Home » නියමිත වත්පිළිවෙත් අනුව දරුවාට අකුරු කියවන්නේ මෙහෙමයි

නියමිත වත්පිළිවෙත් අනුව දරුවාට අකුරු කියවන්නේ මෙහෙමයි

අකුරු කියවන වයසේ පසුවන දරුවන්ගේ මවුපියන් අනිවාර්යයෙන් කියවිය යුතුම ලිපියක්

by thanushika
October 21, 2023 12:30 pm 0 comment

මිනිසුන් වශයෙන් ජීවත් වන අපි කුමන ජාතියකට කුමන ආගමකට අයත් වුවද කිනම් රටක වාසය කළද අප සැමගේ බලාපොරොත්තුව වන්නේ ජීවත්ව සිටින කාලය තුළ කරන සෑම දේම සාර්ථකව කර ගැනීමයි. අප ජීවිතයේ විවිධ අවස්ථාවලදී විවිධ සිරිත්විරිත්, සාරධර්ම, වත්පිළිවෙත් අනුගමනය කරන්නෙමු. විශේෂයෙන් සිංහල බෞද්ධ වූ අපගේ ගෘහ ජීවිතයේ සුවිශේෂ වස්තුවක් ලෙස දරු සම්පත් අගය කරයි. මේ නිසා අපි අපේ දරුවන්ගේ ජීවිතවල වැදගත් සිදුවීම්වලදී විවිධ චාරිත්‍රවාරිත්‍ර සම්ප්‍රදායන් අනුගමනය කිරීමට හුරු පුරුදු වී සිටින්නෙමු.

දරුවෙකු කුස පිළිසිඳ ගත් මොහොතේ සිට ජීවිතයේ විවිධ අවස්ථාවල අනුගමනය කරන බොහෝ කාර්යන්, මංගල කාර්යන් ලෙස සලකන්නෙමු. තම සිඟිති දුවට, පුතාට ‘අත්පොත් තැබීමේ මංගල්‍යය‘ හෙවත් ප්‍රථමයෙන් අකුරු කියවීමද එවන් එක් චාරිත්‍රයකි. බොහෝ බෞද්ධයන් මෙම අවස්ථාවේදී ඉතා වැදගත්කොට සලකන්නේ ශුභ මොහොතින් පළමුව අතපොත් තැබීම හෙවත් අකුරු කියවීමය.

බොහෝ දෙනෙක් මේ සඳහා ශුභ නැකැත් මුහුර්ත යොදා ගැනීමට හුරු පුරුදු වී ඇත. ඉන්දියාවේ හින්දු අය මෙම අත්පොත් තැබීම හෙවත් අකුරු කියවීමේ මංගල්‍යය ඉතා ඉහළින් පවත්වන්නේ අධික දේව විශ්වාස හා ඇදහිලි පෙරටුකොටගෙනය. ඈත අතීතයේ සිට මිනිසුන් මේ සඳහා ශුභ නැකැත් බැලීමට හුරු පුරුදු වී සිටි බව ඉතිහාසයේ සඳහන් වේ.

ඈතම යුගයේ කුඩා දරුවකු ගුරු ගෙදරට කැඳවාගෙන යාම, ගුරුවරයාට බාර කිරීම එදා පැවති සම්මත සිරිත විය. අද එවැන්නක් එසේ සිදු නොවුණත් ශුභ මොහොතින් අකුරු කියවීම සඳහා ජ්‍යොතිෂ විද්‍යාවේ පිහිට පැතීම ඉතා සුලභ කරුණකි. ජ්‍යොතිෂයේද මේ සඳහා වෙන් වූ විශේෂ සරසවි යෝග උදා වන ග්‍රහ බලයන් පිළිබඳ මුහුර්ති චින්තානේ, හෝරාබරණය, යෝගචන්ද්‍ර, කාම ධේනුව වැනි පැරණි ග්‍රන්ථවලට සුවිශේෂ තැනක් දී තිබේ. මේ නිසා අතපොත් තැබීමේදී ඉතා වැදගත් කාර්යක් වන්නේ ශුභ නැකතින් අත්පොත් තැබීමය. ජ්‍යොතිෂ විද්‍යාවේ නැකත යනුවෙන් සඳහන් වන්නේ ඉතා සුළු මොහොතකි. බොහෝ විට මෙම මුහුර්තය වත්මන් ඔරලෝසුවේ විනාඩි 4ක වැනි කෙටි කාලයකට සීමා වී ඇත. මේ නිසා නැකතට අකුරු කියවීමේදී බොහෝ අවස්ථාවල දරුවා තුළ අනවශ්‍ය බරක් පටවා බියක් චකිතයක් ඇති කරමින් නුහුරු නුපුරුදු උගත් යැයි සම්මත ආගන්තුකයන් වෙත දරුවා යොමු කරති.

