Home » ඊශ්‍රායලයේ අනතුර රසිකයන්ගේ ආදරේ තරම අපට පෙන්නුවා

ඊශ්‍රායලයේ අනතුර රසිකයන්ගේ ආදරේ තරම අපට පෙන්නුවා

by thanushika
September 30, 2023 12:36 am 0 comment

දශක තුනකටත් වැඩි කාලයක් කණ්ඩායම් සංගීත ලොවේ ප්‍රමුඛයා වූ රොෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ flashback සංගීත කණ්ඩායම මේ වන විට අපේ ශ්‍රී ලාංකීය හදවත් හි රැඳුණු සංගීත කණ්ඩායම බවට පත් වී හමාරයි. එළිමහන් ප්‍රසංග කලාවට වැඩි වටිනාකමක් එකතු කරමින් සහෘද ප්‍රේක්ෂක රසික හදවත් සංගීතයෙන් සුවපත් කරන රොෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ කණ්ඩායම සංගීත ප්‍රසංගයක් නරඹන්නට ලෝකයේ කොහේ හිටියත් ප්‍රේක්ෂක රසික හදවත් සූදානමින් ඉන්න බව නොරහසක්. මේ දිනවල Flashback සංගීත කණ්ඩායම ගැන වැඩි අවධානයක් හිමිව තිබෙන්නේ පසුගියදා ඊශ්‍රායලයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර සිදු වූ අනතුරත් සමඟයි. සමාජ මාධ්‍ය එක එක පුවත් මවද්දී එහි ඇත්ත නැත්ත හරියටම දැන ගන්න අපි flashback සංගීත කණ්ඩායමේ රොෂාන් ප්‍රනාන්දුට කතා කළා.

අපි කතා කළොත් මේ දිනවල හැමෝම කතාවෙන ඊශ්‍රායල ප්‍රසංගය ගැන

2023,09,23 ඊශ්‍රායලයේ Tel aviv පැවති ප්‍රසංගය වෙනුවෙන් තමයි අපි ඊශ්‍රායලයට ගියේ. ඒ ප්‍රසංගය සංවිධානය කළේ පිංකි. අපි එක්ක මේ ප්‍රසංගයට ගියා රන්ජන් රාමනායක, රයිනි චාරුකා ගුණතිලක, නිලාන් හෙට්ටිආරච්චි සහ නිවේදක ජගත් නාත්තණ්ඩිය.

රයිනි වේදිකාවේ ගීත ගායනා කරද්දී ඇති වූ අනතුරක් ගැනයි සමාජ මාධ්‍යයේ හුවමාරු වෙන්නේ.

අපි Flashback සංගීත කණ්ඩායම පැය දෙකක් සින්දු කිවුවා. ඊට පස්සේ කිංස්ලි සින්දු කිවුවා. ඊටත් පස්සේ තමයි රයිනි සින්දු කියන්න ආවේ. රයිනිගේ තුන්වෙනි සින්දුව යද්දී තමයි මේ අනතුර වුණේ.

සමාජ මාධ්‍යයවල නම් විවිධ ආකාරයට පළවෙලා තිබුණා. ඇත්තටම මොකද වුණේ?

අපේ කට්ටිය කොහොමත් එහෙමනේ. හොයන්නේ බලන්නේ නැහැනේ. තමන්ගේ පේජ් එකට විව්ස් වැඩි කර ගන්නනේ උත්සාහ කරන්නේ. ඒ නිසා ඒ ගැන පුදුම වෙන්නේ නැහැ. ඇත්තටම මොකක් ද වුණේ කියන එක අපෙන් දැන ගන්නවනේ. ප්‍රසංගය පැවැත්වෙන අතරතුර දී වේදිකාවේ පිටුපස ඩිජිටල් තිරය කඩා වැටීමයි සිදු වුණේ. ඉන් අපේ කිසි කෙනෙක්ට හෝ අපේ කිසිම සංගීත භාණ්ඩයකට හානියක් සිද්ධ වුණේ නැහැ.

සමාජ මාධ්‍ය මොනවා කිවුවත් Flashback සංගීත කණ්ඩායමට තියෙන ආදරේ වැඩි වුණාදෝ කියලත් හිතෙනවා?

