Home » මගේ ආසාව දැනගෙන ඒකට ඉඩ දීලා එයා බලාගෙන හිටියා

මගේ ආසාව දැනගෙන ඒකට ඉඩ දීලා එයා බලාගෙන හිටියා

by thanushika
October 7, 2023 12:37 am 0 comment

නිරෝෂන් විජේසිංහ කියන්නේ පුංචී කාලේ ඉඳලම රූපපෙට්ටියට එබෙන්න ආසාවෙන් හිටපු චරිතයක්. ඒ නිසා ඔහු කාලයක් වැරහැලි හැඳ විදියේ නළුවෙක් හැටියටත් කටයුතු කළා. ඒ කැප කිරීම් නිසාම ඔහුට පසු කාලයේ දක්ෂ නළුවෙක් වෙන්න හැකියාව ලැබුණා , ඒ හීනෙට බාධා නොකර ආර්ථික අපහසුතා ඉවසාගෙන ඔහුට එදා හයියක් වුණේ ඔහුගේ ආදරණීය බිරිඳ චමිලා ප්‍රියදර්ශනී. මෙවර රසඳුන අතරට අප ගෙන එන්නේ කලාසූරී නිරෝෂන් විජේසිංහ හා පුංචි පවුලේ තොරතුරුයි.

ජනප්‍රිය තරු රටේ ආර්ථික ප්‍රශ්න එක්ක ව්‍යාපාර පැත්තට යොමු වෙනවා ආර්ථික ය ශක්තිමත් කර ගන්න. නිරෝෂන් මේ දවස්වල ව්‍යාපාර කටයුතු එක්ක කාර්‍යබහුල වෙලා කියලා ආරංචියි ..?

ඔව්. ලෝකයේ නම් දරන කොලිටි හෙයාර් කලර් ව්‍යාපාරයක් මම යාළුවෙක් එක්ක පටන් ගත්තා. සමන් එක්ක prestige professional color ඉතාලියෙන් ලංකාවට ගෙන්වන්නේ අපි. , මේ දවස්වල එහි වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වැඩත් එක්ක කාර්‍යබහුල වෙලා ඉන්නවා. ව්‍යාපාර කටයුතු ලේසි නැහැ. පටන් ගත්තට පස්සේ තමයි එහි අසීරූකම අත් විඳින්නේ. ඒත් කොහොම හරි මේ දේවල් කරගෙන ලංකාවේ ජීවත් වෙන්න තමයි උත්සාහ ගන්නේ.

ඒ කියන්නේ විදෙස් ගත වෙන්නත් අදහසකින්ද ඉන්නේ..?

අවස්ථා කිහිපයක් ආවා. ඒත් විවිධ හේතු නිසා මඟ හැරුණා. දරුවෝ දෙන්නා නම් ලංකාවේ ඉන්න අදහසක් නැහැ. නමුත් මම ආස ලංකාවේ ජීවත් වෙන්න. බලමු කාලය එක්ක.

දශක දෙකකට පමණ පෙරත් නිරෝෂන් පුංචි පවුල නඩත්තු කරන්න විවිධ රැකියාවන් වගේම ව්‍යාපාර කරපු කෙනෙක් ..?

ඔව්. හරිම අසීරූ කාලයක් ගත කළේ. මාත් එක්ක ඉගෙන ගත්තු යාළුවෝ හොඳ රැකියා කරද්දී මම නළුවෙකු වෙන්න තිබුණු ආසාව නිසා විදීයට බැස්සා. වැරහැලි ඇඳගෙන විදී නළුවෙක් වෙන ගමන් කොටුවේ රුපියල් පනහට සිම් කාඩ් විකිණුවා. ඒවා සාර්ථක වුණේ නැහැ. ඒ වගේම බිරිඳ එක්ක ළමා නිමි ඇඳුම් මහලා විකිණුවා. කඩයක් දැම්මා. පොඩි පොඩි ව්‍යාපාර කළා. අද වගේ ඒ කාලේ මගේ නම හැදිලා තිබ්බේ නැහැ. ඒ නිසා ව්‍යාපාර කරන එක අසීරූ වුණා. දැන් නම් මාව දන්න නිසා ඒ පැත්තට යොමු වෙලා කටයුතු කරන්න පහසුයි. ජීවිතේ ගෙනියන්න කියන්න බැරි තරම් දුක් වින්දා. නමුත් අද මම කියන කෙනා මෙහෙම ඉන්නේ කලාවට පිං සිද්ධ වෙන්න. මට ගෙයක්, වාහනයක් පහසුකම් සියල්ල ලැබුණේ කලාවෙන් ඉපැයු මුදලින්.

ඒ බර දරා ගන්න ඔබේ ආදරණීය බිරිඳ එදා ඔබට හයියක් වුණා ..?

