Home » ඕනෑම සුබ වැඩක් හරියටම හරියන්න කිරි ඉතිරෙන ප්‍රබල නැකතක් හදාගන්නේ මෙහෙමයි

ඕනෑම සුබ වැඩක් හරියටම හරියන්න කිරි ඉතිරෙන ප්‍රබල නැකතක් හදාගන්නේ මෙහෙමයි

by thanushika
October 7, 2023 12:36 am 0 comment

නැකත් ශාස්ත්‍රය අපේ සංස්කෘතිය සමඟ බද්ධ වී ඇත්තේ ගහට පොත්ත සේය. ඒ තරමට නැකත් ශාස්ත්‍රය පිළිබඳව විශ්වාස නොකරන අයකු සමාජයෙන් සොයා ගැනීමට නැති තරම්ය. නැකත් විශ්වාස නොකළත් ඇතැමුන් අඩුම තරමේ රාහු කාලය පිළිබඳව හෝ විශ්වාසය තබා එදිනෙදා කටයුතු සිදු කරන බව පෙනී යන කරුණකි. පුරාණයේ අපේ මුතුන්මිත්තන් නැකත් කටයුතු අකුරටම සිදු කළ වග පුරාණ කට වහරේ ඇත. ඊට හොඳම නිදසුනක් වන්නේ කෝට්ටේ යුගයේ විසූ පඬිවර තොටගමුවේ රාහුල හිමියන් ඕනෑම කාරණාවකදී නැකත අනුගමනය කළ බව ජන වහරේ පැවැතීමයි. උන්වහන්සේ නැකත් ගණනය කළ අපුරු ක්‍රමවේද පිළිබඳවද ඉපැරණි ග්‍රන්ථවල සටහන් වී ඇත.

දරුවකු ඉපදුණ වහාම වත්තේ ඇති කෙසෙල් ගස කපා එහි බොඩය ඇදෙන තරමට දරුවාගේ වේලාව ගණනය කළ බවත් ඒ වේලාව අනුව ‘සරමක්’ හෝ ‘චීත්තයක්’ යනුවෙන් දක්ෂ ජ්‍යොතිර්වේදියා ප්‍රකාශ කර ඇති බවත් සඳහන්ය. සරමක් යනු පිරිමි දරුවකු ද චීත්තයක් යනු ගැහැනු දරුවකු යන්න එහි අදහස විය. මේ නැකත් හරියටම ගළපා ගන්නේ කොහොමද යන්න විමසා බලමු.

එදා රජ දවස නැකත් රාල නැකත් හැදුවේ අරුම පුදුම විදියටය. වැව්, පොකුණු, මහ සයුර පරදවන ආකාරයට බැන්දේ නැකතේ බලයෙනි. ඉර හඳ පවතින තුරු එම වැව් පොකුණු එලෙසම පවතී. කලා වැව, පරාක්‍රම සමුද්‍රය ආදී වැව් ජලාශ උදාහරණ ලෙස සැලකිය හැකිය. ඒ වගේම රජවරු යුද්ධ ආරම්භ කළේ ද නැකතකටය. එම යුද කටයුතු සතුරාට පරාජය අත්කර දුන්නේය. දාගැබ් වෙහෙර විහාර තැනුවේ ද නැකත් අනුවය. අභිෂේක මංගල්‍ය පැවැත්වුණේ ද නැකතටය. නැකත මිනිසා බැබළවිය හැකි මහා බලයක් ඇති සත්‍ය වූත් ඉතා නිවැරදි වූත් ජ්‍යොතිර්වේදය අනුව ඉතා සත්‍ය ක්‍රියාදාමයක් බව මම හොඳින්ම අත්හදා බලා ඇති හෙයින් එයින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට ඉසිවර පාඨක ඔබගේ ප්‍රයෝජනයට ද එය ලබා දීම සුදුසු යැයි සිතුවෙමි.

