Home » කතරගම දෙවියන්ගේ පිහිට නොඅඩුව ලැබෙන මහානුභාවසම්පන්න සෙත් කවිය

කතරගම දෙවියන්ගේ පිහිට නොඅඩුව ලැබෙන මහානුභාවසම්පන්න සෙත් කවිය

by thanushika
October 21, 2023 12:32 pm 0 comment
ජ්‍යොතිර් විද්‍යා විශාරද කේ. එස්. එස්. යෝදින්ගේ

කතරගම දෙවියන් වෙනුවෙන් සිදු කරනු ලබන අතිප්‍රබල දේව කන්නලව්ව පසුගිය ඉරිදා සිළුමිණ ඉසිවරෙහි පළ විය. උන්වහන්සේගේ තේජස සහ ආනුභාවය ගැන දන්නා බැතිමතුන් අතිබහුලය. ඒ අතරට දේශපාලනය කරන උදවිය, ව්‍යාපාරිකයන්, වෛද්‍ය අංශයට සම්බන්ධ අය ප්‍රමුඛ අතිවිශාල පිරිසක් සිටින බව මාගේ අත්දැකීමයි. අප නොදන්නා නමුත් අප රකින සුරකින ගුප්තමය හෝ ස්වාභාවික යම් බලයක් විශ්වයේ පවතින බව යම් විටෙක ඔබට ද වැටහෙනු ඇත. එමෙන්ම සමාජයේ ඕනෑම සංස්කෘතියකට, ජන කොටසකට, භාෂාවකට, ආගමකට අයත් ජන කොටස් ඔවුනොවුන්ගේ පාරම්පරික හෝ ජන සමාජයීය වශයෙන් කුමක් හෝ ගුප්තමය විශ්වාසයක් මත කටයුතු කරනා බව පෙනී යන කරුණකි.

කතරගම දෙවියන් පිළිබඳ ලාංකේය ජන සමාජය තුළ පවතින්නේ අතිප්‍රබල විශ්වාසයකි. ඒ උන්වහන්සේ කීප ආකාරයකටම තම බැතිමතුන් සඳහා පිහිට ආධාරය ලබා දෙන නිසාම විය හැකිය. අධ්‍යාපනයට, රැකියාවට, ව්‍යාපාරයට, දේශපාලනයට, වෘත්තියට, ග්‍රහ අපල, වස්දොස්, අමනුෂ්‍ය දෝෂ, මන්ත්‍ර ශාස්ත්‍රය, නඩුහබ, නීති ප්‍රශ්න, අගහිඟකම්, යානවාහන, ගේදොර වස්තුව, ධනය ආදී කොටගත් මෙකී නොකී දහසක් දෑ සඳහා උන්වහන්සේගේ දිව්‍යමය නේත්‍රාව යොමු වන බව සත්‍ය සහ අත්දුටු කරුණකි.

ඔබගේ මතු අනාගත බලාපොරොත්තු අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීමෙහිලා ඉතාම නිවැරදි ක්‍රමෝපාය මාර්ග තුළින් උන්වහන්සේගේ පිහිට ආධාරය ලබා ගන්නා ක්‍රමවේද පිළිබඳව දැනුම්වත් කෙරෙන මෙම ලිපි මාලාවෙන් මෙවර පාඨක ඔබට ඉදිරිපත් කරනු ලබන්නේ ඔබට නොසිතූ ප්‍රතිඵල උන්වහන්සේගෙන් හිමිකර ගත හැකි ක්‍රමයකි. ඔබට මෙය ඔබගේ නි‍ෙවසේ සිට හෝ අනුගමනය කළ හැකිය.

ප්‍රථමයෙන්ම කතරගම දේව පිළිරුවක් ඉදිරිපස රතු මල් කීපයක් තබා සුවඳ දුම් දී බුලත් කොළයක් මත මැටි පහනක් තබා එළඟි තෙල්, අබ, තල, සඳුන්, කපුරු ආදී තෙල් වර්ගවලින් එකක් භාවිත කර එම පහන දල්වන්න. මෙහිදී ව්‍යාපාරික දියුණුව සඳහා එළඟි තෙල්, තල තෙල් හෝ පස් තෙල් ද සතුරු කරදර උපද්‍රව සඳහා කපුරු තෙල් ද නඩුහබ හෝ නීති ප්‍රශ්න සඳහා සඳුන් තෙල් ද සුදුසුය. අනතුරුව පහත සඳහන් දේව ආරාධනාව භක්තිමත්ව සිදු කරන්න.

