Home » මාව ප්‍රභූ දේවා සර්ට හඳුන්වා දුන්නම සර් අතට අත දුන්නා

මාව ප්‍රභූ දේවා සර්ට හඳුන්වා දුන්නම සර් අතට අත දුන්නා

එයා මට කිවුවේ you are beautiful කියලා

by thanushika
September 23, 2023 12:37 am 0 comment

මම රඟපාන පළමු චිත්‍රපටය ලංකාවේ එකක් නෙවෙයි ඒක තෙලිඟු නිර්මාණයක්

මට මේ අවස්ථාව ලැබුණේ මගේ පෙනුම නිසා

දකුණු ඉන්දියානු සුපිරි නළුවකු සහ නර්තන ශිල්පියකු වන ප්‍රභූ දේවා පසුගිය දිනවල කාලය ගත කළේ ලංකාවේ. ඒ සෑම් රොඩ්‍රිගස්ගේ ඉදිරියේ තිරගත වීමට නියමිත මූසයි සිනමාපටයේ ගීතයක් රූගත කිරීමක් වෙනුවෙන්. මේ ගීතයට දායක වෙන්නට ලංකාවේ කලාකරුවන් සහ නර්තන ශිල්පීන්ට ද අවස්ථාව උදා වුණා. මේ අතර අපේ රටේ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් වන ඉෂංකා අබේසේකරටත් ප්‍රභූ දේවාගේ සිනමාපටයේ රංගනයෙන් දායක වීමට අවස්ථාව උදාවී තිබෙනවා. ඇය මේ දිනවල සිරස නාළිකාවෙන් විකාශනය කෙරෙන කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයේද රඟනවා.

මුල්ම ඉන්දියානු නිර්මාණය වෙන්නේ මොකක් ද?

දග්ගුබාටි වෙන්කටේෂ්ගේ (Daggubati Venkatesh) බිරිඳ විදිහට මම මගේ පළමු පියවර තියන්නේ තෙලිඟු සිනමාවට. මේක මගේ වාසනාව වෙන්න ඇති. මේ චරිතයට ඔවුන් මාව තෝරාගන්නේ මගේ පෙනුම නිසා. ලංකාවෙන් ඔවුන් තෝරගන්න එකම රංගන ශිල්පිනිය මම. මගේ ජීවිතයේ මම රඟපාන පළමු චිත්‍රපටය ලංකාවේ එකක් නෙවෙයි ඒක තෙලිඟු නිර්මාණයක්. ඒක තමා මගේ ජීවිතයේ මට ලැබුණ ලොකුම ත්‍යාගය කියලා මම හිතනවා. මම සිනමාවට තියන පළමු පියවර සහ මගේ පළමු ඉන්දියන් සිනමා නිර්මාණයත් මේක.

ප්‍රභූ දේවා රංගනයෙන් දායක වන මූසයි සිනමාපටයේ ගීතයටත් ඉන්නවද?

තෙලිඟු නිර්මාණයේ වැඩ කරන අතර ප්‍රභූ සර්ගෙ Film එකේ සිංදුවට මට ආරාධනාව ආවේ. මම ඒ වෙද්දි කොළඹින් පිට හිටිය නිසා මට එදිනම කොළඹ තිබුණ ප්‍රභූ සර්ගෙ Film song එකේ dancing part එකට සහභාගි වෙන්න බැරිවුණා. ඒත් ප්‍රභු සර්ගෙ Film එකේ එක scene එකකට රංගනයෙන් දායක වුණා.

කොහොමද මේ ඉන්දියානු නිෂ්පාදනය එක්ක එකතු වෙන්න ඉෂංකාට අවස්ථාව ලැබුණේ?