කුඩා දරුවකුගේ මනස ඉතා ළද බොළඳය. තැති ගැන්මක් ඇති වී සමහර විට එය ළමා සිතෙහි යටි සිත තුළ තැන්පත් වුවහොත් ජීවිත කාලයටම බලපෑමට ඉඩ ඇත. අත්පොත් තැබීමේදී මවුපියන් විසින් කරන ප්‍රබල වරදක් නම් නුහුරු නුපුරුදු අය වෙත දරුවා යොමු කරමින් ශුභ මොහොතක අකුරු කියවීමයි. එවිට කුඩා මනස අසහනයට පත් වේ. මෙවන් අවස්ථාවලදී ශුභ මොහොත ගෙවී බොහෝ වේලාවක් යන තුරු දරුවා අකුරු උච්චාරණය කිරීම හා අකුරු ලිවීම සිදු නොකරයි. එපමණක්ද නොව අධික මානසික බියට පත්වන දරුවා විලාප නඟයි. හඬයි. තම බලාපොරොත්තු සුන් කරගත් දෙමාපියන්ම දරුවාට තරවටු කරන අවස්ථාද නැත්තේ නොවේ.

මේ තුළින් සිදු වන්නේ දරුවාගේ මානසික අපහසුතාව නිසා මුළු ජීවිත කාලයම අධ්‍යාපන කටයුතුවලට අනවශ්‍ය බියක් චකිතයක්, හීනමානයක් යටි සිත තුළ තැන්පත් වීමකි. මෙවන් අවස්ථාවලදී දරුවාගේ පොදු යහපත සඳහා කරන්නට යන දෙය බරපතළ වරදකට මුලපිරීමක් විය හැකිය. අත්පොත් තැබීමේ චාරිත්‍රයේදී ඉතා වැදගත්ම කාර්ය වන්නේ ශුභ මොහොත ඉක්ම යාමට පෙර දරුවාට අකුරු උච්චාරණය හා ලිවීමට හුරු කිරීමයි. එමෙන්ම එම මොහෝතේදීම දරුවා සුවිශේෂ සැහැල්ලු මනසින් එයට යොමු කිරීමට වගබලා ගත යුතුය. එවිට දරුවා චකිතයකින් තොරව මවුපිය සෙනෙහසින් සතුටට පත්ව නියමිත මොහොතේදී අකුරු උච්චාරණය, ලිවීම සිදු කරයි. එය ඉතා සාර්ථක ක්‍රමයකි.

මෙහිදී දෙමාපියන්ගේ අධ්‍යාපන මට්ටම, දැනුම, සමාජ මට්ටම කිසිම බලපෑමක් සිදු නොකරයි. අවශ්‍ය වන්නේ දරුවාගේ අනාගත සාර්ථකත්වය අපේක්ෂාවෙන් ආශිර්වාද කරමින් එම කාර්ය ඉටු කිරීමයි. මෙලොව ජනිත වන ඕනෑම තරාතිරමක දරුවකුට හදවතින් අවංක නිර්මල ආශිර්වාදයක් කළ හැකි වන්නේ මවට හෝ පියාට පමණි. මෙම ආශිර්වාදය නිත්‍ය ආශිර්වාදයක් බව අවිවාදයෙන් පිළිගත යුතුය. ඒ මොහොතේ මවට හෝ පියාට සහභාගි වීමට නොහැකි නම් සීයා හෝ ආච්චි නැත්නම් මාමා හෝ නැන්දා වැනි නිතර දරුවා සමඟ සමීප කුලුපග අයෙකු තෝරා ගැනීම වඩාත් සුදුසු ක්‍රමයයි.

බෞද්ධයන් වූ අප අත්පොත් තැබීමේදී විවිධ යාගහෝම, පූජා ක්‍රම කිරීමට පෙලඹේ. සමහරු විශාල වශයෙන් මුදල් වියදම් කර ශිල්ප ශාස්ත්‍රවලට අධිපති යැයි දේව විශ්වාසයේ එන සරස්වතී දෙවඟනට හා නුවණට අධිපති ගණ දෙවියන්ට විවිධ ආකාරයේ පුද පූජා තැබීමට පෙළඹෙයි. මෙම කාර්යයේ නියම යථාර්ථය ඒ මොහොතේ වර්ණවත් කිරීම හා උත්සවයක සිරි ගැන්වීමට යොදා ගන්නා උපායක් වීම පමණි. එසේ නොමැතිව කිසිම හරයකින් තොරව මෙම දේව රූප මිලදී ගෙනැවිත් එය ඉදිරිපිට මල් පහන් කිරිබත් ආදී විවිධ පූජා තබමින් දරුවාට අතපොත් තැබීමට සැරසෙති.