කතරගම දේව ආරාධනාව

විමල නිජ පාදා බිදං

වේද වේදාන්ත වෛද්‍යං

මම කුල ගුරු දෙහං

වද්‍ය ගාන ප්‍රමෝහම්

රවන සුගුන ජාලං

රථිග රථිහාගී නේයං

කමල ජනිත පාදං කාර්ති කේයං භජාමි

ශිව සරවණ ජානං ශෛව යොගං භක්ත්‍ය වන්දය ප්‍රමෝදම්

නව රස මධු පාදං නාද ශ්‍රිංකර රූපං

රවණ මධුර සාරං කාර්තිකේයං භජාමි

පහත සඳහන් කවියෙන් උන්වහන්සේට අනතුරුව ආරාධනා කරන්න. උන්වහන්සේ කවියට ප්‍රිය කරනා දෙවි කෙනෙකි. ඉතා මධුර ස්වරයෙන් යුතුව සියුම් හඬින් පහත සඳහන් කවි පෙළෙන් උන්වහන්සේ ආමන්ත්‍රණය කරන්න.

එරන් ගිරි මුදුනට

බැන්ද මල් අස්නට

රත්ද මයුරා පිට

කන්ද පුරපති වඳිමි මුල්කොට

පින් දීමේ ගාථාව

මුණු සය වෙතා ආනුභාව ඇති කදිරනේ

බානු පෙර පතා ආ චන්ද්‍ර ගිරිමෙතේ

පෙනු තෙද ඉතා වේ ඔබ වනු බැරි රතේ

රූණු තෙද ඉතා මේ මල් පානු සුවඳිනේ

අනතුරුව දෑත මුදුනේ තබා උන්වහන්සේගේ පිහිට ආධාරය ලැබෙන ඉතා බලගතු සෙත් කවිය 3වර කියන්න.

සෙත් කවිය

දරන සයවන යුග්ම සයකින් අත්පුරා සෙත සතට සලසන

දිලෙන මයුරාසනයේ තෙද යුතු කදිර පුරවර රජත පිං කෙත

සදන හට බැඳි පිරුණු පෙම් ඇති කන්ද කුමරු යොමා දිවනෙත

සරණා උවමැන පිං ලබාගෙන මවෙත ළැබැඳි දියුණු සුවසෙත

ඉතාම නිහඬතාවකින් යුතුව තුන් සිත ඒකාග්‍ර කරගෙන දෑස පියා ඔබ උන්වහන්සේගේ රුව සිතින් මවාගෙන ඔබගේ ගැටලු ප්‍රශ්න සිතින් උන්වහන්සේට කියන්න. විනාඩි තුනක්, හතක්, අටක් පමණ කාලයක් තුළ ඉතා බැතිබරව කියා අනතුරුව පින් දී උන්වහන්සේ විමන්ගත කරන්න.

සලාතනෝ මතාතේජෝ

බලෝ මයුර වාහනෝ

දේවින්දෝ කාචර ගාමේ

ඉමං පුඤ්ඤානු මොදතු

තේරුම

අප්‍රමාණවත් බල ඇති මුහුණු සයක් මවාපාමින් මහත් වූ දිව්‍ය තේජස මවුභාවයකින් හෙබිවැ මොනරු මත නැඟි කතරගමෙහි සරණා කතරගම දෙවිඳුන් මේ පින් අනුමෝදන් වන්න.

විමන්ගත කරවීම

කදිර දෙවියන්ට තැනු වීදිය පරසිද්දා

කදිර දෙවියන්ගේ උදහස නොම වෙද්දා

දොහොත් නගා දුන් පින් ගෙන නොවරද්දා

පිළිගෙන සියලු පින් ලැබ විමනට යෙද්දා

උතුම් කතරගම දෙවියනි ඔබ වඩිනකොට

රටක් විතර ඇති මගේ හද මඬල යට

මටත් බලන්නට දෙව්සිරි දෙනෙත් පිට

මේ පින් පඬුරුගෙන වඩිනුයේ විමා නෙට

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division