Home » ඔක්තෝබර් 30 රාහු – කේතු ග්‍රහ මාරුවෙන් වෘෂභ ලග්න හිමියන්ට වාසනාව පෑදේ

ඔක්තෝබර් 30 රාහු – කේතු ග්‍රහ මාරුවෙන් වෘෂභ ලග්න හිමියන්ට වාසනාව පෑදේ

by thanushika
October 21, 2023 12:31 pm 0 comment

සෑම ලග්න හිමියෙකුම පාහේ තම තමන්ට අනාගතයේදී සිදු වන සිදුවීම් දැන ගැනීමට බලවත් උනන්දුවක් දක්වන බව පෙනේ. ඒ අනුව මෙවර වෘෂභ ලග්න හිමියන්ට අනාගතයේදී සිදු වීමට ඉඩ ඇති සිදුවීම් කිහිපයක් පිළිබඳව කතාබහ කරන්නට බලාපොරොත්තු වෙමි.

අනෙක් ලග්න හිමියන් සේම වෘෂභ ලග්න හිමියන්ද අනාගතයේදී තමන්ට වෙනසක් සිදු වන කාල වකවානු මොනවාද යන්න පිළිබඳව විමසිල්ලෙන් පසුවන්නේ යැයි සිතමි. ඒ අනුව වෘෂභ ලග්න හිමියන්ට 2023 වසරෙහි දෙසැම්බර් 28 වනදාත් 2024 වසරෙහි පෙබරවාරි 5 වනදාත් අතර කාල සීමාව තුළ වෙනසක් පෙන්නුම් කෙරේ. එනම් එම කාලසීමාව තුළ වෘෂභ ලග්න හිමියන්ගේ පදිංචි ස්ථානය තාවකාලිකව හෝ වෙනස් වීමට හෝ දැනට පදිංචි වී සිටින ස්ථානයට තාවකාලිකව හෝ වෙනත් සාමාජිකයෙකු පදිංචියට ඒමට හෝ දැනට පදිංචිව සිටින ස්ථානයේ සිටින අයෙකු තාවකාලිකව හෝ වෙනත් ස්ථානයකට පදිංචියට යාමට හෝ ඉඩකඩ ඇත. මීට අමතර ලෙස 2023 වසරෙහි දෙසැම්බර් 28 වනදාත් 2024 වසරෙහි පෙබරවාරි 5 වනදාත් අතර කාල සීමාව තුළ වෘෂභ ලග්න හිමියන්ගේ දැනට පවතින අතිරේක ආදායම් මාර්ගයක් නැවතී යාමට හෝ අලුත් අතිරේක ආදායම් මාර්ගයක් ඇති වීමට ඉඩකඩ ඇත. කෙසේ වෙතත් ඉහත කාලසීමාව තුළ වෘෂභ ලග්න හිමියන්ට පීඩාකාරී හැඟීම් ඇති වීමට ඉඩකඩ පවතින බව පෙනේ.

2023 වසරෙහි ඔක්තෝබර් 30 වනදා සිදු වීමට නියමිත රාහු සහ කේතු ග්‍රහ මාරු වෘෂභ ලග්න හිමියන්ට වාසිදායක ලෙස බලපෑ හැකි බව පෙනේ. ඒ අනුව වෘෂභ ලග්න හිමියන්ගේ කේන්දර සටහන් තුළ ගෝචරයෙන් කේතු ග්‍රහයා 5 වන භාවයට පිවිසීම අනුව 2023 වසරෙහි ඔක්තෝබර් 30 වනදායින් පසුව එළඹෙන වසර එකහමාරක පමණ කාලසීමාව තුළ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්නුම් කෙරේ. කෙසේ වෙතත් ඉහත කී කාලසීමාව තුළ ඔවුන්ගේ දරුවන් සම්බන්ධව යම් යම් අවිනිශ්චිත සිදුවීම්වලට ඉඩකඩ ඇත. මීට අමතර ලෙස මෙම ග්‍රහ ගෝචරයන්ට අනුව 2023 වසරෙහි ඔක්තෝබර් 30 වනදායින් පසුව එළඹෙන වසර එකහමාරක පමණ කාලසීමාව තුළ මීට කලින් තිබුණාට වඩා විශේෂ ආදායම් මාර්ග පෙන්නුම් කෙරේ.

