Home » අවශ්‍යතාව පිරිමහ ගන්න නොගැළපෙන කේන්දර ගළපා අපූරුවට අමාරුවේ වැටෙන හැටි

අවශ්‍යතාව පිරිමහ ගන්න නොගැළපෙන කේන්දර ගළපා අපූරුවට අමාරුවේ වැටෙන හැටි

by thanushika
October 14, 2023 12:31 pm 0 comment

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී විශ්‍රාමලත් පාඨශාලාචාර්ය අසෝක විජයසේකර

නොගැළපෙන ග්‍රහ පිහිටීම් සහ නොගැළපෙන පොරොන්දම් ගළපා දීමට සමත් අයෙකු කිසියම් ස්ථානයක සිටින බව අසන්නට ලැබුණොත් එය සතුටට කාරණයකි. ඒ මන්ද යත් ග්‍රහ පිහිටීම් හෝ පොරොන්දම් හෝ නොගැළපීම නිසා විවාහ වන්නට නොහැකිව විශාල පිරිසක් සිටින බැවිනි. නොගැළපෙන ජන්ම පත්‍ර ගළපන්නට සමත් අයෙකු සිටී නම් ඔහුට බොහෝ වැඩ ලැබෙනු නියතය.

මුල සිට අගට යාම වෙනුවට අග සිට මුලට යාමක් විවාහ සම්බන්ධව මෑතක සිට දකින්නට ඇත. ජ්‍යොතිෂමය වශයෙන් සහ සාමාජයීය වශයෙන් ගැළපෙන යුවළක් එකිනෙකා සමඟ විවාහ වී ආදරය කරමින් ජීවිතය සතුටින් පවත්වාගෙන යාම මුල සිට අගට යාමකි. දුටු පමණින් ආදරය කරන්නට පටන්ගෙන සිහින ලෝකවල සැරිසරමින්, සීමාව ඉක්මවා සමීප වෙමින් හිඳ විවාහයට සූදානම් වීම අග සිට මුලට යාමකි.

නහයටත් උඩින් වතුර ගියාට පසු වැඩිහිටියන්ද මැදිහත් කරගෙන ජන්ම පත්‍ර දෙක පෙරට ගෙන ගැළපීම් සොයයි. නැකැත් බලයි. එහිදී කුජ දෝෂ, රාහු දෝෂ, ශනි දෝෂ, විෂ කන්‍යා යෝග, පුරුෂ නාශක මර යෝග, තුන් කුලුඳුල් දෝෂ ආදී වූ මෙකී නොකී දෝෂ ගණනාවක් එළියට පනී. ජන්ම පත්‍ර දෙක පරීක්ෂා කළ ජ්‍යොතිර්වේදියාගේ නිගමනය වනුයේ මෙම ජන්ම පත්‍ර දෙක හිමි අය එකිනෙකා සමඟ විවාහ වීම කිසිසේත් නොකළ යුතු බවය.

සියලු දෙනාම තක්කු මුක්කු වනුයේ මෙහිදීය. උණු නිසා බොන්නටත් බැරි… කිරි නිසා අහක දමන්නටත් බැරි තත්ත්වයක් උදාවේ. ජන්ම පත්‍ර දෙක රැගෙන වෙනත් ජ්‍යොතිර්වේදියෙකු හමු වීමට යාම ඊළඟ පියවර වේ. එහිදී ලැබෙනුයේ ද පෙර කී ජ්‍යොතිර්වේදියා ලබා දුන් නිගමනයම වේ. අග සිට මුලට පැමිණීමෙන් සිදු වී ඇති තත්ත්වය පිළිබඳව සියලු දෙනාම වික්ෂිප්තව ඇත.

