Home » දැන් අවුරුදු හතරක පහක ඉඳන් මම සිංගල්

දැන් අවුරුදු හතරක පහක ඉඳන් මම සිංගල්

by thanushika
October 7, 2023 12:33 am 0 comment

 දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන “සැලෙනා නුවන්”හි රන්දිගේ හොඳම යෙහෙළිය තමාලි ලෙසින් ඔබ හමුවට එන චලනි විජේසූරිය ධරණී, හේලියන්, සික්ස් පැක් වැනි ජනප්‍රිය නිර්මාණ රැසකට රංගන දායකත්වය ලබාදුන් නව පරපුරේ රංගන ශිල්පිනියකි. වෘත්තියෙන් පෙර පාසල් ගුරුවරියක වන ඇය රංගනයෙන් ඉදිරියට යෑමේ බලාපොරොත්තුවෙන් කලා මාධ්‍යයෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරන්නීය. සමනලුන් වැනි පුංචි දරුවන් ඇසුරේ ලබන මානසික සුවය රංගන දිවියට සැහැල්ලුවක් ගෙන දෙන බව පවසන ඇගේ කතාවයි මේ.

මේ දවස්වල චලනිව වැඩිපුරම දකින්නෙ “සැලෙනා නුවන්”හි තමාලි විදිහට. කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මං පෙර පාසල් ගුරුවරියක් නිසා විශේෂ ප්‍රතිචාර දක්වන පිරිසකුත් ඉන්නවා. ඒ මගෙ පෙර පාසලේ දරුවන්. මං ඉන්න නිසා එයාල ඒක ගොඩක් අවධානයෙන් බලනවා. ළමයි මට කියන්නෙ චූටි ටීචර් කියලා. මගේ ඩිම්පල් එක නිසා යාළුවො මට ඩිම්පල් චලා කියලත් කියනවා. තමාලි කියන්නෙ රන්දිගෙ හොඳම යාළුවනෙ. ගමේ යාළුවො ඉතින් උඹ බං බොලං කියලනෙ කතා කරන්නෙ. කතාවේ තියෙන්නෙ ඒ වගේ දෙබස්. මං පොඩි ළමයි එක්ක ඉන්න නිසා මට ඒව කියවෙන්නෙ නෑ. ඒ වගේ තැන්වලදි ඔයා මෙයා කියලයි කියවෙන්නෙ. ඒ වෙලාවට ශ්‍රියන්ත අයිය කියනව නංගි ඔහොම බෑ කැරැක්ටර් එකට ඕන විදිහට කතාකරන්න කියලා. පහුවෙනිදට ඉස්කෝලෙ ගියහම දරුවන්ගෙ මවුපියො කියනව මෙයාල ටීචර් එක්ක තරහයිලු ටීචර් ටීවී එකේ නරක වචන කියන නිසා කියල කියනවා. ඒ වගේ දේවල් හරියට වෙනවා. ටීචර් ඊයෙ රෑ එතන ඉඳල දැන් මෙතන ඉන්නෙ කොහොමද කියලත් අහනවා. ටීචර් කොහොමද ටීවි එක ඇතුළෙ ඉන්නෙ කියලත් අහනවා. ඒව හරිම සුන්දර අත්දැකීම්.

ගුරු වෘත්තියයි රංගනයයි අතර ගැළපීම කොහොමද?

ඇත්තටම මල් වගේ පුංචි අය එක්ක ගෙවන ජීවිතේ හරිම සුන්දරයි. මං හරි ආසාවෙන් කරන දෙයක්. එයාල එක්ක ඉද්දි හිත හරිම සැහැල්ලුයි. හරිම නිදහසේ රංගන කටයුතුවලට දායක වෙන්නත් පුළුවන්. උසස් පෙළ ඉවර වුණු ගමන්ම මං ටීචින් ඩිප්ලෝමා එක කරල මේ වෘත්තියට සම්බන්ධ වුණා. දැනට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා බාහිර උපාධිය හදාරමින් ඉන්නෙ. ඒ විෂයන් තෝරගත්තෙත් රංගනයෙන් ඉදිරියට යෑමේ බලාපොරොත්තුවෙන්.

