Home » මගේ ගීතවල රූප රචනා කරන්න එයා නැතුව වෙන කෙනෙක් හරියන්නෙ නැහැ

මගේ ගීතවල රූප රචනා කරන්න එයා නැතුව වෙන කෙනෙක් හරියන්නෙ නැහැ

by thanushika
October 7, 2023 12:36 am 0 comment

චතුර සහන් ගුණවර්ධන ගැන අමුතුවෙන් හඳුන්වාදිය යුතු නැහැ. සංගීත ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න උත්සාහ කරන චතුර අලුත් නිර්මාණ කිහිපයක වැඩකටයුතු කරගෙන ඉන්න අතරේ ඒ ගැන තම රසිකයන්ට කියන්න අපත් සමඟ කතා බහට එක්වුණා.

චතුර මේ දවස්වල මොකද කරන්නෙ?

මම මේ දිනවල මගේ අලුත් ගීත දෙකක් නිර්මාණය කරන ගමන් ඉන්නෙ. එකක් අන්ධකාරය කියලා ගීතයක්. ඒකේ මියුසික් කළේ අසිර ප්‍රනාන්දු. පද රචනය කළේ රේරු. ඒක ක්ලැසික් රොක් ස්ටයිල් එකේ ගීතයක්. එහි රූප රචනාවට මේ දවස් වල ලෑස්ති වෙනවා. රූප රචනාව කරන්නෙ දොන් මාධව කරුණානායක. චමත්කා ලක්මිණි තමයි රූප රචනාවට ඉන්නෙ. අනිත් සින්දුව “හදවතේ ගැස්ම බරපතළයි” ඒක මට සංගීතවත් කරලා දුන්නෙ ප්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහ මහතා. එහි පද රචනාව කළේ ධම්මික බණ්ඩාර. තව ගීතයක් කළා තටු බිඳුණ සමනලී කියලා. ඒක මියුසික් කළේ ඩෙන්ස්ටන් පෙරේරා. ගීතය ලිවුවෙ කමල් ඒකනායක. ඔය ගීත තුන තමා ඉදිරියේදි එන්න තියෙන්නේ. ඊට අමතරව චිත්‍රපට නාමාවලියේ එන චිත්‍රපටවල හෙඩිම්වලින් තාත්තා අපූරු නිර්මාණයක් ලියලා දුන්නා. ඒක සංගීතවත් කරන්නෙ නදීක ගුරුගේ අයියා. වෙනස්ම විදිහේ රහ වැඩක් වෙයි ඒ නිර්මාණයත් ප්‍රේක්ෂකයන්ට.

ඔබ, කතරගම දෙවිඳුන් වෙනුවෙනුත් ගීතයක් නිර්මාණය කළා නේද?

කතරගම පෙරහැර තියෙන වකවානුවේ මම කතරගම දෙවියන් උදෙසා ගීතයක් නිර්මාණය කළා “කදිරදේව සුරින්දා”. ඒ ගීතය සංගීතවත් කළේ අමිල මුතුගල. පද රචනය කළේ රොෂාන් වික්‍රමසිංහ. එහි රූප රචනාව කළෙත් දොන් මාධව කරුණානායක. ඒක ඇත්තටම සතියක් වගේ කෙටි කාලයක් තුළ නිර්මාණය වුණු ගීතයක්. පසුගිය 19 වනදා කතරගම පෙරහැර දවසෙම මගේ ගීතය රිලීස් වුණා. ‍

දොන් මාධව මේ වෙද්දී ලංකාවට ඇවිත් ද?

නැහැ එයා තාම ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ. මගේ ගීත සියල්ලෙම ඔහු තමා රූප රචනාව නිර්මාණය කරන්නෙ.

රූප රචනය කරන්න මාධව පමණම ද ඔබට හරියන්නෙ?

මට දැනෙනවා මගේ ගීතවල රූප රචනා කරන්න මට එයා නැතුව වෙන කෙනෙක් හරියන්නෙ නැහැ වගේ කියලා.