සෑම සුබ දෙයකටම නැකත් ඇත. පුරාණයේ ඉතා බහුලව නැකත් අනුගමනය කළේ ගොවිතැන් වැඩටය. ඒ එකල කෘෂිකාර්මික ජීවන රටාවක් රට පුරාම තිබූ නිසා විය හැකිය. සාමාන්‍ය ජ්‍යොතිර් කටයුතුවලදී දවස උදා වූයේ යැයි ගණනය කරන්නේ ක්ෂිතිජයෙන් සූර්යයා මතු වීමත් සමඟය. භාවිතයේදී ඉංග්‍රීසි පැය භාවිත කළද ජ්‍යොතිර්වේදය අනුව භාවිත කරනු ලබන්නේ සිංහල පැයයි. එසේ නොමැතිනම් ලිත් පැයයි. ස්ත්‍රී පුරුෂ වශයෙන් ග්‍රහ වස්තුන් නම් කර ඇත. මෙයද නැකත් සෑදීමේදී සැලකිලිමත් විය යුතු කරුණකි. නැකත් සෑදීමේදී ප්‍රධාන වශයෙන් චන්ද්‍රයාගේ හැසිරීම පිළිබඳව ගණනය කැරේ. පෘථිවියේ සිට චන්ද්‍රයා සිටින ප්‍රදේශය නැකතය. අති ප්‍රබල නැකත් සාදා ගැනීමේදී දක්ෂ ජ්‍යොතිර්වේදියාට අපරිමිත වෙහෙසක් දැරීමට සිදුවේ. නැකත ප්‍රබල නම් කළු ගලක වුවත් පොල් සිටුවිය හැකි බව වහරේ එයි. සුබ නැකතකට ද තප්පරයෙන් සීයෙන් පංගුව වැදගත් වේ. අපි උදාහරණ ලෙස ගතහොත් යම් නැකතකට පහනක් දල්වන්නේ එම සුබ නැකැත් වේලාවටය. බොහෝ අය එම නැකත් වේලාවේදී දල්වන්නේ පහන නොව ගිනිකූරය. එවිට නැකත පසු වී යයි.

සුබ වේලාව ඒ වන විට ඉක්ම ගොසිනි. මේ ගැනත් හැමදෙනා සිතිය යුතුය. නැකත අති ප්‍රබලය. විශ්වයේ පවතින ග්‍රහ තරුවල හැසිරීම පිළිබඳව මනා අවබෝධයෙන් සිට නිරවුල් සිතින් යුතුවම නැකත් සෑදීම කළ යුතු කාරණාවකි.

යුද ජයග්‍රහණය, සතුරු මර්දනය, වශී කර්ම, ඕනෑම සැප සම්පතක් ලබා ගැනීමට, නොදෙන ණය මුදල ලබා ගැනීමට, ණය මුදලක් ගැනීමට, ගොවිතැන් වැඩට, යානවාහන මිලදී ගැනීමට, ගිවිසුම් ගතවීමට, විවාහ අත්සන් තැබීමට, පෝරු චාරිත්‍ර, අකුරු කියවීම, ඉඳුල් කට ගෑම, කන් විදීම, මුල් ගල් තැබීම, වහල ලී තැබීම, ගෙට ගෙවැදීම, ඉඩම් මිලදී ගැනීම, ලොතරැයි මිලදී ගැනීම, රැකියා ආරම්භ කිරීම, නම් තැබීම, නඩුහබ ජය ගැනීමට ආදී වශයෙන් මෙකී නොකී නැකත් අවස්ථා සිය ගණනකි. ජ්‍යොතිර්වේදියකු නොවන ඔබට එදිනෙදා වැඩ කටයුතුවලදී ඉතාම සරලව භාවිත කිරීමට හැකි නැකත් ද පවතින බව මෙහිලා සඳහන් කළ යුතුම කරුණකි. ඔබ ඔබගේ ජීවිතයේදී යම් ආකාරයකින් නැකත් ශාස්ත්‍රය පිළිබඳව අවබෝධයෙන් සහ විශ්වාසයෙන් යුතුව පිළිවෙත් පුරන්නේ නම් ඔබ රජකු නොවුණත් රජකු සේ ජීවත්වීමේ හැකියාව පවතින බව මාගේ විශ්වාසය හා අත්දැකීමයි.

