Home » සැප සම්පත් ගෙන එන සිකුරු චක්‍ර රේඛාව සහ මහා චතුරස්‍රය

සැප සම්පත් ගෙන එන සිකුරු චක්‍ර රේඛාව සහ මහා චතුරස්‍රය

by thanushika
October 7, 2023 12:34 am 0 comment

මෙවර ඉසිවර කලාපයෙන් හඳුන්වා දෙන්නේ අල්ලේ පිහිටන තවත් සුවිශේෂි රේඛාවන් දෙකක් පිළිබඳවයි. ඒ සිකුරු චක්‍ර රේඛාව සහ මහා චතුරස්‍රයයි. මේ රේඛා බොහෝ දෙනකුගේ අත්වල දක්නට නොලැබුණත් එම රේඛා පිහිටා ඇත්නම් එය පුද්ගලයාගේ චරිතය පිළිබඳව තේරුම් ගන්නට හැකි සාක්ෂියක් ද වෙයි. ඉංග්‍රීසියෙන් මෙම රේඛාවට කියනුයේ ගර්ඩ්ල් – ඔෆ් වීනස් කියාය. සිකුරු වළල්ල ශුක්‍ර මේඛලාව, අනංග දුන්න නමින්ද හඳුන්වන්නේ මෙම රේඛාවයි.

දබර ඇඟිල්ලත්, මැද ඇඟිල්ලත් අතර ඇති ප්‍රදේශයෙන් ආරම්භ වන සිකුරු චක්‍ර රේඛාව අර්ධ කවාකාර හැඩයෙන් යුතුව වෙද ඇඟිල්ලටත්, සුළැඟිල්ලටත් අතර ඇති ප්‍රදේශයෙන් අවසන් වෙයි. සමහර අතක ගුරු මණ්ඩල හෝ ශනි මණ්ඩලය ආශ්‍රයෙන් ආරම්භ වන මෙම රේඛාව බුධ මණ්ඩලය ආශ්‍රයෙන් අවසන් වීමට ද පුළුවන. සිකුරු චක්‍ර රේඛාවේ සාමාන්‍ය පිහිටීම රූප සටහනින් හඳුනාගන්න.

සිකුරු චක්‍ර රේඛාව පිළිබඳව නොයෙකුත් වීදිහේ මතභේද ඇති බව පළමුකොටම අපි මතක තබා ගත යුතු දෙයක් වෙයි. අධික කාමාශාවන්ගෙන් යුතු අයගේ අත්වල බොහෝ විට මෙම රේඛාව දර්ශනය වෙයි. සිකුරු රස කාමයට අධිපති ග්‍රහයා වන අතර චන්ද්‍රයා හෙවත් සඳු සිතට මෙන්ම සකල භෞතික පදාර්ථයන් කෙරෙහි බලපාන ග්‍රහයාය.

මේ අනුව සැලකීමේදී සිකුරුගෙයි, චන්ද්‍රයාගෙයි ගතිගුණ සිකුරු චක්‍ර රේඛාව සම්බන්ධයෙන් අගේට ගැළපේ. සිකුරු චක්‍ර රේඛාව විස්තර කරන්නට පළමු එම අයගේ සිකුරු මණ්ඩලය හා චන්ද්‍ර මණ්ඩලය පරීක්ෂා කිරීමට සිදු වන්නේ එනිසාය. මනාව උස්ව පිහිටි සිකුරු මණ්ඩලයක් හා චන්ද්‍ර මණ්ඩලයක් ඇති අතක සිකුරු චක්‍ර රේඛාවකුත් පැහැදිලිව පිහිටා ඇත්නම් ඔහු හෝ ඇය සුපිරි තත්ත්වයේ මනාලයෙක් හෝ මනාලියක් වන බව ඔබට තේරුම් ගත හැකිය.

සිකුරු චක්‍ර රේඛාව තරුණ වියේදී ක්‍රියාත්මක වන රේඛාවක් බව ලෝක ප්‍රසිද්ධ හස්ත රේඛා විශේෂඥවරියක වන කැතරින් සැන්ටි හිල් මැතිනිය විසින් ප්‍රකාශ කර ඇත. මනා හැඩයෙන් හා මනා වර්ණයෙන් පැහැදිලිව සටහන් වී ඇති සිකුරු චක්‍ර රේඛාව වඩාත් සුබ පල දෙන පිහිටීමකි. නොයෙකුත් කලා විෂයන් කෙරෙහි දක්ෂතා දක්වන සිකුරු චක්‍ර රේඛාව හිමියන්ට විසිතුරු භාණ්ඩ නිෂ්පාදනයෙන්, සංගීත භාණ්ඩ නිෂ්පාදනයෙන් මෙන්ම සාප්පු බඩු නිෂ්පාදනයෙන්ද විශාල ලෙස ආදායම් මාර්ග සලසා ගැනීමට වාසනාව ඇත. ලිංගික විද්‍යාව පිළිබඳ පොත්පත් කියවීමට මෙන්ම රාගය දනවන චිත්‍රපට නරඹන්නටද රුචියක් දක්වන අයගේ අත්වලත් මෙම රේඛාව පිහිටිය හැකිය. සර්ව ශුභවාදී දෘෂ්ටිකෝණයකින් ජීවිතය දෙස බලන ඔවුන් විවිධත්වය හා විනෝදය නිතර අගය කරති. හොඳට ආදරය කිරීමට දන්න ඔවුන්ගේ යුග ජීවිතයද ඉතා වාසනාවන්තය.

