Home » නැඟෙනහිරට නවෝදයේ ලකුණු රැගෙන මඩකලපු විශ්වවිද්‍යාලය නැවත සිසු පරපුරට…

නැඟෙනහිරට නවෝදයේ ලකුණු රැගෙන මඩකලපු විශ්වවිද්‍යාලය නැවත සිසු පරපුරට…

by Mahesh Lakehouse
September 30, 2023 12:55 am 0 comment
මඩ­ක­ල­පුව පෞද්ග­ලික විශ්ව­වි­ද්‍යා­ලය යළිත් එහි සභා­පති ආචාර්ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා වෙත නිල වශ­යෙන් බාර දුන් අව­ස්ථාව සහ මඩ­ක­ල­පුව විශ්ව­වි­ද්‍යා­ලයේ ඇතු­ළත දර්ශන

දැනට ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල 15 ක් පමණ තිබේ. මින් ප්‍රමුඛ ඒවා වන්නේ කොළඹ විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ මොරටුව විශ්වවිද්‍යාලයයි. විශ්වවිද්‍යාල පනතේ සිදු කරන ලද වෙනස්කම් සමඟ මෑත වර්ෂවල දී ආයතන කිහිපයකට උපාධි ප්‍රදානය කිරීම සඳහා අවසර ලබා දී ඇති අතර මින් ප්‍රමුඛ වන්නේ රජය හිමිකාරිත්වය දරන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයයි.

එසේම ලොව දැනුමේ කේන්ද්‍රස්ථානය බවට අධ්‍යාපන අමාත්‍යාංශය (උසස් අධ්‍යාපන), විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමත් සමඟ එක්ව උසස් අධ්‍යාපන පද්ධතිය අපේක්ෂිත මට්ටම කරා ඔසවා තැබීම සඳහා විද්වත් ආයතන, වෘත්තීය සංගම් සහ වෙනත් ප්‍රධාන පරදු දරන්නන් සමඟ අඛණ්ඩ කතිකාවක් සිදුකරමින් සිටී.

මේ අරමුණින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස සවුදි අරාබියාවේ ආධාර මත ක්‍රියාත්මක කළ මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාල විද්‍යායතනය ඉදිකිරීමෙන් පසුව මෙරට ඉතිහාසයේ උසස් අධ්‍යාපන ආයතනයක් වෙත පැමිණි විශාලතම බාධාවන්, බලපෑම් එල්ල විය. වසර හතරකට ආසන්න කාලයක් රජය හා යුද හමුදාව යටතේ පාලනය වූ මඩකලපුව පූනානි ප්‍රදේශයේ පිහිටි මෙම විශ්ව විද්‍යාලය නැවත වරක් නැ‌ෙඟනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර ආචාර්ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාට භාරදී තිබේ. පාස්කු ප්‍රහාරයත් සමඟ, නැගෙනහිර පළාතේ අන්තවාදී පිරිස් සිදුකළ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ 2019 වර්ෂයේ දී රජයට පවරා ගත් මෙම විශ්වවිද්‍යාලය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් මෙන්ම, වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ද කටයුතු කරගෙන ගියේය.

කෙසේ වුවද රට පුරා, ලොව පුරා මහත් ආන්දෝලනයකට පත්ව තිබූ මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාල විද්‍යායතනය රුපියල් කෝටි 800කට වැඩි මුදල් ප්‍රමාණයක් වැයකර අරාබියේ සිටින ව්‍යාපාරිකයකු විසින් නැ‌ෙඟනහිර ආණ්ඩුකාර ආචාර්ය එම්. එල්. ඒ. එම් හිස්බුල්ලාට ලබා දුන් පරිත්‍යාගයක් බවට ප්‍රචලිත වී තිබේ.

