Home » ඔබේ කේන්දරේ කුජ 8 වැන්නේ ද?

ඔබේ කේන්දරේ කුජ 8 වැන්නේ ද?

විවාහයට පෙර පලාපල දැනගන්න

by thanushika
October 21, 2023 12:30 pm 0 comment

ස්ත්‍රී කේන්දරයක කුජ හෙවත් අඟහරු 8 වැන්නේ පිහිටීම සහකරුට අපල ගෙන දෙන තත්ත්වයක් බව බොහෝ දෙනා විශ්වාස කරති. කුජ 8 වැන්නේ සිටි පමණින්ම සැමියා අකාලයේ මිය ගොස් වැන්දඹු තත්ත්වයට පත්වන බව පිළිගැනීමට අප ඉක්මන් විය යුතු නැත. කුජ 8 වැන්නේ කුජ දෝෂය සියලු ලග්නවලට එක හා සමාන ප්‍රතිඵල ගෙන දෙන්නේ නැත. ලග්න දොළහ තුළ කුජ 8 වැන්නේ පිහිටීම අනුව පලාපල විමසා බැලීමෙන් මෙය අපට පැහැදලි වේ.

මේෂ ලග්නය

8 වැන්නේ වෘශ්චික රාශිය වන අතර එහි කුජ පිහිටි පමණින්ම ඇය වැන්දඹුවක් නොවන බව පැවසිය යුතුය. කුජ ස්වක්ෂේත්‍රව පිහිටීම නිසා ස්වාමියාට මාරක විපත් සිදු නොවනු ඇත.

වෘෂභ ලග්නය

කුජ 8 වැන්නේ වූ ධනු රාශියේ පිහිටීම ශුභ වේ. මෙහිදී කුජ බලවත්ව සිටීම අනුව සහකරුගේ බලය වර්ධනය වන අතර ඇයගේ ස්වාමීයාට කුජ දෝෂය බලපෑම මත අපල ඇති කරන්නේ කලාතුරකිනි. වැන්දඹු වීමට ඉඩක් නැත.

මිථුන ලග්නය

මෙම ලග්න හිමි අයට මකර රාශි ගතව 8 වැන්නේ කුජගේ පිහිටීම අශුභ වේ. ශනි, රාහු, කේතු වැනි පාප ග්‍රහ බලපෑම් කුජට තිබේ නම් සහකරුට මාරක අපල ගෙන දේ. මිථුන ලග්න හිමියන්ට කුජ 8 වැන්නේ පිහිටීම අනුව ජීවිතයේ දැඩි දුක්කම්කටොලු බාධක ඇති වීම සිදු වේ. වැන්දඹු වීමේ අවදානමක් ද ඇත.

කටක ලග්නය

කටක ලග්නය වූ කේන්දරයක 8 වැන්න කුම්භ රාශියට අයත් වන අතර එය එතරම් අයහපත් නොවේ. කුජ සමඟ ශනි පිහිටි ස්ත්‍රී කේන්දර අනුව තම ස්වාමියාට තරමක් අපල ගෙන දෙන අතර විවාහ ජීවිතයේද හැලහැප්පීම් ඇති වේ.

සිංහ ලග්නය

සිංහ ලග්න හිමි කතුන්ට කුජ 8 වැන්නේ සිටීම ස්වාමියාට අශුභ නොවනු ඇත. සිංහ ලග්නයට භාග්‍ය ස්ථානාධිපති කුජ 8ට කරන බලපෑම් අනුව විවාහය වාසනාවන්ත වනු ඇත. සඳුගේ ශනිගේ හෝ බුධගේ බලපෑම් මත යහපත් ප්‍රතිඵල තරමක් අඩු වීමට පුළුවන. නමුත් ස්වාමීයාට අකල් මරණ විපත් ඇති නොවේ.