බොහෝ දුරට කල්පනා කරන වැඩිහිටියෝ ඉතා දුර බැහැරක සිටින ජ්‍යොතිර්වේදියෙකු යයි හඳුන්වා ගත් අයෙකු හමු වී සියල්ල නොසඟවා පවසා කෙසේ හෝ මෙම ජන්ම පත්‍ර දෙක ගැළපිය හැකිදැයි බලන ලෙස ඉල්ලා සිටිති. තත්ත්වය සැලකින්ලට ගත් ජ්‍යොතිර්වේදියෙකු යැයි හඳුන්වා ගන්නා පුද්ගලයා ගළපන්නට බැරි ජන්ම පත්‍ර දෙක ගළපන්නට උත්සාහ කරයි.

දළ පරීක්ෂා කිරීමකදී ඔහුට ද වැටහී යනුයේ මෙම ජන්ම පත්‍ර දෙක ගැළපෙන්නේ නැති බවය. එහෙත් අවශ්‍යතාව හා යෙදී ඇති කරුණු අනුව ජන්ම පත්‍ර දෙක කෙසේ හෝ ගළපා දිය යුතුය. එබැවින් ජ්‍යොතිර්වේදියෙකු යැයි හඳුන්වා ගත් පුද්ගලයා ස්ත්‍රී හෝ පුරුෂ ජන්ම පත්‍ර දෙකෙන් එකක කේන්දර කුණ්ඩලිය බැහැරකොට නවාංශක සටහන උපයෝගී කර ගනිමින් කුජ දෝෂ, රාහු දෝෂ, ශනි දෝෂ, රවි දෝෂ, කේතු දෝෂ ආදිය බැහැර කර දෙයි.

ඒ අනුව ග්‍රහ දෝෂ ඉවත් වී ඇත. විසි පොරොන්දම් බලන්නට ද දැන් බාධාවක් නැත. පොරොන්දම් විශාල ප්‍රමාණයක් ගැළපී ඇත. කිසිවෙකුටත් ගළපන්නට බැරි වූ ජන්ම පත්‍ර යුගලයක් යස අපූරුවට ගැළපිණි. මවුපියන්ට ඇති වූ සතුට අපමණය. දැනුණු සැහැල්ලුව කිව නොහැකි තරම්ය. නැවත ඉපදුණා වැනිය. ගුරු පඬුරුවලට අමතරව හිතේ සතුට වෙනුවෙන් වැඩිපුර මුදලක් ද ගෙවා මවුපියෝ නික්ම යති.

සැබැවින්ම සිදු වුයේ කුමක්ද? තනිකරම මුළා වීමක් නොවේද? සත්‍යය යටපත් කිරීමක් නොවේද? මෙබඳු සිදුවීම් රටේ ඕනෑ තරම් සිදුවන බව කිව යුතුය. ජ්‍යොතිර්වේදියෙකු ඉහත තත්ත්වයට පත් කළේ කවුද? තමා තමාගේම දරුවන්ට වළක් කැපුවා නොවේද? තම දරුවන්ට දැළි පිහියෙන් කිරි කන්නට සැලැස්වුවා නොවේද?

වැඩිහිටියනි… ඔබ කිසි දිනෙක ඉහත තත්ත්වයට පත්විය යුතු නැත. තම දුවට හෝ තම පුතාට හෝ ජන්ම පත්‍රයේ තතු කියා දිය යුතුය. එය කල් වේලා ඇතිව කියා දිය යුත්තකි. වසර දහස් ගණනක් තිස්සේ පැවත එන ජ්‍යොතිෂය බැහැරකොට දමා තම හිතුමතයට විවාහ වීමට සූදානම් වන අයට සිදු විය හැකි දේවල් තම දරුවන්ට කියා දිය යුතුය. දරුවන් අමාරුවේ වැටෙන තෙක් බලා සිටිය යුතු නැත. මුල සිට අගට මිස අග සිට මුලට යාමේ ක්‍රමවේදයක් නොමැති බව පැහැදිලි කර දිය යුතු බව දැඩිව අවධාරණය කරමි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division