Home » මම ඉන්දියාවට නැංගුරම් දාගත්තේ මනිරත්නම් නිසා

මම ඉන්දියාවට නැංගුරම් දාගත්තේ මනිරත්නම් නිසා

by thanushika
October 7, 2023 12:35 am 0 comment

රට සිටින විශිෂ්ටතම අධ්‍යක්ෂකවරුන් කිහිපදෙනාගෙන් අයෙකු වන සම්මානිත සිනමාවේදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරනු ලැබූ සිනමාපටයක් සහ ඔහු විසින් සම නිෂ්පාදනය කරනු ලැබූ සිනමාපටයක් ගැන මේ දිනවල වැඩි වශයෙන් කතා බහට ලක්වෙනවා. ඒ ඔහු අධ්‍යක්ෂණය කළ “පැරඩයිස්” මලයාලම් චිත්‍රපටය සහ සම නිෂ්පාදනයෙන් දායක වුණු “භගවාන් බරෝසේ” නම් හින්දි චිත්‍රපටයයි. මේ චිත්‍රපට දෙකටම ඔක්තෝම්බර් මාසය නම් සුවිශේෂියි. ඒ සුවිශේෂිතා ගැන අපි දැන ගන්නත් එක්ක සම්මානිත සිනමාවේදී ප්‍රසන්න විතානගේ සමඟින් කතා කළා.

පැරඩයිස් චිත්‍රපටයේ ජාත්‍යන්තර මංගල දර්ශනය ඊයේ පැවැත්වුණේ දකුණු කොරියාවේ බූසාන් නගරයේ?

පැරඩයිස්” කියන්නේ මම කරපු පළවෙනි ඉන්දීය චිත්‍රපටය. මලයාලම් හින්දි සහ ඉංග්‍රීසි කියන භාෂා ත්‍රිත්වයෙන්ම මෙහි දෙබස් තියෙනවා. එහි ප්‍රධාන චරිත දෙක රඟපෑ නළු නිළියන් එන්නේ කේරළයෙන්. කේරළයෙන් පැවත එන මුම්බායි හි ජිවත් වන යුවළක් මේ ආර්ථික අර්බුද සමයේ ලංකාවට සංචාරයක් සඳහා ආවම ඔවුන් මුහුණ දෙන අත්දැකීමක් වටා මෙහි කතාව නිර්මාණය වෙන්නේ.

පැරඩයිස් චිත්‍රපටයේ අන්තර්ජාතික මංගල දැක්ම පැවැත්වුණේ දකුණු කොරියාවේ බූසාන් චිත්‍රපට උලෙළට සමගාමිව. බූසාන් චිත්‍රපට උලෙළ කියන්නේ ආසියාවේ ප්‍රමුඛතම සිනමා උලෙළක්. ඒ චිත්‍රපට උලෙළ නරඹන්න විදෙස් චිත්‍රපට විචාරකයින් සහ බෙදාහරින්නන් ඇතුළු විශාල පිරිසක් එනවා. අපිට අවස්ථාව ලැබුණා 28 වෙනි බූසාන් චිත්‍රපට උලෙළේදී පැරඩයිස් චිත්‍රපටයේ අන්තර්ජාතික මංගල දැක්ම පවත්වන්න. මම ඉස්සෙල්ලම ජාත්‍යන්තර සම්මානයක් දිනා ගත්තේ 1996 පළවෙනි බූසාන් චිත්‍රපට උලේළෙදී “අනන්ත රාත්‍රිය” චිත්‍රපටය වෙනුවෙන් ජූරියේ ගෞරව සඳහනක්. එතැනින් පස්සේ වරින් වර මගේ චිත්‍රපට සමඟ මම බූසාන් චිත්‍රපට උලෙළට සහභාගී වෙලා තියෙනවා. මෙවර තව විශේෂත්වයක් තියෙනවා. මෙම චිත්‍රපටය තිරගත වෙන්නේ කිම් ජෝ සික් කියන අංශය යටතේ. කිම් ජෝ සික් කියන්නේ ආසියානු සිනමාව ප්‍රවර්ධනය වෙනුවෙන් විශාල කැප කිරීමක් කරපු සංවිධායකවරයෙක්. ඔහු අපි වැනි සිනමාකරුවන් බූසාන් චිත්‍රපට උලෙළ හරහා ලෝකයට හඳුන්වා දුන්නා. නමුත් ඔහු අකාලයේ මිය ගියා හෘදයාබාධයකින්. ඔහු වෙනුවෙන් මේ චිත්‍රපට උලෙළේ අංශයක් විවෘත වුණා. ඒ කිම් ජෝ සික් අංශය. එහිදී ආසියාවේ සිටින ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරු අතරින් චිත්‍රපට 10ක් තෝරා ගත්තා තරගකාරී අංශයට.

ශ්‍රී ලාංකේය අධ්‍යක්ෂවරයෙකුගේ චිත්‍රපටයක් ඉන්දියාවේ ඉහළ පෙෙළ් නිෂ්පාදන සමාගමක් මඟින් ලොවට ඉදිරිපත් කරන මුල්ම අවස්ථාව මෙය නේද?.

