Home » එයා එක්ක තමයි ගැටෙන්න තියෙන්නෙ

එයා එක්ක තමයි ගැටෙන්න තියෙන්නෙ

by thanushika
October 7, 2023 12:37 am 0 comment

ශානි වීරරත්න මේ දිනවල අපට හමුවන්නේ දෙරණ නාළිකාවේ විකාශය වන තුෂාර තෙන්නකෝන්ගේ නිකිණි කුසුම් ටෙලි නිර්මාණයේ වින්සුකී ලෙසිනි. සංගීතේ ටෙලි නිර්මාණයේ මහී සහ අසෙනිගේ ප්‍රේමය අතරට එන නීෂාගේ චරිතයට පණ පොවමින් රංගනයට පිවිසි ඇය දෙරණ නාළිකාවෙන් බිහිවූ නවක රංගන ශිල්පිනියකි. කාර්යබහුල රැකියාවක නිරත වෙමින් කලා කටයුතුවල නියැළෙන ඇය හොඳ නිර්මාණවලට දායක වෙමින් දිගටම කලාවේ රැඳී සිටීමේ බලාපොරොත්තුවෙන් පසුවන්නීය.

වින්සුකී කියන්නේ මේ දවස්වල ඉතාම ජනප්‍රිය චරිතයක්. කොහොමද ලැබෙන ප්‍රතිචාර?

වින්සුකී කියන්නෙ හරිම නපුරු චරිතයක්. තාම විකාශය වුණේ පොඩි කාලයක් වුණත් ගොඩක් ජනතාව අතරට ගිහින් කියල දැනෙන්නෙ එළියට බැස්සම ලැබෙන ප්‍රතිචාරවලින්. ගොඩක් අය මාව හඳුන්වන්නෙ වින්සුකී කියලා. ඒ නම ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියයි. නිකිණි කුසුම් පටන් ගත්ත දවස්වල එක දවසක් මං කඩේකට ගියා. එතැන හිටපු අය ඇවිත් වින්සුකී ඇයි ඔච්චර නපුරු. නපුරුකම් කරන්න එපා කියලා කියන්න ගත්තා. එයාල හිතන්නෙ මං වින්සුකීමයි කියලා. මං නපුරු කෙනෙක් නෙවෙයි. ඒ වෙලාවෙ නම් මට ඇඬුණා. ඒත් දැන් මං තේරුම් අරන් ඉන්නෙ. ඒ ප්‍රතිචාර ලැබෙන්නෙ මං ඒ චරිතෙ හොඳටම කරන නිසා කියලා. මගේ ළඟම ඉන්න අය කියන්නෙ ඔයාට ඒ වගේ ප්‍රතිචාර දක්වන්නෙ ඔයා ඒක හොඳටම කරන නිසා කියලා. මෙච්චර අඩු කාලෙකින් ඒ නිර්මාණය බලන පිරිස වැඩියි. එහෙම හිතද්දි සතුටක් දැනෙනවා.

ඔබ නිතර දකින්න ලැබෙන කෙනෙක් නෙවෙයි. කලාවට පිවිසීම ගැනත් කියමු නේද?

මුලින්ම සංගීතෙ නාට්‍යයේ නීෂාගේ චරිතයට දායක වුණේ. දිගු නිහැඬියාවකින් පස්සෙ මේ මං සම්බන්ධ වුණු දෙවැනි නිර්මාණය. මං ගොඩක් කාර්යබහුල රැකියාවක් කරන කෙනෙක්. ඒ නිසා හැම නිර්මාණයක්ම භාර ගන්නෙ නෑ. තෝරාගත් නිර්මාණවලට විතරයි දායක වෙන්නේ. 2018 දෙරණ අවුරුදු කුමරිය තරගයේ ඡවි කල්‍යාණිය අංශයේ ජයග්‍රාහිකාව වුණා. ඊට පස්සෙ දෙරණ නාළිකාවෙන් සාරංග මෙන්ඩිස් සහ ශානිකා මෙන්ඩිස් යුවළට මාව හඳුන්වලා දුන්නා. ඒ විදිහටයි මං සංගීතේ නාට්‍යයට සම්බන්ධ වන්නේ. මගේ අධ්‍යාපන කටයුතුවලටත් බාධාවක් නොවෙන විදිහේ චරිතයක් තමයි මං බලාපොරොත්තු වුණේ. සංගීතෙ නීෂා කියන්නේ නපුරු චරිතයක්. මහීගෙයි අසෙනිගෙයි ප්‍රේමය අතරට එන දුෂ්ට චරිතයක්. පොඩි කැරැක්ටර් එකක් වුණත් ප්‍රේක්ෂකයන්ට ඒක මතක හිටියා. දැනට නීෂාට තිතක් නොතබා කොමාවක් තියලා තියෙන්නේ. මගේ කාර්යබහුලත්වය ගැන සලකලා තමයි මට ඒ වගේ පොඩි චරිතයක් ලබාදුන්නෙ. ඒක මං හොඳටම කළ නිසා වෙන්න ඇති වින්සුකීගේ චරිතයට ආරාධනා ලැබුණේ. ඒක මං කැමැත්තෙන්ම භාර ගත්තා. ඉදිරියෙදිත් දිගටම මාව දකින්න ලැබේවි. නැසී ගිය ගායන ශිල්පී ඩෙස්මන් ද සිල්වා අංකල් සහ ආන්ටි වගේම මංජුලා නැන්දත් මට මේ ගමන එන්න ගොඩක් උදවු කළා.