එතකොට ඔබ රංගනයට යොමු වුණේ?

හංසිනි විමලසිරි අක්ක මගේ ෆොටෝ වගයක් පෙන්නල ඒ හරහා තමයි මාව සංගීතේ ටෙලි නාට්‍යයේ පොඩි කොටසකට තෝරගත්තේ. එතැන තමයි මගෙ රංගන දිවියේ ආරම්භය. ඊට පස්සෙ ශ්‍රියන්ත ප්‍රසාද් අයිය මට ධරණී නාට්‍යයට අවස්ථාව ලබා දුන්නා. ඒකෙ හංසිගේ චරිතය ප්‍රේක්ෂකයන් අතරට ගියා. ශ්‍රියන්ත අයියයි, නිදුක් අයියයි විශේෂයෙන්ම මතක් කරන්න ඕන. මං යම් තැනක ඉන්නව නම් ඒ ඒ දෙන්න නිසා. තුෂාර තෙන්නකෝන් සර්ගේ හේලියන් ටෙලි නිර්මාණයට දායක වෙන්න අවස්ථාව ලැබුණෙ ඊට පස්සේ. රෝසිගේ යාළුවා නතාශා කියන්නේ දඟකාර, කටකාර චරිතයක්. හේලියන් සීසන් – 2 ඒකත් රූගත කරල ඉවරයි. ඉදිරියෙදි දැකගන්න ලැබේවි. තුෂාර තෙන්නකෝන් සර් කියන්නෙත් රංගනයට හොඳ තෝතැන්නක්. ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. හේලියන් එකට මගේ ස්ක්‍රීන් ටෙස්ට් එක කරල ඉවර වෙලත් ඔහු මගේ සාමාන්‍ය කතා විලාසය අධ්‍යයනය කරල තිබුණා. ස්වාභාවිකත්වය තුළින් ඕනෑම කෙනෙකුගෙ හැකියාවන් එළියට ගන්න හැකියාවක් තියෙන අධ්‍යක්ෂවරයෙක් ඔහු. ඒ වගේම ශ්‍රියන්ත ප්‍රසාද්ගේ “සැලෙනා නුවන්”හි තමාරා වගේම “සික්ස් පැක්”හි නෙත්මිත් ප්‍රේක්ෂකයන් අතරට ගියා.

සිනමාවට ආරාධනා ලැබුණෙ නැද්ද?

සිනමාවට තමයි ගොඩක්ම ආරාධනා ලැබුණේ. මං ගුරුවරියක් වුණු නිසා ඒවට සම්බන්ධ වෙන්න තිබුණ අවස්ථා මඟහැරුණා.

චලනි මියුසික් වීඩියෝවලත් ගොඩක් දකින්න ලැබෙනව නේද?

මේ වෙද්දි මියුසික් වීඩියෝ තුනකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. මුලින්ම රොමානෝ ප්‍රනාන්දු සහ නිසංසලා අනුරාධිගේ හැඟෙන්නා මියුසික් වීඩියෝවට සම්බන්ධ වුණා. ඊට පස්සෙ රසික ලියනාරච්චිගේ පණ කැටේ. මේ දෙක දැනට රිලීස් වුණු ඒවා. ඉදිරියෙදි එන්න තියෙන සුපසන් ප්‍රේමය, මායි නිමේෂ් එදිරිසිංහයි රංගනයෙන් දායක වෙන දකුණු ඉන්දියානු ක්‍රමයට කරපු ලස්සන වීඩියෝවක්. ඒක එනතුරු ආසාවෙන් බලාගෙන ඉන්නවා.

චලනිට ආදරය ගැන මොනවගේ අත්දැකීමක් ද තියෙන්නෙ?

කලින් නම් අත්දැකීමක් තිබුණා. දැන් අවුරුදු 4ක විතර ඉඳන් මං සිංගල්. දැන් මං මේ තනිකමට හුරුවෙලාද කියලත් හිතෙනවා. ආදරේ හරස් කරගන්නෙ නැතුව ආදරේ පැත්තකින් තියලා මගේ ටාගට්වලට යන එක තමයි දැන් මගේ බලාපොරොත්තුව.

 නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division