කලාකාමී හිතක් තියෙන මම හරිම සංවේදී කෙනෙක්. අද වගේම එදත්. ඒත් ඇය එහෙම නැහැ. ඇය හිත හයිය ගැහැනියක්. සියල්ල දරාගෙන මාත් එක්ක ජීවිතේ බෙදා ගත්තා. නළුවෙක් හැටියටත් මනුස්සයෙක් හැටියටත් ජීවිතේ සාර්ථක කර ගන්න එයා තමයි මූලික වුණේ. කවදාවත් මට කියලා නැහැ නොකෙරෙන හීන පස්සේ යන්න එපා. රස්සාවක් කරන්න කියලා . මගේ ආසව දැනගෙන ඊට ඉඩ දීලා ඈ බලාගෙන හිටියා.

නළුවෙක් වෙන්න කලින් ලැබුණු ආදරේ අවසානය වෙනකල් රැක ගන්න නිරෝෂන්ට පුළුවන් වුණා ..?

ඒ කාලේ බොහෝ අය කිව්වා නළු පෙනුම තියෙන නිසා නර්තනය හදාරලා තිබුණා නම් කවදා හරි වැදගත් වෙයි කියලා. ඒ නිසා මම නර්තන පංතියකට ගියා. ඒ පංතියට එයත් ආවා. අපි දෙන්නා හිටියේ පංති දෙකක දවසක් එකම පංතියට ළමයි දැම්මා. එදා තමයි මුලින්ම ඇයව ඇහැ ගැටෙන්නේ. අපි එක බස් එකේ යන්නෙ එන්නේ. හිතවත්කම වැඩි වුණා , මගේ පොතක අමිර් ඛාන්ගේ ලස්සන ඡායාරූපයක් අලවලා තිබ්බා. ඒක එයාගෙයි මගෙයි අනිත් යාළුවා ඉල්ලුවා. මෙයත් ඉල්ලුවා. ඉතින් මගේ හිතේ චමිලා හිටපු නිසා මම මගේ ඇඩ්‍රස් එක ලියලා චමිලට දුන්නා. චමිලා මගේ පෙම්වතිය වුණා. අනිත් යාළුවා අදටත් මගේ හොඳම යෙහෙළිය. ඒ පටන් ගත්ත ආදරේ තමයි විවාහයෙන් කෙළවර වුණේ. එයා හැමදාම මාව දකින්නේ පාරේ වැරහැලි ඇඳගෙන රඟපාපු නිරෝෂන් විදිහට. ඒත් මාව එයා අත ඇරියේ නැහැ. එයාට ඒක ලැජ්ජාවක් වුණේ නැහැ. අපි බැඳෙන්න හේතු තමයි ඒ.

බොහෝ ජනප්‍රිය තරු ජනප්‍රිය වූ විගසින් ජීවීතේ මේන්ටේන් කරන්න ආගිය සබඳතාවලින් ඈත් වෙනවා. නිරෝෂන්ට හිතුණේ නැද්ද චමිලාට වඩා හොඳ යුවතියක් ළඟ පසු කාලයේදී නතර වෙන්න ..?

පෘතග්ජන මිනිස්සුනේ. හිත් යනවා. ඒත් කවදාවත් මගේ හිතේ චමිලාට වඩා එයා ලස්සනයි, ගැළපෙනවා කියලා හිතිලා නැහැ. මෙයාව අත හැරලා වෙන කෙනෙක් බදින්න හිතිලා නැහැ , අපි විවාහවෙලා අවුරුදු 25ක් වෙනවා. මට වෙන කෙනෙකුට ආදරේ කරන්න හිතිලා නැහැ. ඇය තමයි මගේ සංසාර ප්‍රේමය. ඇය තමයි මගේ ජීවිතේ. මම නළුවෙක් වෙන්න කලින් ඇය මගේ ජීවිතේ හැඩි කළේ නැහැ , හැඩ කළා. ඉතින් මගේ බොරු ප්‍රතිරූප පවත්වාගෙන යන්න ඇය තමයි ගැළපෙනම කෙනා. මගේ ළඟින් ඉඳලා ලොකු කට්ටක් කෑවා නම් හැමදේම තියෙද්දි මට ඇයි ඇය ළඟ ඉන්න බැරි. අපේ පවුලේ අය ආදරේදි හරි අවංකයි. ආදරේදී මාත් එහෙමයි

ඔබ ජනප්‍රිය වෙද්දී ඔබට ආදරේ කළ අය හිටියද..?

ඔව්. මට ළං වෙන්න හදපු අය ෆීල්ඩ් එකෙත් හිටියා. නමුත් මම ඔවුන්ව තියන්න ඕන තැනින් තිබ්බා මිසක් මගේ ජීවිතේ අහලකටවත් ගත්තේ නැහැ

ඉස්සර දවසකට ටෙලි නාට්‍ය දෙක තුනකින් ඔබව දකින්න ලැබුණත් දැන් එහෙම තත්ත්වයක් නැහැ නේද ..?