මේ වෙද්දි ඔබට ලැබුණු චරිත දෙකම නපුරු චරිත. නපුරු චරිතවලටම කොටුවේවි කියල හිතෙන්නෙ නැද්ද?

සංගීතෙ නාට්‍යයේ මං කළේ පොඩි චරිතයක් වුණත් ඒක ප්‍රේක්ෂකයන් අතරට ගියා. ඒකෙ නපුරුකම නිසාමද මන්ද මිනිස්සුන්ට මාව මතක හිටියා. අදටත් නීෂා කියල කතා කරන අය ඉන්නවා. වින්සුකී කියන්නෙ ඊටත් එහා ගිය නපුරු චරිතයක්. නීෂාට මං සාධාරණයක් කළ නිසානෙ මට වින්සුකී වෙන්න ලැබුණෙ. ඒ පැත්තට මගේ මොකක් හරි දක්ෂතාවක් ඇති. ඒ නිසා මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් සාමාන්‍ය ජීවිතේ මං එහෙම නපුරු කෙනෙක් නෙවෙයි. ඒ නිසා මිනිස්සු මාව වින්සුකීගෙ ඇසින් බලල ඔයා හරිම නපුරුයි කියද්දි මුලින් මුලින් මට ගොඩක් දුක හිතුනා. ඒත් දැන් එහෙම නෑ. මං කැමැතියි ආදරණීය චරිතත් කරන්න. ඒ වගේම මගේ හිතේ ලොකු ආසාවක් තියෙනවා රාජකීය උරුමයක් තියෙන වීර කාන්තාවකගේ චරිතයකට.

ශානි කියන්නෙ නපුරු කෙනෙක් නෙවෙයි. කොහොමද නපුරු වින්සුකී වුණේ?

වින්සුකී කියන්නෙ අම්මා, තාත්තා ඇරුණම වෙන කාවවත් කෙයාර් කරන්නැති චරිතයක්. කවුරුත් දිහා හොඳ විදිහට නොබලන, මාන්නෙන් ඔළුව උදුම්ම ගත්ත කෙනෙක්. මට ලොකු ප්‍රයත්නයක් දරන්න වුණා වින්සුකී වෙන්න. තුෂාර සර් තමයි මගේ ඇතුළෙ හිටිය නියම වින්සුකීව එළියට ගත්තෙ. මගේ ළඟම ඉන්න අය පවා කියනවා මාර නපුරු කෙනෙක් ඔයාගෙ ඇතුළෙ ඉන්නෙ කියලා. ඒකෙ ක්‍රෙඩිට් එක සම්පූර්ණයෙන්ම හිමිවෙන්න ඕන තුෂාර සර්ට. සර් කිවුවෙ මගෙ ඇස්වලින්ලු ඒක හොඳටම කරන්න පුළුවන් කියලා. අධ්‍යක්ෂවරයෙක් විදිහට තුෂාර සර්ට පුදුම හැකියාවක් තියෙනවා ඕනෑම කෙනෙක් පොයින්ට් කරල එයාට අදාළ හැකියාව එළියට ගන්න. ඒ වගේ අය අඩුයි. මට හමුවුණු හොඳම ගුරුවරයා වගේම හොඳම ඩිරෙක්ටර් තුෂාර සර් කිවුවත් හරි.

ඇත්තටම ආල්යාට ඔච්චරම නපුරුකම් කරන්න පුළුවන් වුණාද?

ආල්යාට ඉන්න රොෂෙල් මගේ හොඳම යාළුවෙක්. එයා එක්ක තමයි ගැටෙන්න තියෙන්නෙ. මුලදි මං නොහිතුවට එක තැනක් තිබුණා ආල්යගෙ පස්සෙ පන්න පන්න එයාව හරවා හරවා එයාට කතා කරන්නවත් ඉඩක් නොදී නොනවත්වාම එයාට බණින. එතැනදි පුදුම අපහසුතාවට පත්වුණා. එක දිගට බැණන් ගිහින් ඉබේම සොරි කියවෙනවා. ඒ තරමට මට ඒ දේ අපහසු වුණා.

වින්සුකී කියන්නෙ නම් ආදරේ ලබන්න දන්නැති කෙනෙක්. ශානි මොනවගේ කෙනෙක්ද?

ශානි කියන්නෙ ආදරය හොඳටම ලබන කෙනෙක්. එයා කලාවට සම්බන්ධ කෙනෙක් නම් නෙවෙයි. ඒත් ගොඩක් අය දන්නවා. එයා මගේ රංගන දිවියට උපරිම සහායක් ලබා දෙනවා.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division