Home » මම වෘත්තීය ගායන ශිල්පියෙක් වෙනවට තාත්තා කැමති වුණේ නැහැ

මම වෘත්තීය ගායන ශිල්පියෙක් වෙනවට තාත්තා කැමති වුණේ නැහැ

by thanushika
September 23, 2023 12:36 am 0 comment
තුෂාරී කළුබෝවිල

ඇළ දොළ ගංගා යාවි ගලා…., වතුර නාලා තෙත කොණ්ඩෙ කඩාලා…..,හා මල් පිපෙන්නේ…., රුවන් තොරන් තනා….. වැනි ගීත ඔස්සේ අපගේ හද රැඳි ඒ හඬ පසුගිය මැයි මාසයේ 18 වැනිදා සදහට ම නිහඬ වුවත් ඒ අසහාය සොඳුරු ගී අප හදවත් තුළින් වියැකී නොයනු ඇත. ගුවන් විදුලියේ තැටි ගබඩාවේ සුරක්ෂිත වෙමින් ගුවන අරා විසිර යන ඒ ගී හඬ ගුවන් විදුලියේ බී ශ්‍රේණීයේ ගායන ශිල්පියකු වූ ක්‍රිස්ටෝපර් පෝල් ගායන ශිල්පියාගේ ය. පිය වියෝගයෙන් ළතැවෙන සම්පත් පෝල් සමඟ අප කතා බහ කළේ ඔහු ද පියාගේ ගී ගයන පුතෙකු වන නිසා ය.

පියා ගැන මතකය නව පරපුරේ පාඨකයන් වෙනුවෙන් අවධි කළ හැකි ද…?

ක්‍රිස්ටෝපර් පෝල් කියන ගායන ශිල්පියා බිහිවන්නේ මොරටුව කොරළවැල්ල ප්‍ර දේශයෙන්. අපේ තාත්තා පුංචි කාලේ සී.ටී. ප්‍රනාන්දු ගායන ශිල්පියා පවුලේ හිතවතෙක් නිසා නිතර ගෙදර ආවා ගියා කියලා තාත්තා ඉස්සර කියනවා. ඒ ආවා ම තාත්තාව උකුලේ තියාගෙන සී.ටී. ප්‍රනාන්දු ගීත ගායනා කර තිබෙනවා. පුංචි කාලේ ඉඳලා තාත්තාට ගීත ඇහුණා. ශාන්ත සෙබස්තියන් පාසලේ ඉගෙන ගන්න කාලේ ෆේඩී සිල්වා සහ රෝයි ද සිල්වා සමඟ තාත්තා එකම පන්තියේ ඉඳලා තියෙනවා. ඒ තිදෙනා අතර දැඩි යාළුකමක් තිබිලා තියෙනවා. මේ යාළුවෝ තුන්දෙනා ගුරුවරු නැති කාල පරිච්ඡේදවලදී එකතු වෙලා ඉංග්‍රීසි ගීත ගායනා කරන පුරුද්දක් තිබිලා තියෙනවා. සී.ඩී. ෆොන්සේකා සහ ප්‍රැක්ටික් දෙනිපිටිය තාත්තාට වඩා ඉහළ පන්තිවල ඉඳලා තියෙනවා. තාත්තලා නිදහස් වෙලාවලදි සිංදු කියද්දි ඒ දෙන්නාත් සංගීත සහායට එකතු වෙලා තියෙනවා. යාළුවන්ගේ සංගීත ප්‍රසංගයක් වගේ තිබුණු වෙලාවට ගී ගයලා ගුරුවරුන්ගෙන් ප්‍රශංසා ලැබිලා තියෙනවා. තාත්තාගේ දක්ෂතා දැකලා පාසලේ හිටපු ‍ෆ්‍රැන්සිස් පෙරේරා සංගීත ගුරුතුමාගේ මඟ පෙන්වීම සහ උපදෙස් යටතේ සුනිල් ශාන්තයන් වෙත යොමු වී කටහඬ හා සංගීත පුහුණුවීම කර තිබෙනවා. තාත්තා ඉස්කෝලේ ගීත වගේ ම ශාන්ත සෙබස්තියන් පල්ලියේ ගීතිකා කණ්ඩායමට සම්බන්ධ වෙලා ගීතිකා ගායනා කරලා තියෙනවා. තාත්තා‍ගේ ගීත ජනප්‍රිය කුලකයට අයත් වන ගීතයි. බටහිර ආරට ගායනා කළ ගීත බො‍හෝමයක් තියෙනවා. අති විශාල රසික පිරිසක් ඔහුගේ ගීත ආදරයෙන් වැලඳ ගෙන තිබෙනවා.

