Home » අපිට වෙන් වෙන්න වුණේ අපි දෙන්නගෙ වරදකින් නෙවෙයි

අපිට වෙන් වෙන්න වුණේ අපි දෙන්නගෙ වරදකින් නෙවෙයි

by thanushika
September 30, 2023 12:35 am 0 comment

දෙරණ නාළිකාවේ විකාශය වුණු රෝස සුදුයි ආදරියේ මෑතකාලීනව ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගත් ටෙලි නිර්මාණයකි. එහි විලන් චරිතයට පණ පෙවූ නිමේෂ් එදිරිසිංහ කාගේත් කතාබහට ලක්වූ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙකි. මල් පිපෙන කාලේහි පවන්ගේ චරිතයෙන් රංගන ක්ෂේත්‍රයට පිවිසි ඔහු ඉදිරියේදී විකාශයවීමට නියමිත රාවණා -3හි අභියෝගාත්මක රංගනයක නිරත වෙයි. කඩවසම් පෙනුමක් හිමි නිමේෂ්ට නිරූපණ ක්ෂේත්‍රයේ මෙන්ම මියුසික් වීඩියෝ කලාවේ ද ඇති ඉල්ලුම දැන් දැන් ඉහළ යමින් තිබේ. කලාව තුළ විවිධත්වය සොයන ඔහු හා කළ කතාබහයි මේ.

නිමේෂ්ට පහුගිය දවස්වල ඇමැති පට්ටමකුත් ලැබුණ නේද?

තුෂාර තෙන්නකෝන් සර්ගේ රෝස සුදුයි ආදරියේ ටෙලි නාට්‍යයේ මට ඇමැතිකමක් ලැබුණා. රන්දුණු කියන්නෙ බලයෙන් හිස උදුම්මගත්ත, තමන්ට ඕන දේ හොඳින් හෝ නරකින් ලබාගන්න උත්සාහ කරන කෙනෙක්.

කොහොමද රන්දුණුට ලැබෙන ප්‍රතිචාර?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒක කළුම නොවන අළු චරිතයක් කිවුවත් හරි. ගොඩක් අය කියන්නෙ අපිට පේන්නම බැරි චරිතෙ ඔයා. ඒ වුණත් ඔයා ඒක නියමෙටම කරනව කියලා. ඒ ගැන ගොඩක් සතුටුයි.

රන්දුණු නිසා පෙනුමත් වෙනස් කරගන්න වුණාලු නේද?

මං සරම අඳින කෙනෙක් නෙවෙයි. මේකෙදි මට සරම අඳින්න වුණා. ඒ වගේම මං සාමාන්‍යයෙන් කොණ්ඩෙ බැඳල ඉන්නෙ. රන්දුණු කොණ්ඩෙ පැත්තෙන් පීරන කෙනෙක්. පෙනුම කෙසේ වුණත් මට ඕන වුණේ චරිතෙ හරියටම කරන්න. එළියෙදි මිනිස්සුන්ට මාව හඳුනගන්න ටිකක් වෙලා ගියා. ඒ නිසා මං හිතනව මං චරිතෙට සාධාරණයක් කළා කියලා.

නිමේෂ්ට ඇමැතිකම ලැබෙන්න තිබුණු සුදුසුකම් මොනවද?

තුෂාර සර් එක්ක මීට කලින් මං කිහිප වතාවක්ම වැඩ කරල තිබුණා. ඒක වෙන්න ඇති සුදුසුකම. මං ක්ෂේත්‍රයට එන්නෙ සර්ගෙ මල් පිපෙන කාලේ ටෙලි නිර්මාණයෙන්. ඊට කලින් රාවණා එකට අවස්ථාව ලැබුණත් ඒක ෂූට් කරන්න පරක්කු වුණ නිසා කලින් විකාශය වුණේ මල් පිපෙන කාලෙ. ඊට පස්සෙ හේලියන්. රාවණා -3 ඉදිරියේදි විකාශයට නියමිතයි. රෝස සුදුයි එකේ රන්දුණු ඇමැතිගෙ චරිතෙ භාරදෙද්දිම සර් මට කිවුවා, මේක හොඳට කළොත් ඔයාගෙ රංගන ජීවිතේ මේක ටර්නින් පොයින්ට් එකක් වේවි කියලා. ඒක ඒ විදිහටම වුණා. හිතුවටත් වඩා ඒ චරිතෙ ප්‍රේක්ෂකයන් අතරට ගියා. මාත් ගොඩක් ආසයි රන්දුණුගෙ චරිතෙට.

නිමේෂ් කලා ක්ෂේත්‍රයට ආපු විදිහත් කියමු නේද?

