Home » විවාහය ගැන කේන්දරෙන් හෙළිවන තොරතුරු

විවාහය ගැන කේන්දරෙන් හෙළිවන තොරතුරු

by thanushika
October 7, 2023 12:40 am 0 comment

විවාහය කෙනෙකුගේ ජීවිතයේ ප්‍රධාන කඩඉමකි. ඇතැම් අය විවාහය ‘පතාගෙන‘ එයි. ඇතැමෙකුට විවාහය අකැප වන අවස්ථාද ඇත. මෙලොව උපන් වේලාව අනුව සැකැසෙන කේන්දරයේ ග්‍රහ පිහිටීම් අනුව ස්ථානගත ජ්‍යොතිෂය ඔස්සේ කෙනෙකුගේ විවාහය ගැන බෙහෝ තොරතුරු කලින්ම දැනගත හැකි බව විශ්ව ශාස්ත්‍රඥ මියුරු සම්පත් ලියනගේ මෙවර සිළුමිණ – ඉසිවර ඔස්සේ හෙළි කරයි. කේන්දරයේ ග්‍රහ පිහිටීම් අනුව විවාහය ගැන බොහෝ තොරතුරු ඔහු හෙළි කළේ මෙලෙසිනි.

“විවාහය ගැන සඳහන් කරද්දී කේන්දරයේ කොටු 12න් 7වැන්න විවාහක ස්ථානය නැතිනම් ඒ පිළිබඳ මූලික ස්ථානයයි. 8වැන්න විවාහ කර්ම විපාකය ගැන කියැවෙන ස්ථානයයි. කර්ම විපාකය කියන්නේ සුබ හෝ අසුබ නැතිනම් පින හෝ පව ගැනයි. 8වැන්නෙන් සේම 2වැන්නෙන් සඳහන් වන්නේ සසර පුරා එන බැඳීමයි. 12 වැන්නෙන් කියැවෙන්නේ අදහස් අතර තිබෙන විශ්වාසයයි. කේන්දරයේ මෙකී ග්‍රහ පිහිටීම් මතයි විවාහය ගැන මූලික කාරණා කියැවෙන්නේ…එහිදී පළමු තැන 7වැන්න. දෙවැනි තැන 8වැන්න. තුන්වැනි තැන 2වැන්නට. 12වැන්නෙන් තමයි ‘පක්ෂි පොරොන්දම‘ හෙවත් අදහස් හුවමාරුව, කතා විලාසය, අවබෝධය සහ ආකල්ප දැරීම් වැනි දේ ගැන හෙළි වන්නේ.“

විවාහය ගැන කේන්දරයෙන් සඳහන් කරද්දී 100%ක්ම එක් පුද්ගල කේන්දරයක් හා තවත් කේන්දරයක් නොගැළපෙන බව මියුරු සම්පත්ගේ මතයයි.

“මේ ලෝකයේ මං වගේ ඉන්නේ මං විතරයි. ඔබ වගේ ඉන්නේ ඔබ විතරයි. නිවුන්නු ඉපදුණත් ඒ මේ ලෝකයට එන තත්පර ගාණේ, විනාඩියේ වෙනසටත් කලා ප්‍රමාණය කලා 180, 360, 720, 1008 වගේ විශාල ප්‍රමාණයක් වෙනස් වෙනවා. එසේ උපන් වේලාව අනුව පුද්ගල චරිත හාත්පසින්ම එකිනෙකාට වෙනස් වෙනවා.

විවාහ දෝෂ සොයා බලද්දී එම විවාහ දෝෂ කුමනාකාරයෙන් බලපාන්නේද යන්නත් සොයා බැලිය යුතුයි. විවාහයකදී දොස් බලපාන කාරණා කීපයක් තිබෙනවා. එම දොස් බලපාන ආකාරය සොයා ගන්නේ සාධක කීපයක් මතයි. පළමු සාධකය උපන් නැකැත් ගැළපීමයි. එය පොරොන්දම් ගැළපීම ලෙසත් හඳුන්වනවා. උපන් නැකත අනුව තමන්ට ගැළපෙන පුද්ගලයා කවුරුන්ද යන්න ජ්‍යොතිර්වේදියෙකුට අනාවරණය කළ හැකියි.

නැකැත් අතර ගැළපීමෙන් පොරොන්දම් 100%, 90%, 80%ක් ගැළපුණත් එය සාර්ථක විවාහයකට ප්‍රමාණවත් නෑ.

“පොරොන්දම් ගැළපුණාට අධිකරණවල දික්කසාද නඩු ඕනෑතරම්… එතැනදී ඇතැම් අය ජ්‍යොතිෂයේ වරදක්… ජ්‍යොතිර්වේදියා හොරෙක් කියමින් බණිනවා. ඒ නිසා නැකතට අමතරව, තිථිය, කර්මය, කර්ම අවකාශය, භවය, භව අවකාශය යන කොටස්ද ගැළපිය යුතුයි. මේ සියලු කොටස් ගැළපිය යුතුයි. නමුත් බොහෝදෙනෙක් මේ කොටස් ගැන ගැළපීමක් නොකර නැකත ගළපා විවාහයට සූදානම් වෙනවා. නැකත ගැළපීම සාම්ප්‍රදායික ක්‍රමයක්. ජනයාට සීමාවූ දෙයක්. නමුත් ඊට එහා ගොස් ගැළපිය යුතු දේ ගැනයි මා සඳහන් කළේ.“

මෙකී කාරණාවලට අමතරව විවාහයකදී ලග්නයට ලග්නය ගැළපීම ද සොයා බැලිය යුතුයි. ලග්නවල චර රාශි, තිර රාශි ලෙස කොටස් කීපයකි. උදාහරණයක් ලෙස ඇතැම් අවස්ථාවල කන්‍යා රාශියේ අයෙකුට කන්‍යා රාශියේ කෙනෙක් ගැළපෙන්නත් පුළුවන් නොගැළපෙන්නත් පුළුවන්. එය තීරණය කරන්නෙ උපන් හෝරාවට, උපන් නැකතට, තිථිය, කර්මය වැනි දේ අනුවය.

