Home » කේන්දරේ 5 වැන්නෙන් හෙළිවන දරු සම්පත

කේන්දරේ 5 වැන්නෙන් හෙළිවන දරු සම්පත

by thanushika
October 21, 2023 12:35 pm 0 comment

විවාහයකදී දරුවන් යනු අතිශය වැදගත් සාධකයකි. දරු සම්පත්තිය පිළිබඳව කේන්දරයෙන් බොහෝ විග්‍රහයන් සිදු කෙරේ. මෙවර විශ්ව ශාස්ත්‍රඥ මියුරු සම්පත් ලියනගේ ඉසිවරට හෙළි කරන්නේ දරු සම්පත් ගැනයි. ස්ථානීය ජ්‍යොතිෂය ඔස්සේ මියුරු සම්පත් දරු සම්පත ගැන සිය අදහස් පෙළ ගස්වන්නේ මෙසේ ය.

“දරුවන් ගැන සඳහන් කිරීමේදී කේන්දරේ කොටු 12න් ස්ථාන තුනක් ප්‍රධාන වෙනවා. ඉන් ප්‍රධානම ස්ථානය 5 වැන්නයි. 5 වැන්නේ දරුවන් ගැන ලියැවෙන විට එහි පිහිටන ග්‍රහ තත්ත්වය 11 වැන්නෙන් බලවත් වන ආකාරයක් පෙන්නුම් කරනවා. මෙකී ස්ථාන දෙක ඇසුරෙන් 7 වැන්න නැතිනම් විවාහක ස්ථානයේ දරු පල සඳහන් වෙනවා.

5 වැන්න ගැන සඳහන් කළ විට නීත්‍යනුකූල විවාහය ගැනත් ලියැවෙනවා. නීත්‍යනුකූල භාවයකින් තොරව උපදින දරුවන් ගැනත් 11 වැන්නේ සඳහන් වෙනවා. මෙකී භාව ස්ථාන තුනෙන් ස්ථානගත ජ්‍යොතිෂය ඔස්සේ ඉතාම සරල ලෙස දරුවන් ගැන සඳහන් වෙනවා. එසේම 8 වැන්නද දරුවන් ගැන සඳහන් භාවයක්.

“ඉන් සඳහන් වන්නේ දරුවන් මාපියන් සමඟ රැඳෙන, නෙරැඳෙන ආකාරයයි. ඊට නීත්‍යනුකූලද නොඑසේ නම් නීත්‍යනුකූල නොවන ආකාරයෙන්ද යන්න බේදයක් නෑ. එසේ බිහි වන කුමන දරුවෙක් හෝ එකී මාපියන් සමඟ රැඳෙනවාද යන්න 8 වැන්නෙන් කියැවෙනවා. ඇතැමුන් දරු පල මෙන්ම දරුවන් විවාහ වීමෙන් පසුව ද ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ එකී විවාහක දරුවන්ට දරු පල අහිමි වීමෙන් හෝ පරක්කු වීමෙන්.

“සමහරු ඇවිල්ලා කේන්දර පරීක්ෂා කරනවා තමන්ගේ කසාද බැඳපු දරුවන්ට බබාලා පරක්කු ද? බබාලා නොලැබේවි ද? ආදි කාරණා පවසමින්. එහිදී සොයා බැලිය යුතු ප්‍රධානම කරුණ එම විවාහක දෙදෙනාට දරු සම්පත් නොමැති ද කියා. එහිදී 7 වැන්න සහ 2 වැන්න තුළ හෝ එම භාව ස්ථාන දෙක ඔස්සේ ගොස් 12 වැන්නෙන්ද එම කාරණය ගැන සොයා බැලිය හැකියි. ඒ කියන්නෙ එම යුවළට දරුවන් නැද්ද? නැතිනම් කලක් ගොස් ලැබේවි ද කියා.“

ඇතැම් කේන්දර පරීක්ෂා කරද්දී දකිනවා දරුවන්ගේ උපතත් සමඟ මවුපියන්ට බොහෝ වාසනාව ගෙන දෙනවා. ඒ වගේම සමහර දරුවන් උපදිනවා මවුපියන්ටත් සමාජයටත් දෙකොට්ඨාසයටම පීඩාකාරි ආකාරයට.