කාගේ හෝ අතක සිකුරු චක්‍ර රේඛව සමඟ කීර්ති රේඛාවත් මනාව පිහිටා ඇත්නම් ඔහු හෝ ඇය ලේඛකයෙකු, සංගීතඥයෙකු, නළුවෙකු හෝ චිත්‍රපට නිෂ්පාදකයෙකු විය හැකිය. ඕනෑම දෙයක හොඳ සේම නරකද තිබිය හැකිය. ඒ ලෝක ස්වභාවයයි. සිකුරු වළල්ල ගැනත් සඳහන් කළ හැක්කේ එයයි. තැනින් තැන කැඩී හෝ කැපී ගිය සිකුරු චක්‍ර රේඛාව ඉතා අසුබය. සල්ලාල ක්‍රියාවලට යොමු වීමෙන් ධනය, තත්ත්වය වගේම ජීවිතයද විනාශ කර ගැනීමට හේතු වන පිහිටීමක් වශයෙන් එය හැඳින්විය හැකිය. ශනි මණ්ඩලයෙන් ආරම්භ වන මෙම රේඛාව බුධ මණ්ඩලයෙන් අවසන් වීම ද සුබ නොවේ. දුර්වල මෙම රේඛාවක් ඇති අයට බොහෝවිට ලිංගික ආබාධ ද ඇතිවිය හැකිය. ලිංගික තෘප්තිය ලැබීමේ අසීමිත ආශාව එයට හේතු විය හැකිය. එවැනි පිහිටීම් ඇති කාන්තාවන්ට ද ගර්භාශ රෝග ඇතිවිය හැකිය. සිකුරු චක්‍ර රේඛාව මත වැටෙන තාරකා ලකුණින් සමාජ රෝගවලදී ජීවිතය අඳුරු කරගත් ඒ පුද්ගලයා හඳුනාගත හැකිය.

විවාහ වීමට පළමු පෙම් සබඳතා ඇති කරගැනීම මෙම රේඛාව ඇති අයගේ චරිතයේ විශේෂ ලක්ෂණයකි. විවාහ වුවත් අනිසි සම්බන්ධතාවන් ඇති කරගැනීම ඒ අයගේ බලවත් ආශාවන් වෙයි. මෙවැනි ගතිගුණ නිසා ඔවුන්ගේ විවාහ ජීවිතයේ අවුල්, වියවුල් බොහෝ විට සිදුාවිය හැකිය. එසේ වුවත් වෙනත් සුබ පිහිටීම් අල්ලේ ඇත්නම් එවැනි දෝෂ භංග විය හැකිය. මෙය කියවන ඔබ බිරියක හෝ ස්වාමිපුරුෂයෙකු විය හැක. නැතිනම් පෙම්වතෙකු හෝ පෙම්වතියක වීමට ද පුළුවන. එසේ නම් එවැනි අයගේ අල්ලේ මෙම මනමාල වළල්ල වැටී තිබේද කියා පරීක්ෂා කිරීම ඔබට ප්‍රයෝජනවත් වේවි.

මහා චතුරශ්‍රය

හෘදය රේඛාවටත්, ශීර්ෂ රේඛාවටත් අතර ඇති ප්‍රදේශය මහා චතුරස්‍ර නමින් හඳුන්වයි. මෙම චතුරස්‍රය කෙනෙකුගේ අතක දැකිය හැක්කේ සුඛ රේඛාව හෝ කීර්ති රේඛාව පැහැදිලිව පිහිටි අත්වලය. සුඛ රේඛාව යනු ජීවන රේඛාව අවසානයේ සිට සුළැඟිල්ල මුල (බුධ මණ්ඩලය) දක්වා විහිදෙන රේඛාවයි. නැතිනම් වෙදැඟිල්ල මුල (රවි) දක්වා විහිදෙන කීර්ති රේඛාවයි. රූප සටහනින් එම රේඛා පැහැදිලි වනු ඇත.

The Quardrangle යන ඉංග්‍රීසි වචනයෙන් හඳුන්වන්නේ මහා චතුරස්‍රයයි. හෘදය රේඛාව හා ශීර්ෂ රේඛාව සරල සමාන්තරව ගමන් කරමින් මධ්‍යම ප්‍රමාණයෙන් නිර්මාණය වී ඇත. මහා චතුරස්‍රය ඉතාමත් සුබ පිහිටීමකි. ඕනෑම දෙයක් ගැන සාධාරණ තීරණයක් ගැනීමේ හැකියාව ඇති එවැනි අය පොදු ජනතාවගේ සිතුම් පැතුම් අගය කරති. පැහැදිලිව දර්ශනය වන මහා චතුරස්‍රයක් කාගේ හෝ අතක පිහිටියේ නම් ඔහු හෝ ඇය ඉතා වාසනාවන්තය. මහා චතුරස්‍රය ඉතා පටු නම් එමඟින් හෙළි වනුයේ පටු අදහස් ඇති අයෙකුයි. හදිසි තීරණ ගැනීම ඔවුන් තුළින් කැපී පෙනෙන ලක්ෂණයකි.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හිඹුටානේ පියතිලක ද අල්විස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division