවට මුහුණලා ඉවුම් පිහුම් කිරීමෙන් මානසික අසහනය හා ආර්ථික පරිහානිය ඇති වන බවද සඳහන් වේ. මුළුතැන්ගෙයි සින්ක් එක සවි කළ යුත්තේ ඊසාන දිශාවේය. බඩු තැබීමට යොදාගන්නා කබඩ් වැනි දෑ බටහිර හා දකුණු දෙසට සුදුසුය. පිසූ ආහාර තැන්පත් කිරීමට දකුණු දිශාව සුබය. කොහු ඉදල් ආදිය හා අපවිත්‍ර දෑ දමන බඳුන වයඹ දිශාවේ තැබිය යුතුය. දර මඩුව හා බලු කූඩුව සෑදිය යුත්තේද වයඹ දිශාවේය. මිරිස් ගල හෝ වංගෙඩිය දකුණු පැත්තේ තැබිය යුතු අතර මිරිස් ගලේ අඹරන තැනැත්තා හෝ වංගෙඩියේ කොටන තැනැත්තා නිවසේ ඇතුළත බලාගෙන එය නොකළ යුතුය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division