කන්‍යා ලග්නය

මේෂ රාශිය වූ 8 වැන්නේ කුජ පිහිටීම එතරම් අයහපත් නොවේ. සුබ පල ලැබේ. සඳු හෝ සිකුරුගේ දෘෂ්ටිය මෙයට ලැබීමෙන් වඩාත් වාසනාවන්ත ජීවිත ගත කිරීමට මෙම ජන්මීන්ට හිමි වේ. විවාහක සහකරුට හෝ සහකාරියට අපලයක් හෝ මාරකයක් ගෙන නොදේ. බිරිය අකාලයේ වැන්දඹුවක් නොවේ.

තුලා ලග්නය

8 වැන්න වෘෂභ රාශිය වන අතර මෙහි කුජ පිහිටි වනිතාවගේ විවාහ ජීවිතය එතරම් සාර්ථක නොවන බව පෙනේ. බොහෝ විට විවාහයට බලවත් බාධක ඇති කිරීම් තුළින් විවාහය දෙදරා යාම් ඇතිවන අතරම හදිසියේම අකාලයේ සැමියා මරු වසඟයට ලක්වීමට ඉඩ ඇත.

වෘශ්චික ලග්නය

8 වැන්න මිථුන රාශිය වන අතර මෙහි කුජ පිහිටීම අනුව කුජ සතුරු වීම නිසා එහි බලය අඩු වී යයි. පාප ග්‍රහ දෘෂ්ටි තිබීමෙන් අපල උපද්‍රව වැඩිවීම පෙන්වයි. සැමියාට හදිසි මාරක ඇති කරයි. බිරිය ළාබාල වියේදීම වැන්දඹු වීමට පුළුවන.

ධනු ලග්නය

මෙහි 8 වැන්න කටක රාශිය වන අතර එහි කුජ සිටීම අයහපත් නොවන අතර ලග්නාධිපතිට කුජ පෙනීම ඇත්නම් සඳු දුර්වල වීම වැනි අසුබ වීම් ද මඟ හැරී යනු ඇත. කුජ 8 පිහිටීම සැමියාට මාරකයක් උදා නොවේ.

මකර ලග්නය

සිංහ රාශිය මකර ලග්නයේ 8 වැන්න වන අතර එහි කුජ පිහිටීමෙන් අශුභ බව දැඩිව ඇති වේ. කුජ, රාහු, රවි යන ග්‍රහයන් සමඟ සබඳතා පවතී නම් වැන්දඹු බවට පත්වේ. ස්වාමියාට අපල දායක වේ.

කුම්භ ලග්නය

කන්‍යා රාශියේ කුජ පිහිටීම අනුව එය එතරම් ශුභ නොවන අතර බලය අඩු වීමක් තිබේ. විවාහය අතරමඟ කැඩී යාමක් හෝ අකාලයේ සැමියාගේ වියෝ වීමක් සිදු විය හැකිය.

මීන ලග්නය

8 වැන්න තුලාව වන අතර එහි කුජ පිහිටීම අශුභයි. සිකුරු යහපත්ව බලපායි නම් කුජගේ පිහිටීම යහපත් අතට හැරෙන අතර පාප ග්‍රහ බලපෑම් තිබේ නම් එය වැන්දඹුවක වීමේ පෙර නිමිත්තක් බව ජ්‍යොතිෂයේ දැක්වේ.

කුජ 8 පිහිටීම වැන්දඹු යෝගයක් වුවත් එය සෑම ලග්නයකටම වැන්දඹු යෝගයක් නොවේ. කෙසේ වුවද 8 වැන්නෙහි කුජ විවාහ දෝෂ ඇති කරන බැවින් කුමන ලග්නකාරියක් වුවද දෝෂය භංග වන පරිදි ගැළපෙන කේන්දරයක් තෝරාගෙන විවාහ වීමට තරයේ ඉටා ගත යුතු බවද මෙහිලා අවවාද කරමු.

8 වැන්නේ කුජ පිහිටීම විවාහ නාශක යෝගයකි. එහෙත් එය සෑම ලග්නයකටම බලපෑම් කියා සිතීමද අනුවණකමකි. කරුණු කෙසේ වුවත් ලග්නය කුමක් වුවත් විවාහයේදී කුජ දෝෂය සොයා බලා විවාහ වීමට ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය තරයේ සිට ගත යුතුය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division