වැඩි වුණාදෝ නෙවෙයි, ඇත්තටම වැඩි වුණා. අපිත් එක්ක වෙනදා හිටිය ආදරණිය රසික රසිකාවියන් හැරෙන්න වෙන වෙන ක්ෂේත්‍රවල ඉන්න අයත් අපිට කතා කළා. සාමාන්‍යය විදියට සිද්ධ වෙලා ඉවර වෙන්න තිබ්බ ප්‍රසංගයක් මේ සිදුවීම නිසා මුළු ලෝකයේම අවධානය ගත්තා. ඒ එක්කම මේ හරහා තමා දැන ගත්තේ මෙච්චර සෙනඟක් මේ රටේ ඉන්නවද කියන එක. මේ අහිංසක මිනිසුන්ගේ සතුට ගැනයි අපි හිතන්නේ. මෙහෙම ප්‍රසංගයක් තියෙනවා කිවුවම ඒ රටේ අය ප්‍රසංගය බලන්න එන්න ඇඳුම් හදා ගන්නවා. සමහරු බඩුත් අරගන්නවා. තව සමහරු තමන්ගේ ජොබ් එක දවස් දෙකකට විතර වෙන කෙනෙක්ට දෙනවා. ප්‍රසංගය බලන්න ටිකට් එකත් ගන්නවා. ලොකු වියදමක් කරලා ප්‍රසංගය බලන්න එන්නේ. අපි යන්නෙත් අවුරුදු ගාණකට පස්සේ. ඒ දෙන ආදරේට පෙරළා අපේ උපරිම කැපවීම දෙන්න ඕනේ කියන තැන මම ඉන්නවා. ඒක එදත් සිද්ධ වුණා.

සිදුවුණු අනතුරෙන් පස්සෙත් බෑන්ඩ් එක ප්ලේ කළා ද?

ඔව්, විනාඩි 20කින් පමණ සියල්ල ආයේ යථා තත්වයට පත් වුණා. එතැනින් පස්සේ අපි අපේ වැඩේ කළා.

ඊශ්‍රායලයට ගිය කීවෙනි වතාවද?

දෙවන වතාව අවුරුදු 17කට පස්සේ. අවුරුදු 17කට කලින් ඊශ්‍රායලයට ගිය පළමු සංගීත කණ්ඩායම වෙන්නෙත් Flashback සංගීත කණ්ඩායම. ඒ සැරේ නම් ලොකු සෙනඟක් ඊශ්‍රායලය කියන රටේ ජීවත් වුණේ නැහැ. දැන් නම් ඊශ්‍රායලයත් ජනාකීර්ණ රටක් බවට පත්වෙලා. මේ සැරේ ප්‍රසංගය බලන්න 2000කට අධික පිරිසක් සහභාගී වෙලා හිටියා.

Flashback සංගීත කණ්ඩායමේ මේ අවුරුද්දේ තියෙන විදෙස් ප්‍රසංග මොනවද?

ඔක්තෝම්බර් 13 ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්වල ප්‍රසංගය, ඕක්තෝ්බර් 21 නවසීලන්තයේ ඕක්ලන්ඩ් ප්‍රසංගය සහ ඔක්තෝ්බර් 28 ඩුබායි ප්‍රසංගය තියෙනවා. ඊට අමතරව සුපුරුදු විදිහට ලංකාවේ වැඩ ටික කරන් යනවා.

Flashback සංගීත කණ්ඩායමට ලැබෙන ප්‍රේක්ෂක ආදරේට කියන්න දෙයක් ඇති?

අපි හැමවෙලාවෙම අපේ රසිකයින්ට සාධාරණයක් කරපු සංගීත කණ්ඩායමක්. අපේ තාත්තා අපිට කියලා තියෙන්නේ ඕගොල්ලෝ හොඳ දෙයක් කළොත් ඉන් හොඳ ප්‍රතිඵල ලැබෙනවා කියලා. ඒ නිසා තාත්තා කියන්නේ මිනිස්සු එන්නේ ඕගොල්ලෝ ගැන බලාපොරොත්තු තියාගෙන. ඒ නිසා ඒ අයට සාධාරණයක් කරන්න කියලා. මෙතෙක් කරපු හැම ප්‍රසංගයක්ම අපි අපේ උපරිම කැපවීමෙන් කළා. ඒක රසිකයින් දන්නවා. ඒ එක්කම අපි ගැන ලොකු විශ්වාසයක් අපි වටා ඉන්න රසික රසිකාවියන්ට තියෙනවා. ඒ විශ්වාසය දවසින් දවස වැඩි වෙලා Flashback සංගීත කණ්ඩායම මේ තැනට එන්න ලැබීම තමා අපිට දැනුණ ප්‍රතිපලය. ඒ නිසා මේ අනතුර දැනගත් මොහොතේ සිට අපට කතාකළ, සොයා බැලු, ආශීර්වාද කළ සියලුම දෙස් විදෙස් සහෝදර සහෝදරියන්ට බෙහෙවින්ම ස්තුතියි !

 අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division