ක්‍රිස්ටෝපර් පෝල් ගායනා කළ ගීත ඔබත් ගායනා කරනවා නේද…?

තාත්තා වගේම නොවුණත් තාත්තාගේ ගීතවලට හානියක් නොවන ආකාරයට මම අවස්ථා කිහිපයකදීම ගායනා කර තිබෙනවා. ඒ ගීතවලට ජනතාව මොනතරම් ආදරය කරනවා ද කියා මම ඒ අවස්ථාවලදී දැක්කා. ඒ ගීත හරි විදිහට මම නැවත ගායනා කරලා පටිගත කරන්න බල‍ාපොරොත්තු වෙනවා. ප්‍රසංගයක දී සජීව ආකාරයට ගායනා කළත් ඒවා නිසි විදිහට පටිගත වෙන්නේ නැහැ. බාහිර ශබ්ද පටිගත වෙනවා. ඒ නිසා ශබ්දාගාරයක නිසි විදිහට පටිගත කරන්න බලාපොරොත්තු වෙනවා.

ක්‍රිස්ටෝපර් පෝල්ගේ ගීත සම්පත් සම්පත් පෝල්ගේ හඬින් ඉදිරියේදී ජනගත වෙනවා ද…?

තාත්තාගේ ගීත සංරක්ෂණය කිරීම සඳහා මුල් ගීතය රැකෙන විදිහට පටිගත කරනවා. තාත්තාගේ ගීත අනාගතය වෙනුවෙන් ආරක්ෂා කිරීමේ වගකීමක් පුතා හැටියට මට තියෙනවා. සංගීත ප්‍රසංගවල වේග රිද්ම සංගීතවලට ඒ ගීත මුසු කරලා වෙන අය ඒවා විකෘති කරලා පටිගත කරන්න කලින් මුල් ආකාරයටම ඒ ගීත හරි විදිහට පටිගත කිරීම තාත්තා වෙනුවෙන් ඔහුගේ එක ම පුතු හැටියට මාගේ යුතුකමක් වෙනවා.

ක්‍රිස්ටෝපර් පෝල්ගේ ගී ක්‍රිස්ටෝපර් පෝල්ගේ හඬින්ම සුරක්ෂිත කිරීමේ හැකියාවක් නැද්ද.?

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘නොමියෙන මිනිසුන්’ වැඩසටහන අතරතු‍රදී වර්තමාන සභාපති හඩ්සන් සමරසිංහ මහතා සමඟ මේ සම්බන්ධයෙන් මම කතා කළා. දැනටමත් ගුවන් විදුලි සංස්ථාවේ තාත්තාගේ ගීත බොහෝමයක් සුරක්ෂිත ව තිබෙනවා. සභාපතිතුමා කිව්වා මුල් ගීත ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් සකස් කර දෙන්නම් ඇවිල්ලා කතා කරන්න කියලා. තවම තාත්තා නැති වෙලා මාස තුනයි. ඉදිරියේදී මම ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිතුමා හමුවී ඒ ගැන එතුමා සමඟ කතා කරනවා.”

සම්පත් පෝල් වෘත්තීය ගායන ශිල්පියෙක් නොවුණේ ඇයි….?

මට මේ ක්ෂේත්‍රයට පිවිසෙන්න ලොකු ආශාවක් තිබුණා. මම විශාරද නන්දා මාලිනී මහත්මියගේ සංගීත ආශ්‍රමයට ගිහින් නිසි විදිහට සංගීය හැදෑරුවා. නමුත් වෘත්තීය ගායන ශිල්පියෙක් වෙනවාට මගේ තාත්තා කැමති වුණේ නැහැ. මම ඒ නිසා අධ්‍යාපන කටයුතුවලින් පස්සේ වෙනත් රැකියාවකට යොමු වුණා. අදටත් මම ඒ රැකියාව කරගෙන ඉන්නවා. නමුත් ඉඳහිට තාත්තාගේ ගීත ගායනා කරන්න කියලා විවිධ වැඩසටහන්වලදී මට ආරාධනා ලැබෙනවා. මම ඒවාට සහභාගි වෙලා තාත්තාගේ ගීත ගායනා කරනවා.

ඔබගේ පවුලේ විස්තර මොනවාද…?

මම විවාහකයි. බිරිඳ සුධාරා, දූලා දෙන්නා සුහාරා සහ සයුමි. දූලා දෙන්නාටත් ගීත ගායනා කිරීමේ හැකියාව තියෙනවා. ගායන ක්ෂේත්‍රයට එන්න දැනට නම් ඒ ගැන දෙන්නාගේම ලොකු උනන්දුවක් නැහැ.”

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division