Home » දුප්පත් පොහොසත් සැමගේ ගමන් සඟයා ලුමාලා 

දුප්පත් පොහොසත් සැමගේ ගමන් සඟයා ලුමාලා 

ලංකාවේ විශාලතම බයිසිකල් නිෂ්පාදකයා

by Mahesh Lakehouse
October 7, 2023 12:30 am 0 comment
විවිධ මාදිලියේ අපනයනය සඳහා නිෂ්පාදිත පාපැදි සහ ලයිකන් විදුලි පාපැදි

දිරියෙන් නැඟි සිටින මිනිසුන්ගේ මූලාරම්භය කටුකය. ජපන් බසින් ශක්තිය නම්වන අර්ථය දෙන ලුමාලා සන්නාමය යටතේ මෙරට ප්‍රචලිත පාපැදි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සියලු අභියෝග හමුවේ දිරියෙන් ශක්තියෙන් සියලු කඩඉම් පසුකරමින් ඉදිරියට පැමිණ ඇති බව අවිවාදිතය. ලුමාලා සන්නාමය මෙරට පාපැදි ක්ෂේත්‍රයේ අභිෂේක ලබන දින දක්වා ගිය වෑයම එතරම් සුන්දර නැත. ලුමාලා පාපැදි කර්මාන්ත ශාලාව අද වන විට අක්කර තුනක් පුරා විහිඳුණු දැවැන්ත ගොඩනැගිලි පරිශ්‍රයකි. වසර 38කට අධික කාලයකට, පරම්පරා 3ක ‌ පමණ සිට ශ්‍රී ලංකාවේ පාපැදි නිෂ්පාදනයේ ප්‍රමුඛයා ලුමාලා වීම නොරහසකි. මේ දක්වා ගමන් ගත් මඟ අති දුෂ්කර ප්‍රයත්නයක ප්‍රතිඵලයක් බවට තහවුරු කෙරෙන සාක්ෂි බොහෝය.

මෙහි ආරම්භය සනිටුහන් වන්නේ සිටි සයිකල් ස්ටෝස් (city cycle stores) නමිනි. පානදුර සරික්කාලමුල්ල හෙනාමුල්ල පරණ ගාලු පාර අංක 119 ස්ථානයෙහි ඒ. ආර්. එම් නජ්බුදීන් ව්‍යාපාරිකයා විසින් 1953 දී ආනයනික භාණ්ඩ වෙළෙඳ ව්‍යාපාරයක් ලෙස මෙය මුලින් ආරම්භ කෙරිණි. 1980 වසරේදී ලුමාලා වෙළෙඳ නාමය යටතේ ජපානයේ ප්‍රසිද්ධ පාපැදි නිෂ්පාදන ආයතනයකින් එම සන්නාමයෙන් මෙරට වෙළෙඳපොළට ලුමාලා පාපැදි ආනයනය කර අලෙවි කිරීම ආරම්භ කෙරුණි. පසුකාලීනව ජපානයේ ලුමාලා පාපැදි නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව වසා දැමීමෙන් අනතුරුව 1985 වසරේදී එම කර්මාන්ත ශාලාවේ සියලුම යන්ත්‍ර සූත්‍ර ද ලුමාලා සන්නාමයද සම්පූර්ණයෙන් මිලදී ගැනීමට වත්මන් සභාපති එම්.එම් . මිෆ්ලාල් සමත් විය.