ඔබේ ව්‍යාපාරික කටයුතු කොහොමද?

මගේ ව්‍යාපාර පැත්තෙ තියෙන්නේ වගා කටයුතු සහ අගය එකතු කළ නිෂ්පාදන හදනවා. වගාව පැත්තෙන් ගත්තම මුං ඇට කව්පි සහ අඹ වගා කරලා තියෙනවා. ඒ හැරුණාම මම කිතුල් පැණි, කිතුල් හකුරු, මසාලා තේ වගේ දේවල් අපනයනය කරනවා.

තාත්තා එක්ක වැඩසටහනකට ගිහින් එතැනදී කියපු “සල්ලි සල්ලි” සින්දුව අතිශය ජනප්‍රිය වුණා නේද?

ඔව්. කොඩිගහ යට නාට්‍යයේ එන සරිත් සුරිත් ගයන සල්ලි සල්ලි ගීතය මම වැඩසටහනක් අතරතුර ගායනා කළා. දවසක් ඇතුළත ලක්ෂ 5ක් විතර බලලත් තිබ්බා. හොඳ ප්‍රතිචාර ලැබුණා ඒ සින්දුවටත්. වැඩේ හොඳයි. ඒ ගීතය හරහාත් මාව දන්නෙ නැති පිරිසක් අතරට ගියා වගේ එකක් වුණා.

මේ අවුරුද්ද තුළ විශේෂ දෙයක් කරන්න සැලසුමක් තියෙනවා ද?

මේ වසර මුල සැලසුමක් තිබ්බා දෙසැම්බර් මාසේ වගේ මගේ ඒක පුද්ගල ප්‍රසංගයක් කරන්න. මේ කාලයේ හැදෙන නිර්මාණ එක්කම තවත් ගීත ටිකක් නිර්මාණය කරගෙනම ඒක පුද්ගල ප්‍රසංගයක් පවත්වන්න හිතුවා. ඒ ප්‍රසංගය මේ වසරේ නොවෙයි ලබන වසර මුල් කාලයේ පවත්වන්න බලාපොරොත්තු වෙනවා.

කලාව පැත්තෙන් ඔබේ කැමැත්ත සංගීතයට පමණයි ද?

සිනමාවට මම වඩාත් ප්‍රියයි. කවදා හෝ සිනමා නිර්මාණයක් අධ්‍යක්ෂණය හෝ නිෂ්පාදනය කිරීමේ සිහිනයක් තියෙනවා. මේ වෙද්දීත් චිත්‍රපට පසුබිම් ගායනයට අවස්ථාවන් දෙකක් විතර ලැබිලා තියෙනවා.

ඉදිරියේදි ප්‍රසංග වේදිකාවෙත් ඔබව දකින්න ලැබෙනවද?

මේ වෙද්දී විදෙස් ප්‍රසංග කිහිපයකට ඇරයුම් ලැබිලා තියෙනවා. ඔක්තෝබර් නොවැම්බර් මාසවල අබුඩාබි සහ ඩුබායි ප්‍රසංග කිහිපයකට සහභාගි වෙනවා.

ඔබේ ගීත හැරුණු කොට ඔබ ගායනා කරන්නෙ කාගේ ගීතද ?

මගේම නිර්මාණ දෙකක් එක්ක වෙනත් ගායන ශිල්පියෙක්ගේ ගීත මම එහිදී ගායනා කරනවා.

ඔබේ නොවන ඔබ ගායනා කරන්න කැමැතිම ගීත තියෙන ගායකයින් වෙන්නෙ කවුද?

සේනානායක වේරලියැද්ද මහතා, විජය කුමාරණතුංග මහතා සහ ගුණදාස කපුගේ මහතාගේ ගීත තමා වැඩිපුරම ගායනා වෙන්නෙ.

අනූෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division