Home » ඔබ රජ කරවන රාජ යෝග

ඔබ රජ කරවන රාජ යෝග

by thanushika
October 7, 2023 12:39 am 0 comment

පැරණි ජ්‍යොතිෂ ග්‍රන්ථවල රාජ යෝග මහා ඉහළින් වර්ණනා කර තිබෙන්නේ රාජ යෝගයකින් උපන් තැනැත්තා ප්‍රසිද්ධ රජ කෙනෙකු වන බව සඳහන් කරමිනි. එම ග්‍රන්ථවල සඳහන් කර තිබුණ ද සෑම කෙනෙකුටම රජෙකු වීමට අපහසුය. මන්ද රජකමක් ලබන්නට රජ පවුලක උපත ලබන්නට අවැසිය. ලංකාවේ තත්ත්වය අනුව වුවද ජනාධිපති, අගමැති වැනි උසස් දේශපාලන තත්ත්වයක් ලැබීමට නම් උසස් පවුලක උපත ලබා තිබිය යුතු බවක් බොහෝ අවස්ථාවල පෙනෙන්නට තිබෙන සත්‍යයයි. නමුත් සාමාන්‍ය පවුලක උපන් කෙනෙකු නම් රජකම කෙසේ වුවත් රජයේ පාලන තනතුරක් වන ග්‍රාම සේවක තනතුරක් වැනි පදවියක් ලබන්නට පුළුවනි. නමුත් ඉතා කලාතුරකින් යෙදෙන ප්‍රබල රාජ යෝග නිසා සාමාන්‍ය පවුල්වල අය පවා ජනාධිපති අගමැති මහ ඇමැති වැනි තනතුරු ලබා තිබෙන අවස්ථාද නැතුවා නොවේ.

යම් අයකුගේ කේන්දරය තුළ සඳු, බුධ, ගුරු, ශුක්‍ර වැනි සුබ ග්‍රහයන් කීප දෙනෙකු උච්ඡව සිටීමෙන් රාජ යෝග උදා කරන අතර ග්‍රහයන් කීප දෙනෙකු මූල ත්‍රිකෝණව සිටීම රජයේ පරිපාලන සේවයේ නියුතු නිලධාරීන්ගේ කේන්දරවල දැකිය හැකි පිහිටීමකි. ග්‍රහයන් හතර දෙනෙකු ස්වක්ෂේත්‍රව සිටීම මඟින් පරිත්‍යාගශීලී ධනවත් නායකයන් සේම දක්ෂ කෘතහස්ථ පරිපාලන නිලධාරීන්ද බිහි කිරීමට මෙම යෝගය සමත් වේ. කේන්දරයක නව වැනි භාවයේ අධිපති ග්‍රහයා 5 වැන්නේ නම් පස්වැන්න අධිපති ග්‍රහයා නවවැන්නේ සිටීම විපරීත රාජ යෝගයක් ලෙස හඳුන්වයි. බොහෝ දක්ෂකම් ඇති නායකයන් මේ නිසා බිහිවන අතර ඔවුන් ධාර්මික පාලකයන්ද වේ.