ඉස්සර මාසෙකට මෙච්චර නාට්‍ය සංඛ්‍යාවක රඟපානවා කියලා කියන්න පුළුවන් තත්ත්වයක් තිබ්බා. ඒත් ආර්ථිකය එක්ක නාට්‍ය කලාවත් වැටිලා. ඒ නිසා ලැබෙන ආරාධනා පිළි අරගෙන රඟපානවා. මේ දවස්වල නීල පබළු නාට්‍යයේ ඉන්නවා. නාට්‍ය ඇදෙන නිසා ජනතාව බණිනවා. නමුත් බලලා ප්‍රතිචාර දක්වනවා. ඊට අමතරව නරි බුරති වේදිකා නාට්‍ය එක්ක ලංකාව පුරා යනවා.

ඔය කියන විදිහට නළුකමෙන් දැන් මාසික ආදායම වත් හොයන්න අමාරු ඇති..?

වේදිකා නාට්‍යවල ගෙවීම් හොඳට කරනවා. ටෙලි නාට්‍ය නිෂ්පාදකවරු අපිට ගෙවිම් කළාට චැනල්වලින් එයාලට ගෙවිම් කරලා නැහැ . ඒ නිසා නිෂ්පාදකවරු නාට්‍ය කරන්න දැන් දෙපාරක් හිතනවා. ඔය විදිහට හොඳ නිර්මාණ බිහිවීමේ අඩුවක් තියෙනවා. මමත් දැන් ආරාධනා ලැබෙන හැම නාට්‍යක්ම භාර ගන්නවා. මාසික වියදම් වැඩි වෙද්දී ඒ මුදල් නාට්‍යවලින් හොයන්න අමාරුයි. දරුවෝ ලොකුයි. එයාලගේ වියදම් වැඩියි. ඉස්සර වගේ වියදම් කරන්න බැහැ. එහෙම බලද්දී අසීරුයි. දරුවන්ගෙ අනාගතේ ගැන හිතන්න ඕන. ඒත් නළුකම අතහරින්න බැහැ. අපිට ආදරේ කරන රසිකයින් වෙනුවෙන් අපි යමක් කරන්න වෙනවා.

වෙළෙඳ දැන්වීමක් නිසා කලාත්මක ටෙලි නිර්මාණයකින්ම පුංචි තිරයට එන්න තරම් ඔබ වාසනාවන්තයෙක් වුණා ..?

ඒක වාසනාවක් තමයි. නොහිතපු මොහොතක වෙළෙඳ දැන්වීමකට සම්බන්ධ වෙන්න ලැබුණා. ඒක හරියට ඒ කාලේ ප්‍රසිද්ධ වුණා. ඒත් එක්කම මේ කොල්ලා කවුද කියලා හොයපු අය බොහෝමයි. එතකොට මම විවාහ වෙලා. ඒ විදිහට තමයි තිස්ස අබේසේකර මහතා ඔහුගේ පිටගම්කාරයෝ ටෙලි නාට්‍යයට මට කතා කළේ. දැවැන්තයින් එක්ක මුලින්ම කැමරාවක් ඉස්සරහාට ඇවිත් රඟපාමින් ආරම්භ කරපු ගමන තමයි මේ තවම දුවන්නේ. මේ වෙද්දී ටෙලි නාට්‍ය 200ට වඩා රඟපාලා තියෙනවා. සිනමා නිර්මාණ නම් අතළොස්සයි. චරිතාංග නළුවෙක් හැටියට විවිධ චරිත කළා.

ඔබේ රඟපෑමට දරුවන්ගේ ප්‍රතිචාර කොහොමද කියලත් කියමු..?

දුව වර්ෂා අක්ෂරී. වයස අවුරුදු 19යි. පුතා සසන් අභිලාෂ්. එයාගේ වයස අවුරුදු 15යි. මේ දෙන්නට මම නිසා පාසලෙන් ලැබෙන ප්‍රතිචාර එක්ක සතුටු වෙනවා ඇති. නමුත් ඒ දෙන්නා හරි බුද්ධිමත් දරුවෝ. ලෝක සිනමාව එක්ක ඉන්න නිසා මගේ රඟපෑම් දැකලා එයාලා හිනාවෙනවා. නමුත් මගේ සාහිත්‍යය දැනුමට ඔවුන් ගරු කරනවා. එයාලා රඟපාන්නත් ආස නැහැ . විදෙස්ගත වීමේ හීනේ ඒ අය ඉන්නෙ.

හර්ෂණී වීරරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division