සියලු නැකත් පිළිබඳව මෙහිලා සඳහන් කිරීමට අපහසු වුවත් ඔබට යම් අවබෝධයක් ලබා ගැනීම සඳහා උදාහරණ වශයෙන් සරලව ක්‍රමවේදයක් දක්වන්නම්.

සාමාන්‍යයෙන් යමෙකු රැකියාවක් සඳහා විදේශ ගතවනවා යැයි සිතමු. ඔහු හෝ ඇය එම ගමන නිවසින් මා, සා, දෙට, විසා, බෙරණ, අද, පුස, අස්ලිස, කැති වැනි නැකතක් ක්ෂිතිජයේ පවතින මොහොතක පිටව ගියහොත් ඔහුට හෝ ඇයට රැකියාව හෝ අධ්‍යාපනය සිතූ ආකාරයෙන් සිදු කළ නොහැකි වෙනවාමය. විදේශයේදී නොයෙක් පීඩා කරදර ඇතිවනවාමය. රෝග පීඩා පමණක් නොව මාගේ අත්දැකීම අනුව මරණයද අත්විය හැකිය. දැන් ඔබට අවබෝධයක් ඇති වනවා නේද නැකත්වල ඇති ආදීනව, එම නිසා කොපමණ හදිසියක් තිබුණද එම නැකැත් සමූහය හල යුතුමයි. නිවසකට ගෙවිදීමට කිරි ඉතිරි වීමට ඉතාම සුබ නැකත වන්නේ දුෂ්කර යෝගයයි. නිවසට ගෙවදීමට කිරි ඉතිරි වීමට මෙම යෝගය අල්ලා නැකත් සෑදීම ඉතාම සුබ වේ. නැකතේ මැදට පවතින විනාඩි දහයක් මැදට ගෙන බෙදා වෙන්කර මැද තප්පරයේ දහයෙන් පංගුවකදී වැඩ ඇරඹීම කිරි ඉතිරි වීමට සමගාමීව කළ යුතුය. එම නිවස පරම්පරා 7ක් පවතී. නව යුවතිපතීන් නම් ඔවුන්ට ඉතා තේජවන්ත දරුවෝ උපදී. සියලු ඇස්වහ කටවහ දුරුව යයි. හදි හූනියම් භංගවේ. නිවසේ සතුට සමාදානය ඉතිරි යයි. දියුණුවේ ඉහළටම යයි. රන්, රිදී, මුතු, මැණික්, යානවාහන, ධන ධාන්‍ය පිරී ඉතිරි යයි. දක්ෂ ජ්‍යොතිර්වේදියා අවබෝධයෙන් යුතුව නැකත සාදන්නේ නම් ඉහත සියල්ල සිදුවන බව මාගේ අත්දැකීමයි. ඊළඟට අපි සලකා බලමු විද්‍යා කටයුතු ආරම්භය සඳහා විශේෂිත ගුණ දෙන නැකතක් සාදා ගන්නේ කොහොමද කියා. ඕනෑම මවකගේ, පියකුගේ එකම බලාපොරොත්තුව තම දරුවන්ය. ඒ නිසාම තම දරුවන්ට අධ්‍යාපනය ලබා දීම ඔවුන්ගේ එකම අරමුණයි. ඉතාම ප්‍රබල සරස්වතී යෝගයකින් විද්‍යා කටයුතු ආරම්භය සිදු කළ යුතුය. සාමාන්‍යයෙන් ‘විද්‍යා කටයුතු’ පිළිබඳව සලකා බැලීමේදී කුඩා දරුවන්ට අකුරු කියවීම, පොතපත ලිවීම, තිර රචනා කිරීම, මුහුරත් ආරම්භය, සංගීත කලා කටයුතු, නිෂ්පාදන කටයුතු, පොතපත සම්බන්ධ ව්‍යාපාර කටයුතු ආදී ශාස්ත්‍රීය සහ කලා කටයුතුවලදී මෙම යෝගය ඉතාම වැදගත්ය. දින වශයෙන් බැලීමේදී අති පුරාණයේ සිටම භාවිතයට ගෙන තිබෙන්නේ ගුරු දිනයි. ගුරු දිනයේදී අකුරු කියවීම ද සිකුරු දිනයේදී කලා කටයුතු ද බුධ දිනයේදී උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඉතාම උතුම් වේ. මේ දිනවල යෙදෙන සරස්වතී යෝගයෙන් ඉහත සියලු කටයුතු ආරම්භයේදී උසස්ම තත්ත්වයට පත්වනවාමය. අදාළ යෝගයෙන් නැකත් සෑදීමට පාරම්පරික උතුම් ජ්‍යොතිර්වේදියා ගුරු මුෂ්ටි ප්‍රයෝජනයට ගෙන ඇති අයුරු දක්නට ඇත. එවන් නැකත්වලින් ලැබෙන යහපත් ප්‍රතිඵල පිළිබඳව ලිවීමට හෝ කීමට නොහැකි තරම්ය.