ලුමාලා නම් ජපාන සන්නාමය යටතේ එක් ගොඩනැගිල්ලක සේවකයන් තුන්දෙනෙකුගෙන් මෙම ව්‍යාපාරය එහි වත්මන් සභාපතිවරයා විසින් ආරම්භ කර ඇත. මෙම ව්‍යාපාරය ශ්‍රී ලාංකිකත්වය වෙත පවරා ගැනීමෙන් පසුව දැවැන්ත ව්‍යාපාරයක් බවට පත් කිරීමේ පුරෝගාමියා වූයේ ද ඔහුය. මෙම පාපැදි සමාගම 1985 වසරේදී ඔහු විසින් සිටි සයිකල් ඉන්ඩස්ට්‍රිස් නමින් නාමකරණය කිරීමෙන් අනතුරුව කර්මාන්ත ශාලාව තුළදීම සියලුම අමුද්‍රව්‍ය නිෂ්පාදනය කර ගනිමින් පාපැදී නිෂ්පාදනය කිරීමට ආරම්භ කරන ලදි.

ඉන් අනතුරුව ඉතා කෙටි කලක් තුළ 2010 වන විට දේශීය වෙළෙඳපොළ අතික්‍රමණය කරමින් විදෙස් වෙළෙඳපොළ විජයග්‍රහණය කිරීමට හැකි විය. ඒවන විට සේවකයන් 1500ක් නිෂ්පාදන ධාරිතාවය දිනකට පාපැදි 2000ක් දක්වා ඉහළ මට්ටමකට පැමිණි තිබිණි. එතැන් සිට දශකයකට අධික කාලයක් පාපැදි නිෂ්පාදකයන් අතර ප්‍රමුඛ පෙළේ නිෂ්පාදකයකු බවට පත්වෙමින් දේශීය වෙළෙඳපොළ තුළ ප්‍රමුඛ පෙළේ නිෂ්පාදකයෙකු බවට පත් විය. මෙරට පාපැදි අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමය බවට ද පත්වෙමින් යුරෝපා ඇතුළු රටවල් රැසක අපනයනකරුවා වෙමින් පාපැදි නිෂ්පාදනයේ හිණිපෙත්තට පැමිණීමට ලුමාලාට හැකිවිය. අද වනවිට ලුමාලා පවුලේ තවත් නිෂ්පාදනයක් වන ලයිකන් නාමය යටතේ වන විදත් පාපැදි ඇතුළු සියලුම වර්ගයේ පාපැදි නිෂ්පාදනය සහ අමතර කොටස් නිෂ්පාදනය සිදු කෙරෙන මෙම ආයතනය මගින් දේශීය ආර්ථිකයට සිදුවන අති මහත් දායකත්වය අපි අගය කළ යුතුමය.

ලුමාලා ආයතනය විසින් 1997දී මැදපෙරදිග හා අප්‍රිකානු කලාපයට පාපැදි අපනයනය ආරම්භ කිරීමෙන් ඇරඹි විදෙස් අපනයනය 1999 දි යුරෝපා වෙළෙද පොළ ජය ගැනීමට සමත් විය. 2005 වසර වන විට ඉන්දියාවට සහ ඉන් අනතුරුව, පාකිස්ථානය ආදී ආසියානු රටවල්වලට මෙන්ම අප්‍රිකානු රටවල් සඳහා ද පාපැදි අපනයනය කිරීමට ‘ලුමාලා’ සමත් වී ඇත.

රටේ පවතින අර්ථික අවපාතය සමඟ අමුද්‍රව්‍ය සපයා ගැනීමට ඇති අසීරුව සහ බදු අය කිරීම නිසා පාපැදි නිෂ්පාදනය කිරීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවෙයි. දෛනික පාපැදි නිෂ්පාදනය පාපැදි 2000ක් දක්වා ඉහළ නැංවිය හැකි ධාරිතාවකින් සමන්විත ‘ලුමාලා’ කම්හල් නිෂ්පාදන ක්‍රියාන්විතය සඳහා අවශ්‍ය ආධාර අනුබල ලබාදීම මඟින් දේශීය ආර්ථිකය ඔප් නංවන මෙම මහරු ව්‍යාපාරය අපේ රටේ අපනයන ආදායමට දක්වන දායකත්වය ද ඉහළ නංවා ගත හැකි බව සහතික ය.

