Home » අනාගත අනාවැකි හරියටම කියන යාචකයා ගුරුවරයාට කී කතාව

අනාගත අනාවැකි හරියටම කියන යාචකයා ගුරුවරයාට කී කතාව

by thanushika
October 7, 2023 12:35 am 0 comment

සඳමාලි නිවසට කැඳවාගෙන එන කාලය කිට්ටු වෙමින් පවතින බවක් හැඟේ. මාටින් ගුරුන්නාන්සේ කරදුන් ගුරුකම නිසා නැන්දා සහ අප්පච්චි අතර තිබු ගැටුම නිරාකරණය වීමත්, සාමකාමීව එය විසඳා ගැනීමට හැකි වීමත් පිළිබඳව ගෙදර අයටද ඇත්තේ සතුටකි. අපේ විවාහය ලබන වසරේ සිදු කළ යුතු බවත් ඒ සඳහා අවශ්‍ය කරන නැකැත් මාටින් ගුරුන්නාන්සේ ලවාම සකස් කර ගැනීම හොඳ බවත් අප්පච්චි අම්මාට පැවසුවේ මටත් ඇසෙන පරිද්දෙන්මය.

මේ සතියේ සිකුරාදා සවසම මා නිවස බලා ආයේ සඳමාලිගේ සිත සතුටු කිරීමේම අදහසිනි. මාටින් ගුරුන්නාන්සේ ගැනත්, ඔහුගේ දක්ෂකම් ගැනත් මම සඳමාලිට අකුරක් නෑර පවසා ඇත්තෙමි. ඇයගේ ගෙදර අයත් ඒ ගැන දනී.

“දුව මට කීව පුතා ඒ පැත්තෙ ගුරුන්නාන්සේ කෙනෙක්ගෙන් ඉගෙන ගන්නවා” කියල ඔය කියනව වගේම දක්ෂයෙක් ඉඳල තියෙනව අපේ අම්මගේ ගමේ” ඒක මහ පුදුම කතාවක්, ඔහු කතාව කරගෙන යයි. මම ආශාවෙන් පුදුමයෙන් අසා සිටිමි.

ඒ පැත්තෙ ඉඳල තියෙනවා හිඟන මනුස්සයෙක්, ඔය මනුස්සයාට මුණ ගැහෙන අයට මිනිහා කියනවලු “මහත්තයා තව දවස් තුනකින් කකුලක් කඩා ගන්නව කියලා. වැඩේ කියන්නෙ ඒක ඒ විදිහටම වෙනවලු. අම්මගේ නංගි සුනීත පුංචිට දවසක් කීවලු හරියටම දවස් 7 කින් සහකාරයා ගෙදරට එනව කියලා. ඒකත් ඒ විදිහටම වෙලා. වැඩේ කියන්නෙ මිනිහා හොඳ ඒවට වඩා කියල තියෙන්නෙ නරක ඒවා. අනතුරු වෙන ඒවා, මැරෙන ඒවා, ඔය වගේ ඒවා අන්තිමට මොකද දන්නවද වෙලා තියෙන්නෙ ගමේ මිනිස්සු ඒ මිනිහව මග ඇරල, ඔය ගෙවල්වලින් ඉල්ලගෙන කාලා ඔහේ අම්බලමට වෙලා උන්නු මනුස්සයට අන්තිමට ගෙවල් වලින් උදවු කිරීම නවත්වලා ඇයි දන්නවද මිනිස්සු හිතල තියෙනව උන්දෑ කටවහ කාරයෙක් කියලා.ඔහු කතාව මදකට නවතයි. පුතා දන්නවද මොකද උනේ කියලා. ඔහු විට සපන ගමන්ම නැවත කතාව ඇරඹුවේය.

ඒ ගමේ ඉඳල තියෙනව ‘චන්ද්‍රසිරි’ කියල මනුස්සයෙක්. එයා අර මනුස්සයට කෑම බීම ඇඳුම් පැළඳුම් එහෙම දීල තියෙනවා. සැරින් සැරේ වගේම අන්තිමේ දිගටම කෑම බීම එහෙමත් දීලා තියෙනවා. මාර වැඩේ කියන්නෙ ඒ මනුස්සය අර චන්ද්‍රසිරිගෙන් දවසක් ඇහුවලු මහත්තය ශාස්ත්‍රයක් ඉගෙන ගන්න කැමතිද කියලා. ඔය චන්ද්‍රසිරි මහත්තයත් පුතා වගේම ඉස්කෝලෙ මහත්තයෙක්, ඉතින් එයා කීවලු හා කියලා. අර මනුස්සයට තිබුණු කටවහක් නැහැලු, එය දැනගෙන උන්නු ගණිත ශාස්ත්‍රයක් අනුව තමයි. එක එක්කෙනාට එක එක දේවල් කියල තියෙන්නෙ. කොහොම හරි චන්ද්‍රසිරි මහත්තය ඒ මනුස්සයගෙන් අර ශාස්ත්‍රය ඉගෙන ගෙන එයත් හරි හරියට දස්කම් දක්වල තියෙනවා.