ඇත්තෙන්ම මෙවැනි දේව ස්තෝත්‍ර කිරීමේදී ඒ සඳහා සම්මතයේ වෙන්ව ඇති ගාථාවකින් ස්තෝත්‍රයක් තරම්වත් නොකියා කඩදාසි රූපයක් ඉදිරියේ නිකම් පූජා තබා පහන් දැල්වීම මානසික සතුටක් හා බාහිර අලංකාරයක් වනවා විනා දරුවාටත් එවැනි දෑ තබන අයටවත් ඇතිවන සෙතක් නම් ඉන් නැත. එවැනි පූජා කිරීමක් අවශ්‍ය යැයි ඔබ සිතන්නේ නම් වඩා සුදුසු වන්නේ එම පූජා සඳහා ඇපකැප වී සිටින කපු මහතකු වැනි අයෙකු ගෙන්වා එවැන්නක් සිදු කිරීමය. එම පුද්ගලයාගේ මුවින් ප්‍රකාශ වන ගාථා ශ්ලෝක, ගී සැහැලි ආදියෙන් එක්තරා ශුභ තීරණයක් ජනිත වීම නිසා යම් ශාන්තියක් සෙතක් උදා වීමට ඉඩ ඇත.

බලි යාගවලදී ප්‍රකාශ වන කවි ගාථා, ගී සැහැලි ආදිය නිර්මාණය කර ඇත්තේ ශුභවාදී ශබ්ද විද්‍යා රීතියක් මතය. ඒ තුළින් ශුභ ශබ්ද තරංගයක් මතු වීමට ඉඩ ඇත. නමුත් එවැන්නක් කළා හෝ නොකළා යන්න මත දරුවෙකුගේ සාර්ථක අසාර්ථක වීමට එය කිසිම හේතු සාධකයක් නොවේ.

බොහෝ ජ්‍යොතිෂවේදීන් විසින් මෙවන් අවස්ථාවක ශුභ නැකත් සදා දීමෙන් ඒ මොහොතේ දරුවාට ඇන්දවීම සඳහා හෝ පරිහරණය සඳහා සුදුසු වර්ණ නියම කරනු ඇත. ඒ තුළින් අපේක්ෂා කරන්නේ ඒ ඒ ග්‍රහ තාරකාවල කිරණ බලය වැඩිපුර ඒ මොහොතේ දරුවා වෙත ළං කර ගැනීමේ උපාය මාර්ගයකි. ඒ මොහොතට නියම වර්ණ නියම කරනු ලබන්නේ එම නැකැත් මුහුර්ත බලපාන ග්‍රහ කිරණ වැඩි වශයෙන් ඒ වෙත ඇද ගැනීමටය. එම ශුභ මොහොතට සුදුසු වර්ණයක් තෝරා ගැනීම වඩාත් සුදුසුය.

ඊළඟට අත්පොත් තැබීම හෙවත් අකුරු කියවීමේදී තවත් වැදගත් කාර්යයක් තිබේ. සිංහල භාෂාවේ සිංහල හෝඩියේ ඇති අක්ෂර සියල්ලම පළමු කොට දිව්‍යක්ෂර, මනුනොක්ෂර, අගායක්ෂර යනුවෙන් කොටස් 3කට බෙදේ. ඉන් අනතුරුව රාශි චක්‍රයේ හා නැකැත් පන්තියේ නැකැත් 27ටද එම අක්ෂරවල භෞතික අගය අනුව ඒ අක්ෂර වෙන් කර ඇත. මේ නිසා පළමුවෙන්ම අකුරු කියවීමේදී සිංහල භාෂාවේ මුල් අක්ෂරය වන ‘අ’ කියවනවාට වඩා ඒ දරුවාගේ එම නැකත් දිනයට එම දරුවාට ගැළපෙන දිව්‍යක්ෂරයක් හෝ මනුනොක්ෂරයක් පළමුවෙන් උච්චාරණය කිරීම වඩාත් නිවැරදි ක්‍රමයයි. මෙය තවත් පුළුල්ව ඉටු කරන්නේ නම් දරුවාගේ නාම අක්ෂරයට සිද්ධි වන සිද්ධි අක්ෂරයක් කලින් කී ආකාරයට නැකතට, දිනයට සිහුම් වන ලෙසින් තෝරා ගැනීම වඩාත් පලදායි වේ. ඒ ඒ අක්ෂර අනුව ශබ්ද විද්‍යාවේදී එම අකුරු අතරද සිද්ධී, සන්ද්‍ය, සුසිද්ධි, අරී යනුවෙන් කොටස් 4කට වෙන් වේ.

මේ අනුව උදාවූ නැකතට ගැළපෙන සේ දරුවාගේ ජන්ම නැකතට සිහුම් වන සේ නාමකරණයට සිද්ධි වන සේ දිව්‍ය හෝ මනුෂ්‍ය ගණයට වැටෙන අක්ෂරයක් උච්චාරණය කිරීම ඉතා සාර්ථක ක්‍රමයකි. මේ සඳහා ජ්‍යොතිර්වේදීන්ගේ නිවැරදී උපදෙස් ලබාගත යුතු වේ. ආගම කුමක් වුවත් ජාතිය කුමක් වුවත් රට කුමක් වුවත් අකුරු කියවීම හෙවත් අත්පොත් තැබීම මෙලෙස සිදු කිරීම සිද්ධි දාමයක නිවැරදි ක්‍රමයයි.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී මාලිනි සතරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division