දේශීය නිෂ්පාදනයක් වන මේ ලුමාලා සම්බන්ධයෙන් මීට වඩා රජය විසින් මැදිහත් වන්නේ නම් තමන්ගේ නිෂ්පාදන ධාරිතාවය මීට වඩා වැඩි කර ගැනීමට හැකියාව ඇති බව ලුමාලා ආයතනයේ අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරි තාරික් මිෆ්ලාල් පවසයි. “මේ වන විට තරඟකාරී වෙළෙඳපොළට අඩු මිලට ආනයනික පාපැදි සැපැයීම නිසා සියලු අමුද්‍රව්‍ය නිෂ්පාදනය කර ගනිමින් පාපැදි නිෂ්පාදනය කරන ලුමාලා වැනි පාපැදි නිෂ්පාදකයන්ට එය දැඩි තර්ජනයක් වෙයි. තත්ත්වයෙන් උසස් පාපැදියක් නිෂ්පාදනය කිරීමට වැය වන පිරිවැය ආනයනික පාපැදිවලට සාපේක්ෂව ඉහළ මිලක් ගනු ලබයි. පාපැදි සඳහා ජීවිත කාලයටම වගකීමක් ලබා දෙන ලුමාලා ආයතනය මඟින් අවශ්‍ය සියලු කොටස් නිෂ්පාදනය කර දේශීය අගය එකතු කරමින් සම්පූර්ණ පාපැදියක් නිෂ්පාදනය කරන නිසා ආනයනික සහ දේශීය අමුද්‍රව්‍ය මිල ඉහළ යාම බදු වැඩිවීම නිසා දැඩි අසීරුතාවයකට පත්ව ඇත. ඒ නිසා දේශීය කර්මාන්තයක් වන ඔවුන්ගේ පාපැදි කර්මාන්තය රැක ගැනීමට රජය විසින් මේ තරඟකාරීත්වයට මුහුණ දීමට නිසි ක්‍රමවේදයක් ඇති කළ යුතු බවත් එහි කළමනාකාරීත්වයේ අදහසයි. “පාපැදියක් නිෂ්පාදනය කරන නිෂ්පාදන වියදම වැඩි වෙන්නේ අමුද්‍රව්‍ය සඳහා විශාල පිරිවැයක් දරන්න සිදුවෙන නිසයි. එකතු කළ අගය මත සහ ඉල්ලුමට අනුරූපව නිෂ්පාදන කාර්ය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමේ අති දුෂ්කර වෑයමකිනුයි, මෙම ආයතනය පවත්වාගෙන යන්නේ.මේ පිළිබඳවත් රජය සැලසුම් සහගත වැඩපිළිවෙළක් සකස් කිරීම අවශ්‍යයි. පවතින ඉන්ධන අර්බුදය නිසා ඉවතලන ලී කුඩු සහ අවශ්‍ය තාපය ලබා ගැනීමට ජලය භාවිත කිරීම විකල්ප ලෙස මේ වන විට යොදාගෙන තියෙනවා. ෆොසිල ඉන්ධන වෙනුවට විදුලි බලය භාවිත කරමින් අවම පිරිවැයක් යටතේ ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට හැකිවන පරිදි සකස් කර තිබෙනවා. පවතින මූල්‍ය අර්බුදය හමුවේ ඵලදායි විකල්ප වැඩපිළිවෙළක් ලෙස මෙය යොදා ගත හැකි“ බවද ඔහු පවසයි.