ආචින්න, උපපීඩක, කටක්තා සහ ජනක නමැති කර්මස්ථානයන්හිදී දරුවන් නිසාවෙන් දුක් පීඩා විඳීමට මවුපියන්ට බලයක් නෑ. එම නිසා එවැනි කර්මයන් පිහිටි අයට බොහෝ විට දරු සම්පත් නෑ. ඊට හේතුව එවැනි කර්මස්ථාන හිමි අයවලුන්ට දරුවන් නිසා දුක්-පීඩා විඳීමට අවස්ථාවක් නොමැති නිසා.

“එවැනි අයට කුසල ශක්තිය නිසාවෙන් දරු පල අහිමියි. ඇතැමුන් දරුවන් ලබලා දරුවන් නිසා බොහෝ සේ පීඩාකාරි තත්ත්වයන්ට මුහුණ දෙනවා. ඒ වගේම දරුවෝ නිසා වාසනාවන්ත තත්ත්වයටත් පත්වන බව මතක තබා ගත යුතුයි. පොදුවේ ගත්තම බොහෝ ජ්‍යොතිෂවේදීන් දරුවන් නිසා වරදින තැන් කියන්නෙ නෑ. දරුවන් නිසා හරියන තැන් පමණයි කියන්නෙ. හැබැයි මවුපියෝ ඇත්ත වගේම තිත්තත් දැනගත යුතුයි.

සමහර කේන්දරවල දරු පල ඇත්තේම නැහැ. එවැනි අය දරුවෙක් අරන් හදාගත්තට කමක් නැහැ. සමහර කේන්දරවල පෙන්නුම් කරනවා දරු පල ප්‍රමාදයි; මඳක් ප්‍රමාදයි වගේ කාරණා. එහිදී අවුරුද්ද දෙකේ සිට අවුරුදු 15ක් ගොස් දරුවන් හම්බ වුණ අවස්ථාත් තියෙනවා. තවත් සමහරුන්ට දරු පල පිහිටනවා. එහෙත් මෙලොව එළිය දකින්නට පෙර විනාශ වෙනවා. එය ස්වාභාවික මෙන්ම අස්වාභාවික ලෙසත් සිදු වෙනවා. එහෙම දරු පල ඉවත්වීම් ගැන කේන්දරයේ 8 වැන්නෙන්, 12 වැන්නෙන් සහ 11 වැන්නෙන් කියැවෙනවා.

“මේ දේ හරි වැදගත්. අපට ඇසට පෙනෙන දේ වගේම නොපෙනෙන දේත් තියෙනවා. බුදු දහම වගේම වෙනත් ආගම් පිළිපදින අයත් ඉන්නවා. ප්‍රධාන වශයෙන් බුදු දහම, කිතුනු දහම, මුස්ලිම් ආගම වගේ ආගම් තියෙනවා. මේ හැම ආගමකින්ම ඒ අයගේ මනසට බද්ධ කරනවා මේ විශ්වයේ තිබෙන එක්තරා ‘ඕරා‘ එකක්. ශක්තියක්. තමන් එකම අරමුණකින් තමන්ගේ අරමුණ සඳහා ප්‍රාර්ථනා කළොත් විශ්වයේ එම ශක්තිය ආශීර්වාදයක් දෙනවා දරු පල නිර්මාණය සඳහා. අන්න එතකොටයි අපි කියන්නෙ පුදුම හාස්කමක් කියා. ඇතැමුන් කියන්නෙ ‘මං අහවල් තැනට ගියා… එතනට ගිහින් ප්‍රාර්ථනා කළා… මාස තුනක් යද්දි ගැබිනියක් වුණා…‘ කියා.

මම කියන්නෙ මේ ලෝකයේ අපි දකින්නෙ 10න් එකයි. ඉතුරු නවයම අපි දකින්නෙ නෑ. මේ විශ්වය කියන්නෙ බද්ධ වූ ගුප්ත වූ සීමාවක්. බද්ධ වෙච්ච ගුප්ත සීමාවක් තිබෙන නිසා සමහර දේවල් අපේ ඇසට පෙනෙන්නෙ නැහැ… එවැනි දෙයින් දරුවන් නිර්මාණය වෙනවා. ඒ සඳහා තමන්ගේ අරමුණ, බලය වගේම බාහිර බලපෑම්ද තමන්ට සරිලන පරිදි නිර්මාණය විය යුතුයි.“

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division