අනාගතයේදී වෘෂභ ලග්න හිමියන්ගේ උත්පත්ති කේන්දර සටහන් තුළ බලගතුම වෙනසක් පෙන්නුම් කෙරෙන්නේ 2030 වසරෙහි අප්‍රේල් 17 වනදාත් 2032 වසරෙහි ජුනි 1 වනදාත් අතර කාලසීමාව තුළය. එම කාල සීමාව තුළ වෘෂභ ලග්න හිමියන්ගේ ජීවිතවල බරපතළ වෙනස්කම් පෙන්නුම් කෙරේ. එනම් එම කාලසීමාව තුළ වෘෂභ ලග්න හිමියන්ට විශාල බාධා සහ විශාල අභියෝග පෙන්නුම් කෙරේ. නමුත් එම අභියෝග සහ බාධා මාධ්‍යයේම එම කාලසීමාව තුළ විශාල ජයග්‍රහණවලටද ඉඩකඩ ඇති නමුත් එම ජයග්‍රහණ ලැබෙන්නේ සුළු හෝ අඩුපාඩුවක් සහිතව බව පෙනේ. එමෙන්ම ඉහත කාලසීමාව තුළ වෘෂභ ලග්න හිමියන්ගේ ප්‍රසිද්ධිය උපරිම විය හැකි බව පෙනේ. එමෙන්ම සමස්ත ග්‍රහ ගෝචරයන්ට අනුව වෘෂභ ලග්න හිමියන් 2030 වසරෙහි අප්‍රේල් 19 වනදාත් 2032 වසරෙහි ජුනි 1 වනදාත් අතර කාලසීමාව තුළ අසනීප පිළිබඳවද අනතුරු පිළිබඳවද රැවටිලිවලට හසු වීම පිළිබඳවද වෙනදාට වඩා විමසිලිමත් විය යුතුය.

2024 වසරෙහි මාර්තු 31 වනදාත්, අප්‍රේල් 24 වනදාත් අතර කාලසීමාව තුළ වෘෂභ ලග්න හිමියන්ගේ අයස්ථානය තුළ සිකුරු ග්‍රහයා උච්ඡ ලෙස චලිත වීම ආර්ථික වශයෙන් වාසිදායක පිහිටීමකි. ඒ අනුව ඔවුන්ට 2024 වසරෙහි මාර්තු 31 වනදාත් 2024 වසරෙහි අප්‍රේල් 24 වනදාත් අතර කාලසීමාව තුළ විශේෂ මුදල් ලාභ සහ විශේෂ ආදායම් මාර්ග පෙන්නුම් කෙරේ.

වෘෂභ ලග්න හිමියන්ට අනාගතයේදී බරපතළ වෙනස්කම් සිදු වන තවත් කාල වකවානුවක් ලෙස 2046 වසරෙහි දෙසැම්බර් 9 වනදාත් 2049 වසරෙහි මාර්තු 9 වනදාත් අතර කාල වකවානුව සහ 2049 වසරෙහි ජුනි 2 වනදාත් 2049 වසරෙහි දෙසැම්බර් 4 වනදාත් අතර කාල වකවානුව දැක්විය හැකිය. එම කාල වකවානුව තුළ වෘෂභ ලග්න හිමියන්ට විශාල අභියෝගවලට සහ විශාල බාධාවලට මුහුණ දීමට සිදු වුවද එම කාල වකවානුව තුළම විශාල ජයග්‍රහණවලටද ඉඩ ඇත.

———————————

රාහු කාලය

ඔක්තෝබර් 23 සිට ඔක්තෝබර් 29 ඉරිදා දක්වා

23 සඳුදා

දිවා 7.26 – 8.56 දක්වා

රාත්‍රී 19.23 – 20.54 දක්වා

24 අඟහරුවාද

දිවා 14.54 – 16.24 දක්වා

අලුයම 2.56 – 4.24 දක්වා

25 බදාදා

දිවා 11.54 – 13.24 දක්වා

රාත්‍රී 23.54 – 1.25 දක්වා

26 බ්‍රහස්පතින්දා

දිවා 13.23 – 14.53 දක්වා

අලුයම 1.25 – 2.56 දක්වා

27 සිකුරාදා

දිවා 10.25 – 11.55 දක්වා

රාත්‍රී 22.23 – 23.55 දක්වා

28 සෙනසුරාදා

දිවා 8.55 – 10.25 දක්වා

රාත්‍රී 20.53 – 22.24 දක්වා

29 ඉරිදා

දිවා 16.21 – 17.51 දක්වා

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී පාරින්ද්‍ර සුගතදාස

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division