“හැබැයි පොදුවේ ජ්‍යොතිෂමය කරුණු කියද්දී ‘සම ලග්න දෝෂ‘ ගැන සඳහන් කරනවා. ඒත් ඇතැම් සම ලග්න විවාහකයන් ඉතාම සාර්ථක පවුල් ජීවිත ගත කරනවා.“ විවාහය තුළදී දරුවන් සහ දරු පල වැදගත්ම සාධකයකි.

“දරුවෝ මෙලොවට නිකම්ම නිකම් බිහිවෙලා වැඩක් නෑ. දියුණුවක්, පැවැත්මක් වගේම සාර්ථකත්වයක් තිබිය යුතුයි. ඒ වගේම දරුවන් සහ මාපියන් අතර මනා අවබෝධයක් තිබිය යුතුයි. දරුවන්ගෙන් මාපියන්ට වාසනාව ගෙන ආ යුතුයි. විවාහක කේන්දර පරීක්ෂාවේදී මේ ගැන බැලිය යුතුමයි. මං මේ කියන කාරණා එකී විවාහකයන්ට උරුම ද? දරු සම්පත් හිමි ද? දියුණුව තිබෙනවා ද? පැවැත්මක් තිබේ ද යන කාරණා ගැන.

මෙන්න මේ කාරණා ගැන සොයා බලද්දී 7 වැන්න සහ 2 වැන්න වැදගත්ම ස්ථාන. 7 සහ 2 වැන්නෙන් පැහැදිලිවම පෙන්නුම් කරනවා විවාහය තුළ දරුවන්ගේ අනාගතය පිළිබඳව.

එම නිසා විවාහ කේන්දර පරීක්ෂාවේදී පොරොන්දම් ගැළපීමට එහා ගොස් නැකත, තිථිය, කර්මය, කර්ම තලය, අවකාශය, අවකාශ තලයන් යන සියලු සාධක සොයා බලද්දී දරු පල තත්ත්වයන් ද පෙන්නුම් කරනවා.

“සමහර අවස්ථාවල ජ්‍යොතිර්වේදීන් හමුවන්නට එන අය අහනවා… විවාහ දෝෂ ඒකාන්ත ද? විවාහ දෝෂ පාලනය කළ හැකි ද? කියා. හතර කේන්දර බාධකය තමයි ලොකුම විවාහ දෝෂය. ඊට අමතරව කාල සර්ප යෝගය. හැබැයි කාල සර්ප යෝගය විවාහය දෝෂයක් නෙවෙයි. එය යෝගයක්. කාල සර්ප යෝගයේ ප්‍රභේද සාමාන්‍ය වශයෙන් 560ක්. පුළුල්ව විග්‍රහ කළොත් 1006ක්. අන්න ඒ ගැන කවුරුත් විශ්ලේෂණය කරන්නෙ නෑ. එයට හේතුව කාල සර්ප යෝගය නිසා ඇතැම් ජ්‍යොතිර්වේදීන් විවාහය තරමක් අවදානම් යන අසත්‍ය පවසනවා.

එය නොවෙයි සිදු විය යුත්තේ කාල සර්ප ප්‍රභේදය කුමක්ද කියා හඳුනාගෙන ඊට අදාළ පුද්ගලයා, ගැළපෙන ලග්නය, වෘත්තිය ගැනයි.

සාමාන්‍යයෙන් කෙනෙකු කේන්දරය රැගෙන පවුලේ දෛවඥයා හමුවට ගොස් මුලින්ම විමසිය යුත්තේ එම කේන්දරයට ගැළපෙන ලග්නයන් කුමක් ද? බාධා ගෙන දෙන ලග්නයන් මොනවා ද? එම කේන්දර හිමියාට ගැළපෙන වෘත්තිය කුමක් ද? ඊට අමතරව තම අාධ්‍යාත්මයට, තමන්ගේ සසරට ගැළපෙන චරිත ස්වරූපය කෙබඳු ද? යන්නය.“ එසේ සඳහන් කළ දෑ දැන ගැනීම සඳහා මූලික වශයෙන් සිදු කළ යුත්තේ ලග්නයෙන්, වෘත්තියෙන්, මාපිය පරිසරයෙන්, සෞඛ්‍ය තත්ත්වයන්ගෙන් සොයා බැලීමයි. තවද ලිංගිකත්වය සහ පැවැත්ම මෙන්ම මානසික සුව සහනය ද සොයා බැලිය යුතුය.

එම නිසා විවාහ ගැළපීම් සඳහා ජ්‍යොතිර්වේදියකු හමුවට යන්නේ නම් මෙකී කාරණා ගැන අවධානය යොමු කළ යුතුමය. විවාහය තුළ පාලනය කළ හැකි කර්ම මෙන්ම කළ නොහැකි කර්ම ද ඇති වග සිතේ තබා ගත යුතු බවත් එය මේ මිහිතලයේ සෑම විෂයකටම එක සේ බවත් එම නිසා ඇතැම්හු කෙතරම් කේන්දර ගැළපුව ද සසර පුරා වපුරපු දේ ඒකාන්තයෙන්ම විවාහ දෝෂය නම් එය පාලනය කළ නොහැකි බව ද හෙතෙම අවධාරණය කර සිටියේය.

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division