දසවැන්න අධිපති ග්‍රහයා 05 වැන්නේත් 04 වැන්න අධිපති ග්‍රහයා 10 වැන්නේත් සිටි විට ජනතාව අතර ජනප්‍රිය වන රජකු හා සමාන නායකයන් බිහි වේ. 09 වැන්න ධනු හෝ මීන රාශිය වී 10 වැන්නේ ගුරු තැන්පත්ව සිටීමෙන් දක්ෂ ඥානවන්ත පාලකයන් බිහිවන අතර සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා හා සඳු ග්‍රහයා කටක ලග්නගතව පස්වැන්නේ සිටීමෙන් ධර්මිෂ්ඨ පාලකයන් ඇති කරයි. ලග්නය 4 වැන්න 7 වැන්න සහ 10 වැන්න අධිපති ග්‍රහයකු සමඟ රවි සංයෝග වීමෙන් කීර්තිමත් ධනවත් රාජ්‍ය නායකයකු වීමේ ගෞරවය හිමි වනවා. සතර කේන්දර අධිපති ග්‍රහයන් ත්‍රිකෝණාධිපති ග්‍රහයන් සමඟ සංයෝග වීම ද රාජ යෝගයකි. සතර කේන්දරය යනු 1, 4, 7, 10 යන ස්ථානයන්ය. ත්‍රිකෝණ ස්ථාන යනු 1, 5, 9 යන ස්ථානයි. මකර කුම්භ දෙකෙන් එක් රාශියක් පස්වැන්න වී එහි ශනි, බුධ යෝගයක පැවතීම ධනවත් පාලකයන් බිහි කරන යෝගයකි. 05 වැන්න සිංහ රාශිය වී රවි එහි සිටීමත් 11 වැන්නේ ගුරු සිටීමත් එවැනිම ධනවත් පිරිපුන් නායකයන් බිහි කරන්නකි. එසේම ධනු, මීන රාශි දෙකෙන් එකේ පස්වැන්න වී එහි ගුරු, කුජ, බුධ 11 වැන්නේද සිටීමෙන් රජුන් මෙන් කිර්තිනාමයක් දිනු පුද්ගලයන් බිහි වෙනවා ඇත. ලග්නය සිංහ වී එහි රවි, ගුරු, කුජ සිටීමෙන් ධනවත් නායකයන් බිහි කරනවා.

ඔන්න ඔහොම තමයි රාජ යෝග බිහිවන්නේ. රාජ යෝග මඟින් බිහි කරන රජවරුන්, නායකයන්, පරිපාලකයන්, මැති ඇමැතිවරුන් ආදීන්ට අමතරව රාජ්‍ය සේවයේ ලිපිකරුවන්, ග්‍රාම නිලධාරීන්, පරීක්ෂකයන්, විමර්ශන නිලධාරීන් ආදී තනතුරු අත්වෙන්න රාජ යෝග මඟින් ලබා දෙන නිලතලවලට ග්‍රහයන් සිවු දෙනෙකු දිග්බලව සිටීමෙන් රජයේ මාණ්ඩලික ශ්‍රේණියකට උසස් වීමට පුළුවනි. ග්‍රහයන් තිදෙනෙකු දිග්බල වූ විට අංශභාර නිලධාරීයකු වීමේ හැකියාව තිබේ. ග්‍රහයන් දෙදෙනකු දිග්බල වීමෙන් ලිපිකරු, ග්‍රාම නිලධාරී, පරීක්ෂණ, විමර්ශන නිලධාරීන් වැනි රාජ්‍ය සේවයේ තනතුරක් ලැබීමට හේතු වේ. දිග්බල ග්‍රහ පිහිටීම් රාජ යෝගයක් ඒ ඒ ග්‍රහයා දිග්බලතාව ලබන ස්ථාන අනුව පහත පරිදි සඳහන් කළ හැකිය.

ගුරු – බුධ – ලග්නයට දිග් බලයි
රවි – කුජ – දසවැන්නට දිග් බලයි
ශනි – සත්වැන්නට දිග් බලයි
ශුක්‍ර – චන්ද්‍ර – සතර වැන්නට දිග් බලයි

රාජ යෝගයක් යෙදුණු පමණින් සියලු දෙනාටම රජ වීමට නොහැකි බව මේ අනුව පැහැදිලි වේ.

නමුත් කලාතුරකින් යෙදෙන රජකම උරුම කරන ප්‍රබල ග්‍රහ යෝගයක් ගැන ශ්‍රීමත් ජවනාථයන් පවසා ඇත්තේ පහත පරිදිය.

යදි තුලා මකර රාජ කුලිරතේ
රවි බුධඃ සකලා විලසන්ත වෙත්
ඉහත චතුෂකට හොඳයි සංඥතඃ
සුර පතෙඃ සමතං තනුතෙ තෘණමි

මේ ශ්ලෝකය අනුව යමෙකුගේ කේන්දරයේ රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර යන ග්‍රහයන් තුළ මකර, මේෂ, කටක යන රාශිවල යෙදුණේ නම් එම ජන්මියා සසර සයුර සීමා කොට රජ වන බවට දක්වා ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී උපුල් ජයශ්‍රී ද සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division