මේ නිර්මාණ දෙකම දකුණු ඉන්දියානු සිනමාපට. මේ දිනවල බොහෝ ඉන්දියානු ශිල්පීන් ලංකාවට ඇවිත් ඔවුන්ගේ රූපගත කිරීම් සිදු කරනවා. මම හිතන්නේ මට මේ අවස්ථාව ලැබුණේ මගේ පෙනුම නිසා. එයාලා හරි කැමතියි මේකප් නැතුව රඟපාන්න ගන්න පුළුවන් මුහුණුවලට. එයාලා හොයන්නේත් ස්වභාවික පෙනුම එක්ක වැඩ කරන්න පුළුවන් මුහුණු. අපි දකින දකුණු ඉන්දියානු සිනමාපටවලත් මේකප් භාවිතා කරලා තියෙන්නේ හරිම අඩුවෙන්නේ. ඒ එයාලා කැමැතිම නැති දෙයක් තමයි ෆුල් මේකප් එකක් එක්ක රඟපාන්න ගන්න.

ප්‍රභූ දේවා මුණගැසීම එකට වැඩ කරන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම තාමත් මට හිතාගන්න බැහැ. මාව ප්‍රභූ දේවා සර්ට හඳුන්වා දුන්නම සර් අතට අත දුන්නා. එයා මට කිව්වේ you are beautiful කියලා. ඒ කතා කරපු තත්පර ගාණ මට හීනයක් වගේ. මේ දේවල් තුළින් මම අලුත් ජීවයක් ලැබුවා. රංගන ක්ෂේත්‍රයේ තව වැඩ කරන්න මට ආස හිතුණා.

ඉෂංකාට දමිළ බස හසුරුවන්න පුළුවන් ද?

මට එයාලා කතා කරන කියන දේ හොඳින් වැටහෙනවා. හැබැයි දමිළ බසින් කතා කරන්න තවම හරියට බැහැ. මම ඉපදුණේ මාතලේ. ඒ අවට දමිළ ජනතාව ඉන්නවා. මගේ මල්ලිට සහ මගේ පවුලේ අනිත් අයට නම් හොඳින් දමිළ බස කතා කරන්න පුළුවන්. දැන් මම ඒ ගැන හිතන්න ඕනේ. ඉදිරියට තව වැඩ තියෙනවා කරන්න. එකක නම් මට දෙබස් තිබ්බේ නැහැ. මට තිබ්බේ මුහුණේ ඉරියව්වලින් හැඟීම් ප්‍රකාශ කරන්න. අනිත් නිර්මාණයේ නම් කෙටි දෙබස් කාණ්ඩ කිහිපයක් මට තිබුණා. ඒ අය මට දෙබස්වලදී කොහොමද හඬ උච්චාරණය කියන එක ඉගැන්නුවා. එයාලා දෙන සහයෝගය කියන්න බැරි තරම්. අපිට සෙට් එකේදී දුරකතන පාවිච්චි කරන්න දෙන්නේ නැති නිසා කොහොමද ඒ අයගේ රූපගත කිරීම් වෙන්නේ කියන එක පෙන්වන්න විදිහක් නැහැ. මම හරි ආසයි කවදා හරි දවසක ඒ අයගේ අවසර ඇතුව Behind the scene අරගෙන අපේ අයට බලන්න දෙන්න. ඒ තුළින් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.

කොහොමද ඉෂංකාට ලැබුණ ප්‍රතිචාර?