මම මෙහි පූර්ව දර්ශනයක් පැවැත්වුවා චෙන්නායි නගරයේදී. මේ දර්ශනය නරඹන්න ආවා සුප්‍රකට අධ්‍යක්ෂ නිෂ්පාදක මනිරත්නම් මහත්තයා. ඔහු චිත්‍රපටය දැකලා බොහෝ සේ සතුටු වුණා. ඒ එක්කම කියන්න ඕනේ ඔහු ගාඩි චිත්‍රපටයට කැමති කෙනෙක්. ඒනිසා ඔහු ඉදිරිපත් වුණා ඔහුගේ සමාගමේ ධජය යටතේ ලෝකයට ඉදිරිපත් කරන්න. අපි ලෝක මංගල දැක්ම පවත්වන්නේ මැඩ්‍රාස් ටෝකීස් සමාගම ඉදිරිපත් කරන නිව්ටන් සිනමා නිෂ්පාදනයක් ලෙසින්. මේ මොහොතේ ඔහුගේ ධජය මගේ චිත්‍රපටයට අනුග්‍රාහකත්වය ලබා දීම මා දකින්නේ හරියට නැවකට නැංගුරම්ලන්න දුන්නා සේ මට ඉන්දියාවට නැංගුරම් දැම්මේ මනිරත්නම් මහත්තයා.

ඔබේ අනෙක් චිත්‍රපටය “භගවාන් බරෝසේ” නම් හින්දි චිත්‍රපටය ගැන කතා කළොත්?

“භගවාන් බරෝසේ” හි මම සම නිෂ්පාදකවරයෙක්. ශීලාදිත්‍ය බෝරා (Shiladitya Bora) මෙය අධ්‍යක්ෂණය කළේ. ඔහු ඇත්තටම මට ඉන්දියාවේ PVR සමාගමේ සේවය කරන කාලේ හමුවුණු කෙනෙක්. ඔහු මගේ “ඔබ නැතුව ඔබ එක්ක” කියන චිත්‍රපටය ඉන්දියාවේදී වාණිජ වශයෙන් ප්‍රදර්ශනය කරන්නට අනුග්‍රාහකත්වය දැක්කුවේ. උතුරේ ජිවත් වුණු වැඩිය කවුරුත් නොහඳුනන සිනමාකරුවෙක් වන කේසවරාජන් නවරත්නම් කියන අධ්‍යක්ෂවරයාගේ ජිවිතේ පදනම් කරගෙන චිත්‍රපටයක් කරන්නට. ඔහු අද ජිවතුන් අතර නැහැ අකාලයේ මිය ගියා. එය අධ්‍යක්ෂණය කරන්න ඔහු ඉදිරිපත් වුණා. ඒ වෙනුවෙන් වරින් වර ලංකාවට ආවා. නමුත් විශාල පිරිවැයක් යන නිසා එය අතරමඟ නතර වුණා. ඊට පසුව තමයි “භගවාන් බරෝසේ” චිත්‍රපටය කරන්න යොමු වුණේ.

“භගවාන් බරෝසේ“ චිත්‍රපටය මේ මාසේ 13 වනදා සිට ඉන්දියාවේ පමණක් නෙවෙයි එක්සත් රාජධානිය, ඇ‍ෙමරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, කැනඩාව සහ නවසීලන්තය කියන රටවල තිරගත වෙනවා. මේ ඔහුගේ පළමු චිත්‍රපටය එයට මට දායක වෙන්න ලැබීම ගැන මට ඉතාම සතුටුයි. බොලිවුඩයේ ප්‍රවීණ නළුවෙක් වෙන Vinay Pathak මෙහි රඟපානවා. චිත්‍රපටයේ සංගීතය සැපවූයේ ඉන්දියාවේ සුප්‍රසිද්ධම සංගීත කණ්ඩායමක් වන ඉන්දියන් ඕෂන් සංගීත කණ්ඩායම.

“පැරඩයිස්” චිත්‍රපටය සහ “භගවාන් බරෝසේ” චිත්‍රපට දෙක අතරින් මුලින්ම තිරගත වෙන්නේ මම සම නිෂ්පාදනයෙන් දායක වුණු “භගවාන් බරෝසේ” චිත්‍රපටය. මම මේ චිත්‍රපටය සලකන්නේ මගේ සිනමා ජීවිතේ වැදගත් මොහොතක් ලෙස. ඔක්තෝම්බර් 13 කියන්නේ. වැදගත් දවසක්. (අපේ රටේ නම් එහෙම නැහැ. එදාට තමයි ලෝක සිනමා දිනය යෙදෙන්නේ එදිනට ඕනෙම සිනමා ශාලාවක වෙනදා නරඹන මිලට වඩා අඩු මිලට චිත්‍රපට නැරඹීමේ අවස්ථාව උදා කර දීලා තියෙනවා. ඒක මම හිතනවා අපේ රටෙත් තිබිය යුතුයි කියලා.

 

 අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division