දේශීය සහ විදේශීය වෙළෙඳපොළ අරමුණු කර ගනිමින් වාර්ෂිකව පාපැදි ඒකක 500,000 කට අධික ප්‍රමාණයක් නිපදවන ලුමාලා සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන විදුලි පා පැදි (e-bike) ලයිකන් සන්නාමය යටතේ නිෂ්පාදනය කෙරේ. මේ ලයිකන් පාපැදි සඳහා විශාල විදෙස් වෙළෙඳපොළ ඉල්ලුමක් ඇති බව පවසන එහි කළමනාකාරීත්වය සඳහන් කරන්නේ මේ පාපැදි සඳහා දේශිය වෙළෙඳ පොළ පුළුල් කිරීමට රාජ්‍ය ආයතනවල සේවකයන්ට වෙනත් සේවා සපයන්නට යම් සහන ක්‍රමවේදයක් යටතේ මේ පාපැදි හඳුන්වාදීමට රජය මැදිහත් වන්නේ නම් වඩා ඵලදායි බවයි. ආයතනයේ විවිධ අංශවල දායකත්වයෙන් සම්පුර්ණයෙන්ම දේශීය වශයෙන් මෙම පාපැදි නිර්මාණය වෙයි. කිලෝ මීටරයකට රුපියලකටත් වඩා අඩු පිරිවැයක් යටතේ එක් ආරෝපණ වාරයකින් කිලෝ මීටර් 100ක පමණ ධාවනය කළ හැකි ලයිකන් විදුලි පාපැදි ඇතුළු මාදිලි රැසක් ලුමාලා ආයතන විසින් වර්තමානයේදී නිෂ්පාදනය කරනු ලබයි.

මෙම තාක්ෂණය යටතේ සාමාන්‍ය විදුලි පාපැදි, සංචාරකයින් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද ද්විත්ව ආසන සහිත විදුලි පාපැදි, ඉවතලන ප්ලාස්ටික් බෝතල් ඇතුළු සැහැල්ලු කසළ එකතු කළ හැකි විශේෂ විදුලි පාපැදි, විදුලියෙන් ක්‍රියාත්මක වන රෝද පුටු මගීන් ප්‍රවාහනය සඳහා ආසන සහිතව සකස් කළ විදුලි පාපැදි, අයිස් ක්‍රීම්, රස කැවිලි ඇතුළු වෙනත් දිවයිනේ ප්‍රසිද්ධ ආහාර නිෂ්පාදන මාර්ගත ක්‍රමය ඔස්සේ බෙදා හරින්නන් සඳහා විදත් පාපැදි ජංගම අලෙවි කටයුතු සඳහා නිෂ්පාදනය කරන ලද විදුලි පාපැදි ඇතුළු නිෂ්පාදන මාදිලි රැසක් හඳුන්වා දී ඇති අතර ඉල්ලුම අනුව මහා පරිමාණයෙන් එම පාපැදි නිෂ්පාදනය කිරීමේ හැකියාව ද ආයතනය සතු වේ. මෙම පාපැදි රජයේ විශේෂ ඉල්ලුමක් යටතේ රජය මැදිහත් වී රාජ්‍ය නිලධාරීන් ප්‍රාදේශිය මාධ්‍යවේදීන් ජංගම ව්‍යාපාරිකයන්ට ලබාදීමට කටයුතු කරන්නේ නම් එය ආයතනයේ ප්‍රගමනයට වඩා ඵලදායි වනු ඇත. මෙරට මෙන්ම එක්සත් රාජධානිය, යුරෝපය, ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මැද පෙරදිග රාජ්‍යයන් ඇතුළු රටවල් රැසකට මෙම විදුලි පාපැදි සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව බව ද ආයතනයේ සාමාන්‍යාධිකාරි රංජිත් සිරිවර්ධන පවසයි.

