Home » වාසනාවන්ත ගෙමිදුලකට සුබ වෘක්ෂ

වාසනාවන්ත ගෙමිදුලකට සුබ වෘක්ෂ

by thanushika
October 7, 2023 12:43 am 0 comment

සියලුම බුදුවරු උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත්ව ඇත්තේ ගසක් යටදීය. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම පූජාවට පාත්‍ර වූයේද ගසකි. ඒ උතුම් ජයශ්‍රී මහා බෝධිය වර්තමානයේ ලොව පවතින පැරණිතම වෘක්ෂය ලෙස ද පිළි ගැනේ. අපගේ බොහෝ අපල උපද්‍රව දුරු කර ගැනීමට කරන බෝධි පූජාවද ගසකට කරන පූජාවකි. පැරැන්නන් ගස් කැපුවේද ආවාට ගියාට නොවේ. රුවන්වැලි සෑය සෑදීමට තෝරාගත් භූමියේ ගසක් කැපීමට පෙර ඒ ගසේ අධිගෘහිතව සිටි රත්නමාලි නම් දෙවඟනට වෙනත් ගසකට යන්නැයි ආයාචනා කළ බව සඳහන් වේ.

සම්පූර්ණයෙන්ම පරිසරයට අනුගතව නිර්මාණය වී ඇති වාස්තු විද්‍යාවේද ගස්වැල්වල සුබාසුබ ගැන පෙන්වා දී ඇත. එහිදී ගෙමිදුලේ, ගෙවත්තේ රෝපණය කළ යුතු මල් වර්ග, ගස්වැල් මෙන්ම ඒවා සිටුවිය යුතු දිශාවන්ද පෙන්වා දී ඇත. ඒවා නොසලකා හැරීමෙන් නොයෙක් විට කරදර, බාධක පවුලේ අඬදබර ආදිය ඇතිවිය හැකි අතර එම උපදෙස් පිළිපැදීමෙන් සතුට, සාමය, රජයන නිවසක් නිර්මාණය කරගත හැකි වේ.

‘විශ්වකර්ම ප්‍රකාශය’ ‘පලදාවලිය’ ආදී පුරාණ වාස්තු විද්‍යා ග්‍රන්ථවල සඳහන් වන්නේ ගෙවල් සෑදීමට පෙර ගස් වැවීම කළ යුතු බවයි. නගරයන් නිර්මාණය කරන විට ද පළමුව රුක් රෝපණය කර පසුව ගොඩනැඟිලි හා නිවාස ඉදිකළ යුතු බවද කියා තිබේ.

නිවස ඉදිරිපිට සුදුපාට මල්, රතුපාට මෙන්ම කටු සහිත රෝස, බෝගන්විලා වැනි මල් ගස්ද සුබ නොවේ. නිවසට ආසන්නවම කිරි සහිත ගස්, කටු සහිත ගස්, පල හටගන්නා ගස් ආදියද සිටුවීම අසුබදායකය. කිරි සහිත ගස්වලින් ධන හානියත්, කටු සහිත ගස්වලින් සතුරු බියත්, පල හටගන්නා ගස්වලින් තම නිවසේ දූ දරුවන්ට අසුබ පලත් ගෙන දෙයි. මෙවැනි ගස් නිවස ආසන්නයේ තිබේ නම් ඒවා කපා අස්කර දැමිය යුතුය. එම ගස්වල ලී දඬුද නිවස තුළට ගැනීම පවා අසුබ බව වාස්තු විද්‍යාවේ සඳහන් වෙයි.

මිදුලෙහි රත්මල් පඳුරක්, අන්නාසි පඳුරක් හෝ කිරි සහිත අරලිය ගසක් තිබීම නිවැසියන්ට නිතර ලෙඩ රෝග, අඹුසැමියන් අතර අඬදබර ඇතිවීමට හේතුවකි. ගෙමිදුලට අලංකාරය ගෙන දුන්නත් අඹ, ජම්බු වැනි ගස් ද නිවස ඉදිරිපිට වැවීම සුබදායක නොවේ. අඹ ගස් පල දරන කාලයේ පිරිමි දරුවන් හිතුවක්කාර, මුරණ්ඩු වන බවත්, අධික ලෙස ජම්බු ගස්වල පල දරන කාලයේ ගැහැනු දරුවන්ට අපල ගෙන දෙන බවත් වාස්තු විද්‍යාවේ සදහන් වේ.

නිවස ඉදිරිපිට විශාල අතු සහිත නුග, බෝ, මාර වැනි ගස් තිබීමෙන් එම නිවස තුළ යක්ෂ, ප්‍රේත ආදී අමනුෂ්‍ය දෝෂ ඇති වේ. බෝ ගස් නිවෙස් ආසන්නයේ තිබීම සුබ නැත. බෝ ගසක සෙවණැල්ල පූජා භූමියකට වැටීම යහපත් නමුත් නිවසකට එම ගසේ සෙවණැල්ල වැටීම අයහපත්ය. අඹුසැමි සබඳතා පවත්වන ස්ථානයන්ට දෙවියන්ට අයත් එම ගස්වල සෙවණැල්ල වැටීම ගෙහිමියන්ට අසුබ පල ඇති කරයි.