2019 Man Hunt International තරගයෙන් මට තෙවැනි ස්ථානය හිමි වුණා. ඒක තමයි මේ ආපු ගමනෙ අඩිතාලම. ඊට පස්සෙ ෆොටෝ ෂූට්වලට පෙනී ඉන්න අවස්ථාව ලැබුණා. 2021 දෙරණ අවුරුදු කුමරා තරගයෙන් මං දෙවැනි තැනට ආවා. එතැන තමයි රංගනයට පිවිසීමේ දොරටුව තිබුණේ. මුලින්ම රාවණාට තේරුණත් ෂූටින් පරක්කුව නිසා මල් පිපෙන කාලේ ඉක්මන් වුණා. මගේ හොඳම යාළුවා නරේන්ද්‍ර හේරත් විශේෂයෙන්ම මතක් කරන්න ඕන. එයා මට මේ ෆීල්ඩ් එකට එන්න ගොඩක් උදවු කළා.

ඔබ විවිධාකාරයේ ෆොටෝ ෂූට් කරන කෙනෙක් ?

මට ඕන නිතරම අලුත් දෙයක්, වෙනස් දෙයක් කරන්න. වෙන අය නොකරන දෙයක් කරන්න තමයි මං කැමැති. පහුගිය දවස්වල කරපු ෆොටෝ ෂූට් එකත් වයිරල් වුණා. ඉදිරියෙදීත් වෙනස්ම ෂූට් එකක් කරන්න හිතාගෙන ඉන්නෙ.

නිමේෂ් කියන්නෙ මියුසික් වීඩියෝ කලාවෙත් කැපී පෙනෙන චරිතයක්?

මේ වෙද්දි මං මියුසික් වීඩියෝ සෑහෙන ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. දේවක මිහිරාන්ගේ සැමරුම් පොතේ මියුසික් වීඩියෝව පසුගියදා නිකුත් වුණා. ආශා තෙන්නකෝන්ගේ සැලෙනා මියුසික් වීඩියෝවටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. සංදේශ් බණ්ඩාර සහ ඉරුෂ්ක බෝගොඩ අධ්‍යක්ෂණය කළ තවත් මියුසික් වීඩියෝ කිහිපයක්ම එන්න තියෙනවා. මියුසික් වීඩියෝවලට ආරාධනා වගේම ලැබෙන ප්‍රතිචාරත් හොඳ මට්ටමක තියෙනවා.

නිමේෂ්ට තවම සිනමාවට ආරාධනාවක් ලැබිල නැද්ද?

සිනමාවට සම්බන්ධ වෙන්න තාම අවස්ථාවක් ලැබුණෙ නෑ. ලොකු ආසාවක් තියෙනවා සිනමාවෙ ලොකු දෙයක් කරන්න. මල් පිපෙන කාලෙට සම්බන්ධ වෙද්දි මට ලොකු රංගන හැකියාවක් තිබුණෙ නෑ. තුෂාර සර් තමයි හැම දෙයක්ම වගේ කියල දුන්නේ. ඇත්තටම සර් එදා වගේම අදටත් ඕනම දෙයක් කියල දෙනවා. මෙතෙක් සම්බන්ධ වුණු හැම නිර්මාණයක්ම සාර්ථක කරගන්න සර් ලොකු සහායක් දුන්නා. රාවණා, හේලියන් කියන්නේ තුෂාර සර්ගෙ හිතේ තිබුණ ලොකුම ආසාවක් ඉෂ්ට වීමක්. ඔහු වෙනස් විදිහට හිතන, වෙනස් දෙයක් කරන්න උත්සාහ කරන කෙනෙක්.

ඔබ ආකර්ෂණීය, කඩවසම් තරුණයෙක්. ආදරය ගැන අත්දැකීම් නැති වෙන්න නම් බෑ?

ආදරය ගැන ලොකු අත්දැකීමක් තියෙනවා. මේ වසරේ විවාහයෙන් කෙළවර වෙන්න තිබුණ සම්බන්ධයක් තිබුණා. අපිට වෙන් වෙන්න වුණේ අපි දෙන්නගෙ වරදකින් නෙවෙයි. දැන් එයා විවාහ වෙලා. ඒ නිසා මට හිතුණා මෙහෙම ස්වාධීනව ඉන්න එක හොඳයි කියලා. පොඩි කාලෙ ඉඳලම මට තිබුණ ලොකුම හීනය රංගන ශිල්පියෙක් වීම. ඒක අපේ අම්මගෙත් හීනය. දැන් ඒකට පාර කැපිල තියෙන්නෙ. ඒ නිසා කවදාවත් මං රංගනය අතහරින්නෙ නෑ. රංගනය තමයි දැන් මගේ ජීවිතේ පළමු තැන. ගෙදරින් මට ලොකු සහායක් ලැබෙනවා. රංගනය පැත්තෙන් මට අවශ්‍ය තැනට යන්න ඒ හොඳටම ඇති.

 නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division