කෙසේ වුවද මෙම විශ්වවිද්‍යාලය යළි කතාබහට ලක් වූයේ පාස්කු ඉරිදා දේවස්ථාන සහ සංචාරක හෝටල් වෙත ප්‍රහාර එල්ල වීමත් සමඟය. මේ අතර මරාගෙන මැරෙන ප්‍රහාරකයන් සාමාජිකත්වය දැරූ බව පැවසෙන ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ තිඹිරිගෙය කාත්තන්කුඩි සහ ඒ අවට ප්‍රදේශ වන අතර අදාළ විශ්වවිද්‍යාලය හරහා “ෂරියා නීතිය” ඉගැන්වෙන බවටත් “අන්තවාදීන්” බිහි වියහැකි බවටත් චෝදනා නැඟුණේ මෙවන් පසුබිමකදීය.

මෙම අධ්‍යාපන ආයතනයේ හිටපු සභාපති නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ආචාර්ය එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා පවසන පරිදි එහි ඉදිකිරීම් සඳහා මහවැලි අධිකාරිය යටතේ පැවති භූමියකින් අක්කර 35 ක් ලබා දී ඇත්තේ මහින්ද රාජපක්ෂයන්ගේ පාලන සමයේදීය. 2013 වසරේ ජූනි මාසයේ දී මෙය ආරම්භ කර ඇත්තේ මලික් අබ්දුල්ලා යුනිවර්සිටි කොලේජ් නමින් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් වශයෙනි.

2014 වසරේ දී බැටිකලෝ යුනිවර්සිටි කොලේජ් ලෙස නම වෙනස් කර තිබෙන අතර 2015 වසරේ දී බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ලෙස ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ පනත යටතේ ලියාපදිංචි කර ඇත. 2016 වසරේ දී බැටිකලෝ කැම්පස් ඔෆ් ශ්‍රී ලංකා ලෙස යළි නම වෙනස් කර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) ලියාපදිංචි කර ඇත. මේ විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා සෞදි අරාබියේ අලි අබ්දුල්ලා අල් ජිෆාලි නමැති පදනම මඟින් සහන ණයක් ලබාගෙන තිබෙන අතර කොටස් හයකින් ලබාගෙන ඇති “රුපියල් මිලියන 3,600 ක ණය මුදල” ගෙවීම ආරම්භ කළයුතු වන්නේ වසර 15 කට පසුව බව හිස්බුල්ලා පවසයි. එහි සම්පූර්ණ වියදම් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට වාර්තා කර ඇති අතර නවීන ලෝකයට ගැළපෙන ලෙස අන්තර්ජාතික වශයෙන් පිළිගන්නා පාඨමාලාවන් සිදුකළ හැකි ආකාරයෙන් මේ විශ්වවිද්‍යාලය ඉදිකර තිබේ.

මේ විශ්වවිද්‍යාලය පාඨමාලා කිහිපයක් ඉගැන්වීම සම්බන්ධයෙන් සැලසුම්කර තිබෙන අතර ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණ පීඨය, ගෘහනිර්මාණ සැලසුම් සහ මිනුම් කටයුතු පීඨය, නීති පීඨය, සංචාරක සහ ව්‍යාපාර කළමනාකරණ පීඨය, කෘෂි තාක්ෂණ සහ සම්පත් කළමනාකරණ පීඨය, ආගමික, සංස්කෘතික සහ භාෂා පීඨය මෙන්ම වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කර කෙරිණි. සිසු සිසුවියන් දෙසීයකට අසුන් ගත හැකි දේශනා ශාලා 3ක්, සිසු සිසුවියන් අසූවකට අසුන් ගතහැකි දේශනා ශාලා 14ක්, නවීන පහසුකම් සහිත විද්‍යාගාර 8ක්, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට නවාතැන් ගතහැකි කාමර 150ක්, සිසුන් 1000 කට නේවාසික පහසුකම් සහිත වීම මෙහි ඇති විශේෂත්වයකි. කෙසේ වුවද මෙම විශ්වවිද්‍යාලය සඳහා අනෙකුත් විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක පාඨමාලාවන්ට අමතරව අද ලෝකයේ වේගයෙන් ඉදිරියට යන කෘත්‍රිම බුද්ධිය හා සම්බන්ධ පාඨමාලාවන් ද ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ සංකල්පයකට අනුව සිදුවන එය කෘත්‍රිම බුද්ධිය පාඨමාලාවක් ආරම්භ කරන ශ්‍රී ලංකාවේ පළමු විශ්වවිද්‍යාලය බවට පත්වනු ඇත.