තවත් සමාජයේ ඉතාම වැදගත් ලෙස සලකන නැකතක් ලෙස විවාහ මංගල නැකත් ගැනේ. විවාහ නැකත් සැදීමේදී ද ඉතාම සුපරීක්ෂාකාරී විය යුතුමය. විවාහ නැකත් සෑදීමේදී විශේෂයෙන් අවධානය යොමු කළ යුත්තේ ස්ත්‍රී කේන්දරය පිළිබඳවය. සමහර විවාහවලදී නැකත් සාදා පොරොන්දම් බලා විවාහ වුවද ඉතාම කෙටි කලකින් විවාහය බිදී යන අවස්ථා අපි දැක ඇත්තෙමු. විවාහයේ ප්‍රධාන නැකතක් ඇත. සාමාන්‍යයෙන් බුලත් දීමේ සිට නැකත් රාශියක් සාදන බව පෙනී යන කරුණක් වුවත් විවාහ නැකත්වලදී වැදගත්ම නැකත වන්නේ පෝරුවේදී දෑඟිලි බැඳ අත්පැන් වත්කරන නැකතයි. අත්පැන් වත්කරන නැකතේ පාපකර දෝෂ පැවතියහොත් ඒකාන්තයෙන්ම යුවතිපති දෙදෙනාගේ විවාහය කැඩී බිඳී යයි. විවාහය අවුල් වීම, දරුවන් මියයෑම, වාද විවාද මැද දිවි ගෙවීම සිදු වේ.

එම නිසා බොහෝ කල්පනාවෙන් විවාහ නැකත් සෑදීම කළ යුතු අතර, අත්දැකීම් බහුල අයකු ලවා එය සිදු කරවා ගැනීමට වග බලාගත යුතුය. ඕනෑම පළපුරුදු දක්ෂ පාරම්පරික දැනුම අති ජ්‍යොතිර්වේදියකුට වුවත් අඩුම තරමේ දින 7ක කාලයක්වත් මේ සඳහා ගත වේ. මන්ද සාදන ලද නැකතේ තත්කාල කේන්දරයේ ලග්නයේ හෝ හතේ අටේ දුබල පාපියකු එම නැකත් වේලාවේ සිටියහොත් දෙදෙනා උසාවි ගොස් වෙන්වෙනවාමය. පාප ග්‍රහයකුගේ නැකත මොහොතේ දුෂ්ටි ලැබුවහොත් මාස 03 දින එකොළහක් තුළ වෙන් වෙනවාමය. එම නිසාම විවාහ නැකත් පිළිබඳව පූර්ණ අවධානය යොමු වීම ඉතාම වැදගත්ය.