“දෙන දෙයියෝ ගෙට ගෙනවිත් දෙනවා” කියන කතාවද නිකම්ම කීවක් නොවන බව හැඟේ. ජේන්හාමි ඉස්කෝලෙ නෝනාගේ අහඹු හමු වීම, මාටින් ගුරුන්නාන්සේ හමු වීම, කාලයක් පීඩා විඳි ගෙදර ඉඩමේ ප්‍රශ්නය විසඳී යාම, සඳමාලිගේ මගේ විවාහයට වහ වහා කටයුතු යෙදීම මෙන්ම කාලයක් බලාපොරොත්තුවෙන් උන් ශාස්ත්‍ර පිපාසය සංසිඳවීමට කරුණු කාරණා යෙදීම අහම්බයක් නොවන බව නම් හැඟේ. පෙර දිනක සඳමාලිට නුවර දළඳා වඳින්න එක්කරගෙන යාමට වූ පොරොන්දුව හෙට ඉටු කළ යුතු බැවින් වේලාසන නින්දට යාමට සිතුවෙමි. දළදාව වැඳ පුදාගත් අප දෙදෙනාම මාළිගාවේ උඩු මාලේ වියනේ ප්‍රස්ථාර කොට ඇතැයි කියන මාහැඟි ගාථා රත්නය භක්තියෙන් සෙමින් ගැයුවෙමු.

සංසාර සාරෝඝ විනීත ණීසං
සංණීත සාතං සුචිසාර ධිසං
සංධීරකං සොණ්ණ තනූ පලාසං
සංලාප දේසිං පණමේභි සාසං

සං සාභිගං කේවල මෝහ නාසං
සංනාහකං මාර රණේ විසේසං
සංසේවිතං දාසි මුදාර හා සං
සංහාර ධම්මං පණමේ සදාසං

සංදාසගං නාසික පාප නාසං
සං නාපධං සිං හත ඝෝර පාසං
සංපාර ගාමිං සුචිසාර වාසං
සංවාර සංඝං පණමෙ රසාසං

හොඳින් තෙරුවන් වන්දනා කළ අප දෙවියන්ට පින් දී ඉදිරි කටයුතු සියල්ල යහපත්ව, සාර්ථකව සිදු වේ යයි පැතුවෙමු. මාළිගාවෙන් එළියට පැමිණෙන විට මේ ගාථා රත්නය පිළිබඳ ඇය සමග මා කතා ක‌ෙළමි.

සඳා දන්නවද ඔයා මා එක්ක තරහ වෙලා හිටිය මාසයක් විතර සඳා මගේ මුහුණ බැලුවේ අමුතුවටය. ඔයාගේ වැඩ නිසානෙ ඒ “ඇය කීවේ සැහැල්ලුවෙන්ය. කෙසේ නමුත් ඒ දිනවල මට තිබු ප්‍රශ්න කරදර නිසා ඇය කෙරෙහි අවධානය දීමට නොහැකි වුණ බව සැබෑය. මා මගේ බාහිර ප්‍රශ්න ගැන ආනන්ද සමඟ පවසන විටක “උඹේ ප්‍රශ්න ඉක්මනට විසඳෙයි මං උඹට ගාථාවක් දෙන්නම්. උඹ හැමදාම බුදුන් වඳින බව මම දන්නවනෙ. ඉතින් බුදුන් වැඳල මේ ගාථාව 3 පාරක් කියපන්කො” ටික දවසක් යනකොට උඹටම තේරෙයි වෙනස” ඔහු මට ඒ ගාථාව ලබාදුන් අවස්ථාව පිළිබඳව මම සඳාට පැවසුවෙමි. ඇය ආදරයෙන් ගෞරවයෙන් මගේ අතින් අල්ලා ගත්තාය. “ඔය වගේම අපි වැරදියට කියන ආශිර්වාද ගාථාවක් තියෙනව අර නමස්කාර පාඨයේ අකුරු වෙනස් කරල කියන එක. මං ඒක ඔයාට පස්සෙ කියල දෙන්නම් මතක් කරන්න කෝ” මම ඇයට පැවසුවෙමි.

“අපි මාළුවන්ට පොරි එකක් අරන් දාමු” ඇය යෝජනා කළෙන් දෙවරක් නොසිතාම ඒ සඳහා ක්‍රියාත්මක වීමු. පොරි පැකට් කීපයක්ම මාළුවන්ට ආහාර පිණිස දමමින් ගත කළ සුළු කාලය මනසට ලොකු විවේකයන්ද ගෙන දුන් බව නොලියාම බැරිය.

මේ වගේ අවස්ථාවල ආනන්දවත් අමතක නොවේ. එක් වරක මට හොඳටම සෙම අමාරුව විය. ආනන්ද කීයේ “උඹට සඳු දශාව යන්නේ දැන් මේ දවස්වල ඒරාෂ්ටකයකුත් තියෙනව ජලයේ ඉන්න සත්තුන්ට කෑම දාපන්” කියාය. ඒ ප්‍රතිකර්මය නිසා මට සහනයක් උදා වූ බව මම සඳාට මතක් කළේ මාළුන්ට කෑම දැමීමේ ප්‍රතිලාභද සිහිපත් කරමිනි.

පාරම්පරික ශාස්ත්‍රඥ හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division