මඩකලපුව යනු මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රදේශයක් වුව ද මේ විශ්වවිද්‍යාලය මුස්ලිම් ප්‍රජාවට පමණක් සීමා වන්නක් නොවන අතර එය සියලු ජාතීන්ට, සියලු ආගමිකයන්ට පොදු උසස් අධ්‍යාපන ආයතනයක් වෙයි. පේරාදෙණිය, යාපනය, අග්නිදිග විශ්වවිද්‍යාල ඒ ඒ ප්‍රදේශයන්හි සංස්කෘතික ලක්ෂණ අනුව ඉදිකර තිබෙන අතර ඒ ආකාරයට මඩකලපුව මෙම විශ්වවිද්‍යාලය ද ඉදිකර තිබේ.

කෙසේ වුව ද මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාල විද්‍යායතනය ස්ථාපිත කිරීමේ හා පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් විශේෂ විගණන වාර්තාවක් ද එළිදක්වා තිබෙන අතර ශ්‍රී ලංකාව තුළ ජාතික මට්ටමේ සාකච්ඡාවකට ලක් වී මෙම විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් ද විමර්ශනයක් සිදු කෙරිණි.

දැඩි ආන්දෝලනයකට තුඩු දුන් නැ‌ෙඟනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර ආචාර්ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් ඉදිකරන ලද මඩකලපුව විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නා බවට පසුගිය 2020 වසරේ නොවැම්බර් මස 27 දා එවකට අධ්‍යාපන ඇමැතිවරයාව සිටි මහාචාර්ය ජී.එල්. පීරිස් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබේ.

එතැන් සිට එය රජයට පවරා ගෙන තිබේ. කෙසේ වුව ද අද වනවිට මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාල විද්‍යායතනය නැවතත් එහි හිමිකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා වෙත භාරදීමට ශ්‍රී ලංකා යුද හමුදාව පියවර ගෙන තිබේ. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ නියෝගයකට අනුව තමන් වෙත මෙම විශ්වවිද්‍යාලය ආපසු ලැබුණු බවට හිස්බුල්ලා මාධ්‍ය වෙත සඳහන් කර තිබෙන අතර පාස්කු ප්‍රහාරයට තම සම්බන්ධතාවක් නොමැති බැවින් මෙම භාරදීම සිදුකළ බවත් පසුගිය කාලයේ නැ‌ෙඟනහිර පළාතේ අන්තවාදී පිරිස් නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් එය රජයට පවරාගෙන තිබූ බවත් හෙතෙම සඳහන් කරයි.

“මේ විශ්වවිද්‍යාලය 2019 වසරේ දී විවෘත කරන්න සූදානමින් සිටියේ. නමුත් පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ එය හමුදා පාලනයට ගත්තා. මේ විශ්වවිද්‍යාලය යළි අපිට ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව සාකච්ඡා වට කිහිපයකින් පසුව එම විශ්වවිද්‍යාලය නැවත අපිට භාර දෙන්න ජනාධිපතිවරයා තීන්දු කළා.

මේ සඳහා සහාය ලබාදුන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහත්වරුන්ට මගේ ස්තුතිය පිරිනමනවා. මේ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා තාක්ෂණ විශ්ව විද්‍යාලයත් එක්ක ඒකාබද්ධව කටයුතු කරනවා. සිසුන් 10,000 කට පමණ අධ්‍යයන කටයුතු සිදුකරන්න මේ තුළ පහසුකම් තිබෙනවා. නවීන තාක්ෂණයට අනුව එම පාඨමාලාවන් පවත්වාගෙන යනවා. 1200ක් කාර්ය මණ්ඩලය අවශ්‍ය වෙනවා.