ගෙවත්තක පළමුවෙන්ම කොහොඹ, මූණමල්, දොඹ, කොස්, කෙසෙල්, ජම්බු, දෙල්, දෙළුම්, මිදි යන ගස් වර්ග සිටුවීම ඉතා සුබදායකය. ගස් අතර ඉතාමත් සුබ ශාකයක් ලෙස පිළිගැනෙන කොහොඹ ගසක් ගෙවත්තක තිබිය යුතුමය. එය ඖෂධීය ශාකයකි. ඉන් නිවැසියන්ට දීර්ඝායුෂ සහ වාසනාව හිමි වේ. එහි ඇති ඖෂධීය ගුණය ඉඩම පුරා පැතිරීම ඉතා සුබය. කොහොඹ ගසක් සුළඟට සෙලවෙන විට එය විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කරයි. දෙවියන්ගේ ලෙඩවලදී ආරක්ෂා කරන බැවින් කොහොඹ ගස දෙවියන්ගේ ශාක ලෙසද හඳුන්වනු ලබයි.

පිච්ච, දෑසමන්, දෙළුම් වැනි ගස් ගෙමිදුලට වඩාත් සුබදායකය. ඒවායින් ගෙමිදුලට අලංකාරයත්, මිහිරි සුවඳත් පැතිරෙන අතර ඖෂධීය වශයෙන්ද එම ශාක වැදගත් වෙයි. නිවස ඉදිරිපස ඒවා සිටුවීමෙන් නිවැසියන්ට අධික සැප ලැබේ. නිවස ඉදිරිපිට කෑල ගසක් සිටුවීමෙන් නිවැසියන්ට ආරක්ෂාවද, බෙලි ගසක් සිටුවීමෙන් නිවසට සිරිකත පැමිණීමද, පලොල් ගසක් සිටුවීමෙන් අධික සැපද, ඇට්ටේරියා ගසක් සිටුවීමෙන් සතුටද ලබාගත හැකිය. නිවස ඉදිරිපස මී ගසක් සිටුවීමෙන් නිවැසියන් ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමද, බුළු, මූණමල් සිටුවීමෙන් දැසිදස්සන් ලැබීමද සිදු වේ.

නිවස ඉදිරිපිට දුටුසතුටු පැළයක් සිටුවීමෙන් නිවැසියන්ට සතුට සම්පත ළඟාකර ගත හැකි අතර කෝමාරිකා පැළයක් සිටුවීමෙන් ඇස්වහ කටවහ නොවැදේ. නිවස ඉදිරිපිට අශෝක, දොඹ, සපු ගස් සිටුවීමෙන් නිවැසියන්ට වාසනාව ළඟා වේ.

නිවස අවට ගස් රෝපණය කළ යුතු හා නොකළ යුතු දිශා ඇත. නැඟෙනහිර ඇසටු, දකුණට පුලිල, බටහිර නුග සහ උතුරට අත්තික්කා යන ගස් හතර පිහිටීම ඉතා අශුභය. එමෙන්ම ඇසළ, කොහොඹ, අඹ, කෙසෙල් යන ගස් හතරද ඉහත දිශා හතරේ පිහිටීම ඉතා අශුභ බව ‘විශ්වකර්ම ප්‍රකාශයේ’ දක්වා තිබේ. තවද නැෙඟනහිරට ගෙඩි ඇති ගස්ද, දකුණට කිරි ගස්ද, බටහිරට ජල පැළෑටිද සතුරු බිය ඇති කරන බව දක්වා තිබේ. මෙම වෘක්‍ෂ වෙනත් දිශාවල සිටුවිය හැකිය.

එමෙන්ම ඒ ඒ ගස් වර්ග වැවිය යුතු දිශාද පෙන්වා දී ඇත. ඒ අනුව රතු හා සුදු මල් වර්ග දකුණු දිසාවේද, පුලිල, දිවුල් වැනි ගස් උතුරු දිශාවේද, නෙල්ලි, ඊසාන දිශාවේද, නුග නැඟෙනහිර දිශාවේද, දෙළුම් ගිනිකොන දිශාවේද, සියඹලා නිරිත දිශාවේද, ජම්බු නිරිත සහ දකුණු දිශා අතරද, කොස්, අඹ, ඊසාන, නැඟෙනහිර දිශා අතරද, කිරි සහිත ශාක වන කොස් සහ අඹ වැනි ගස් ඉඩමේ පිටුපසම කොටසේද සිටුවීම යහපත්ය.

ජ්‍යොතිෂවේදී වාස්තු විද්‍යාවේදී විදුහල්පති දැරණියගල, කපිල ඉන්ද්‍රික ගුණදාස

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division