“රටට විදෙස් විනිමය ඇතුළු විශාල නිෂ්පාදනය දායකත්වය යටතේ රැකියා රැසක් උත්පාදනය කරන මෙම ආයතනයේ සේවකයන් 1500ක් පමණ සේවය කරන ලද අතර එම සේවකයන් සඳහා සේවක අර්ථ සාධක අරමුදල් ඇතුළු සියලු වරප්‍රසාද ලබාදී ඇති බවද පවසයි. මේ වන විට රටේ තරඟකාරී අඩු මිල ගණන් යටතේ ආනයනය කරන පාපැදි ඔවුන්ට දැන් තර්ජනයකි. ලුමාලා කර්මාන්ත ශාලාවේ සියයට සියයක් දේශීයව නිෂ්පාදන බැවින් දරන්නට වන පිරිවැය විශාල වෙයි. අලෙවි කිරීමේදීත් බදු අය කිරීම නිසා මේ ආයතනය පවත්වාගෙන යාමේ දැඩි අසීරුවකට පත්ව ඇති බවද සාමාන්‍යාධිකාරිවරයා පවසයි. ඇතැම් අංශවලට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කිරීමට වඩා ආනයනය කිරීම වාසි සහගත නිසා මේ වන විට සේවකයන් සංඛ්‍යාව පන්සීයයටත් වඩා අඩුවීම ඛේදවාචකයක් බව ඔහුගේ අදහසයි.

මෙවැනි ආයතනයක නිෂ්පාදන ධාරිතාවය ඉතා ඉහළ මට්ටමක පැවැතුණත් වෙළෙද පොළට ලබා දීමේදී ආනයනික පාපැදියකට වඩා වැඩි පිරිවැයක් දැරීමට ඔවුන්ට සිදුවෙයි. එසේ නම් රජය විසින් මේ සඳහා යම් සහන දායි වැඩපිළිවෙළක් සකස් කර නිෂ්පාදන භාණ්ඩ මිලදී ගැනීමේදී සහ නැවත වෙළෙදපොළට නිකුත් කිරීමේදී වන බදු සම්බන්ධයෙන් යම් සහනයක් ලබාදීමට හැකිනම් එය වඩා වැදගත් වන බව ද, මේ පාපැදි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන නිසා රැකියා රැසක් විවිධ ක්ෂේත්‍රවල උත්පාදනය වන බව එහි කළමනාකාරිත්වය පවසයි. ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ එසේම ලෝකයේ දියුණු බොහෝ රටවල ජනප්‍රිය සහ පහසු ප්‍රවාහන මාධ්‍ය පාපැදිය වුවත් අපේ රටේ ඒ සම්බන්ධයෙන් විශාල උනන්දුවක් නැති වීම කනගාටුවට කරුණක් බවද පවසයි.

එහි වෙළෙඳ කළමනාකරු නිලන්ත සටන්ආරච්චි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිළුමිණට සමඟ පැවැසුවේ මෙවැනි අදහසකි.මෙවැනි දේශීය නිෂ්පාදනයන් සම්බන්ධයෙන් වන කාර්යභාරය පිළිබඳව ජනතාව පුළුල් ලෙස දැනුවත් වීම අත්‍යවශ්‍යයි. කර්මාන්තයක් ලෙස මෙවැනි ආයතන සිදු කරන සේවය මීට වඩා සමාජගත විය යුතු බවයි. සම්ප්‍රදායික පාපැදිවලට අමතරව මාදිලි රැසක එනම් කුඩා දරුවන්ට, විවිධ ක්ෂේත්‍රවල ජංගම අලෙවිකරුවන්ට පහසුකම් සහිත පාපැදි සහ විශේෂයෙන් ලයිකන් නාමය යටතේ විදුලි බයිසිකල් ඇතුළු බයිසිකල් රැසක් මේ වන විට වෙළෙඳපොළට හඳුන්වාදී ඇති බවද ඔහු සඳහන් කරයි. විශේෂයෙන්ම විදුලි පාපැදි භාවිතය තුළින් ශාරීරිකව මෙන් ම මූල්‍යමය අංශයෙන් විශාල ඉතිරියක් වෙයි. දිනපතා භාවිත කරන්නෙකුට මසකට රුපියල් 8000ක් පමණ ඉන්ධන ඉතිරියක් මෙමඟින් හිමිවෙයි.