ඊළඟට අපි ප්‍රධාන වශයෙන් සිතිය යුතු කාරණාවක් වන්නේ නම් තැබීමයි. අලුත උපන් දරුවකුට ව්‍යාපාරයකට නම් හරියට තැබුවොත් හරියටම හරිය. මෙම නම් තැබීමේදී ගණය බැලිය යුතුය. ගණය ලෙසට සලකන්නේ මුල් අකුරු තුනය. ගණ පිහිටුවා නැකත අනුව තබන නම් පුද්ගල හෝ ව්‍යාපාර කීර්තියෙන් කීර්තියට පත් වෙනවාමය. පරම්පරාවෙන් පරම්පරාවට අති දීර්ඝ කාලයක් මෙම නම් රැව් පිළිරැව් දෙනු ඇත. ව්‍යාපාර ලාභ කීර්ති පුද්ගල දියුණුව අභිමානය නිසැකවම අත්වනු ඇත. දරුවකුට නම තබා නිසි නැකත සාදා ඔහුගේ හෝ ඇයගේ කනට ළංවී එම නම නැකත් වේලාවට තුන් වරක් කියවිය යුතුය. උදාහරණ ලෙස ගතහොත් “ඔබ සිරිසේන ඔබ සිරිසේන ඔබ සිරිසේන” යනුවෙන් කිව යුතුය. නම නැකත අනුව තබන්නේ එසේය. ව්‍යාපාරයකදී වුවත් එසේ පීත්ත පටි කැපීම නොව නැකතට පහන දල්වා පහනේ දැල්ල දෙස නෙත් යොමා ව්‍යාපාර නාමය තුන් වරක් නැකතට අනුව හඬ නඟා කිව යුතුය. එම ව්‍යාපාර දිනෙන් දින දියුණු වේ. අදායම් ලාභ කීර්තිය සම්මාන ගෞරවය ඒකාන්තයෙන්ම ලැබෙනු අත.

ඉර හඳ පවතින තුරු ජලය පැවතීමට ළිං කැපීම ඇළවේළි අමුණු සෑදීම සඳහා නැකත් සෑදීමද ඉතා සුපරික්ෂාකාරීව කළ යුතුය. වතුර උතුරන්න ළිං කැපීමේදී දස දහසක් දෝෂ භංග වන නැකත් සාදා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. සාමාන්‍යයෙන් තම සේවාදායකයා නැකත් සාදා ගැනීම සඳහා තමා වෙත ආරාධනාව රැගෙන එන මොහොත සටහන් කර තත්කාලය සාදා ගැනීම ද කළ යුතු අතර, මෙය පරම්පරාවේ ගුරු මුෂ්ටි වශයෙන් පවතින කරුණකි. සාමාන්‍යයෙන් බ්‍රහස්පති ග්‍රහයා දෙවියන්ටත් සුරගුරු ලෙස හඳුන්වා දී ඇත. සියලු සුබ සැප සම්පත් ගුරු ග්‍රහයා ලබා දෙන බව විශ්වාසයයි. බ්‍රහස්පති ලග්නයේ නම් සියලු සුබ කටයුතුවලදී සියලු දෝෂ භංග වේ. නන්දා අමෘත සිද්ධි සාධක යෝග අල්ලාගත හොත් සියලු යහපත මිස අයහපත නොවන්නේය.

නැකත් සෑදීමේදී ඉතා සියුම් කල්පනාකාරිත්වය මෙන්ම පරිසරය නිසල වීම ජ්‍යොතිර්වේදියකුට තිබිය යුතු කාරණාවකි. පුර අව රාහු කාලය මරු සිටින දිසා පංච පක්ෂ හෝරා දින හෝරා ක්ෂිතිජයේ පවතින නැකත් ජන්මියා මහ දශා අතුරු දශා වී දශා ග්‍රහයන්ගේ හැසිරීම, පෘථිවිය පරිභ්‍රමණය ආදි මෙකී නොකී සියල්ල පිළිබඳව අනිවාර්ය අවධානය යොමු කළ යුතුය.

කිරි ඉතිරෙන අනාගතයකට ජයග්‍රහණයට නැකත ඉතාම බලවත්ය. නැකැත හරි නම් ජීවිතයම හරිය. ඔබගේ උපන් කේන්දරයේ මොනතරම් බාධක තිබුණත් ඔබගේ අනාගතයේ සුබසිද්ධිය තකා ගන්නා වැදගත් ක්‍රියාමාර්ගවලදී නැකත අනුගමනය කරන්නේ නම් ජීවිතයම ගොඩ යයි වැරදුණ තැන් නැවත සාදා නැකතට ජීවිතයම ජයගන්න නැකතෙ බලය පිළිබඳව මේ ලිපියෙන් ඔබට යම් අවබෝධයක් ලැබෙන්නට ඇතැයි සිතමි.

ජ්‍යොතිර්විද්‍යා විශාරද කේ. එස්. එස්. යෝදින්ගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division