මට Sandy Master වත් හම්බවුණා. Sandy Master සහ ප්‍රභූ දේවා සර්ගෙන් මට ලැබුණේ මම කවදාවත් බලාපොරොත්තු නොවුණු විදිහේ රියැක්ෂන්. මගේ කොහොමත් තියෙන්නේ ඉන්දියානු පෙනුමක් සහ මම ඇඳන් ගියෙත් ශල්වාර් එකක් නිසා එයාලට මාව විශේෂයක් වෙන එකක් නැහැ කියලා මම හිතුවා. මම හිතුව විදිය සම්පූර්ණ වැරදියි. ඒ දෙන්නගේ රියැක්ෂන් කාගේ හරි ෆෝන් එකක තියෙනවා ඒක මට ලැබෙනවා නම් වෙන මුකුත් ඕනේ නැහැ. ඒක මට සම්මානයක් ලැබුණා වගේ. ඒ තරමට එයාලගේ රියැක්ෂන්වල තිබ්බේ පොසිටිව් දේවල්. සැන්ඩි මාස්ටර් එයාලගේ භාෂාවෙන් එයාගේ සෙක්‍රටිට සහ යහළුවන්ගෙන් ඇහුවේ මාව දැක්කම කාවද මතක් වුණේ කියලා, එයා එයාගෙ භාෂාවෙන් කිවුවේ එයා රැවටුනා එකපාරම, එයාට මාව දැක්කම ප්‍රනීතා මතක් වුණා කියලා සහ ඔයාට තියෙන්නේ අපේ කාජල් අග්‍රවාල්ගෙ වගේ ඇස් දෙකක් කිවුවා. මම කවදාවත් ප්‍රනීතව සහ කාජල් අග්‍රවාල්ව ඇස්දෙකෙන් දැකලා නැහැනේ. හැබැයි මාව දැක්කම ප්‍රනීතා මතක් වෙනවා කියලා ඉන්දියානු අයම කියනවා කියද්දී මට ඊට වඩා සතුටක් නැහැ.

ඉන්දියානු නිර්මාණ නිසා ලංකාවේ නිර්මාණවලින් ඈත් වෙන්න හිතෙයි ද?

මෙහෙමයි. මම චන්ද්‍රපානි සින්දුව හරහා කලාවට ඇවිත් අවුරුදු හතරක් වෙනවා. මගේ පෙනුම එක්ක කාට හරි නිර්මාණයකට මාව ගන්න වුවමනාවක් තිබ්බා නම් මේ වෙද්දී ලංකාවේ චිත්‍රපටයකට මට ඇරයුම් ලැබෙන්න ඕනේ. මගේ ලුක් එකෙන් ලංකාවේ අයට ප්‍රයෝජනයක් ගන්න වුවමනාවක් තියෙනවද කියන එක අදටත් මම දන්නේ නැහැ. ඉන්දියානු නිෂ්පාදන කටයුතු කරන අය කැමතියි මගේ මුහුණ එයාලගේ නිර්මාණවලට ගන්න. මගේ හිතේ තිබ්බා කවදාහරි මට ගැළපෙන නිර්මාණ ලැබෙයි කියලා. මේ මාසේ මට ඒක ඇත්ත වුණා. මගේ ෆොටෝ එක්ක තව ලංකාවේ ජනප්‍රිය නිළියන්ගේ ඡායාරූප පවා ඒ අයට ඇවිත් තිබ්බා. මෙතැනදී මගේ උස, මගේ මහත මේ කිසි දෙයක් එයාලා ප්‍රශ්නයක් කර ගත්තේ නැහැ. ඒ අයට ඕනේ වුණේ මගේ ලුක් එක. ඔක්තෝම්බර් මාසයේ අලුත් ප්‍රොජෙක්ට් එකක් කරනවා ඒ නිසා ඔයා දමිළ බස හොඳින්ම කතා කරන්න පුරුදු වෙන්න කියන එක මට කිවුවා. ඒකට ලෑස්ති වෙන එක මගේ වගකීමක්. මම ලංකාවේ ඉපදුණු කෙනෙක් නිසා මොන රටේ නිර්මාණ කරත් මම කැමතිම ලංකාවේ නිර්මාණවල වැඩ කරන්න. කියාදෙන්න ආදරේ තරම් කණ්ඩායම බොහොම ආදරෙන් මතක් කරන්න ඕනේ මට ඉන්දියානු නිෂ්පාදනවලට දින වෙන්කර ගන්න ලොකු සහයෝගයක් ලබා දුන්නා. මම මගේ සිනමාවේ මුල් පියවර තෙලිගු සිනමාවෙන් තිබ්බා.

 අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division