ලංකාවේ නිෂ්පාදිත ලුමාලා පාපැදි ප්‍රවර්ධනය කළ යුතුයි. ආවස්ථික පිරිවැය එනම් නිෂ්පාදන පිරිවැය නිසා විකල්ප පාපැදි ආනයනකරුවන් වඩා අඩු මිලට ලුමාලා පාපැදි සැපයීමට නොහැකි බව සාමාන්‍යාධිකාරි රංජිත් සිරිවර්ධනගේ අදහසයි. පොදුවේ ගත් විට ආනයනික ඇතැම් පාපැදිවලට සාපේක්ෂව විශාල වශයෙන් ලුමාලා පාපැදි උසස් තත්ත්වයේ පවතියි. නිෂ්පාදනයක් ලෙස වෙළෙඳපොළට මෙය හදුන්වාදෙන්නේ සම්පූර්ණ මෙරට නිෂ්පාදනය කරන භාණ්ඩයක් ලෙසයි “ලුමාලා කියන්නේ ඇත්තටම සියට සියයක් ම ලංකාවේ හදන බයිසිකලයක්. ලංකාවේ හදනවා විතරක් නෙමෙයි ඇත්තටම මේ බයිසිකල් වෙනත් රටවලටත් අපනයනය කරනවා. ඒ වගේම ලංකාවේ විශාලතම බයිසිකල් නිෂ්පාදකයා වන ලුමාලා නිසා ලංකාවේ ආනයන ආදේශන කර්මාන්ත බිහි වන බවටද හොඳ නිදසුනකි.

“මේ ව්‍යාපාරය පටන් ගන්නෙත් පිටරටින් බයිසිකල් ආනයනය කර විකුණන ව්‍යාපාරයක් විදිහටයි. ලුමාලා ලංකාවට ගෙන්වන ජපන් සන්නාමයක්. නමුත් ජපන් මුදල් ඒකකය වන යෙන් එක අධිප්‍රමාණය වීම නිසා ජපානයේ මේ ව්‍යාපාරය බිඳ වැටෙනවා. ලංකාවේ ආනයනකරු වන එවකට ලුමාලා ආයතනයේ අධිපතිවරයා ජපානයේ ලුමාලා බයිසිකල් කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍ර, බයිසිකල් හදන තාක්ෂණය වගේම ලුමාලා සන්නාමයත් මිල දී ගෙන ලංකාවේ මේ බයිසිකල් හදන්න පටන් ගන්නවා. පාපැදි නිපදවීමේ කර්මාන්තය ලංකාවට තරඟකාරී විය හැකි කර්මාන්තයක් ඒ තරගකාරීත්වය තුළ යම් විධිමත් බවක් අත්‍යවශ්‍ය බව එහි විධායක අධ්‍යක්ෂ තාරික් අවසන් වශයෙන් අප සමඟ පවසයි.

ලංකාවේ පාපැදි නිෂ්පාදක කර්මාන්තයේ නියැළී සිටින ලුමාලා රජයෙන් ලැබෙන රැකවරණයක් යටතේ පවත්වාගෙන නොයන බව ඉතා පැහැදිලිය. එහෙත් අනෙකුත් දේශීය කර්මාන්තකරුවා මුහුණපාන ගැටලු මේ කර්මාන්තයටත් අඩු වැඩිවශයෙන් බලපානු ලබයි. මෙවැනි දේශීය කර්මාන්තකරුවන් නඟා සිටුවීමට විශේෂිත වැඩපිළිවෙළක් රජය විසින් සකස් කිරීම කාලීන අවශ්‍යතාවකි. කොතෙකුත් ආනයනික පාපැදි වෙළෙඳපොළට පැමිණියත් නිතරඟයෙන් දේශිය සහ විදෙස් වෙළඳපොළ තරඟකාරිත්වය පවත්වා ගැනීමට හැකි තත්ත්ව සහතිකයක් ලබා දීමට ලුමාලාට හැකියාව ඇති බව නොඅනුමානය.

සුභද්‍රා දේශප්‍රිය, ඡායාරුප - වාසිත පටබැඳිගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division