උපකුලපතිවරයා, පීඨාධිපතිවරු, කතිකාචාර්යවරු ඇතුළු කාර්ය මණ්ඩලය ඉදිරියේ දී බඳවා ගන්න බලාපොරොත්තු වෙනවා. මේ සඳහා සිසුන් බඳවා ගන්න ලබන මාසයේ දී අයැදුම්පත් කැඳවනවා. ඒ අනුව එළඹෙන ජනවාරි මාසයේ සිට ළමුන් ඇතුළත් කර ගන්න අපේක්ෂා කරනවා” යැයි එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා කියා සිටී.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ හිටපු සභාපති හා මඩකලපුව දිස්ත්‍රික්කයේ හිටපු එක්සත් ජාතික පක්ෂ සංවිධායක මංගල සෙනරත් පවසන්නේ, “මේ විශ්වවිද්‍යාලය රටට ප්‍රයෝජනවත් ලෙස කටයුතු කළයුතු වෙනවා. අද වනවිට රට ගැන හිතන, අවංක චේතනාවෙන් කටයුතු කරන ජනාධිපතිවරයෙක් අපිට ඉන්නවා. මඩකලපුව විශ්වවිද්‍යාලය ෂරියා විශ්වවිද්‍යාලයක් නොවෙයි. ෂරියා විශ්වවිද්‍යාලයක් කියන්නේ නම් එය ඔප්පු කර පෙන්වන්න.

මෙතන තිබෙන්නේ මඩකලපුව විශ්වවිද්‍යාලයයි. මේ කරන්න යන්නේ සහරාන්ලා එක්ක එකතු වෙලා රට විනාශ කරන වැඩපිළිවෙළක් යැයි පවසමින් හිස්බුල්ලා මහතාට පහර දෙන්න විශාල පිරිසක් උත්සාහ කළා. පසුව මේ විශ්ව විද්‍යාලය වසා දැම්මා. එයින් පසුව කොරෝනා ආවා. ඒ අනුව මේ විශ්වවිද්‍යාල භූමිය නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කළා. මේක රටට බරක් නොවී සවුදි අරාබියාවෙන් මුදල් සොයා ගෙන ස්ථාපිත කළේ. නැ‌ෙඟනහිර පළාතේ තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනය ලබා දෙන්න, රැකියා ලබා දෙන්න මේ විශ්වවිද්‍යාලය ස්ථාපිත කළා. මේ විශ්වවිද්‍යාලය නැ‌ෙඟනහිර පළාතට තිබෙන දියමන්තියක්.

මේක එළඹෙන දෙසැම්බර් මාසයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සියලු ජාතීන්ට, සියලු ආගමිකයන්ට මේ විශ්වවිද්‍යාලය විවෘතයි. ඒ නිසා පන්සල, පල්ලිය, කෝවිල සියල්ල ස්ථාපිත කරන්න පියවර ගෙන තිබෙනවා. ඒ අනුව සෑම සිසුවකුටම තමන්ගේ ආගම අදහන්න අවස්ථාව සැලසෙනවා.

විශ්වවිද්‍යාල සිසුන්ට අවුරුදු 4 ක කාලයක් මෙහි රැඳී සිටින්න අවස්ථාව සැල‌ෙසනවා. අවුරුදු තුනක් අධ්‍යයන කටයුතු සිදු වෙනවා. අනෙක් අවුරුද්ද ප්‍රායෝගික පුහුණුව ලබා දෙනවා. ඒ වගේම සිසුන්ට ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබාදීම සඳහා බස් සේවයක් ද පවත්වාගෙන යන්න සැලසුම් කර තිබෙනවා. මේ වනවිට එම විශ්වවිද්‍යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාත්මක වෙනවා. ඒ වෙනුවෙන් සේවකයන් 400 ක් පමණ යොදවා තිබෙනවා” යැයි සඳහන් කළේය.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division