Home » මගෙන් ඉල්ලන්නේ ෂාරුක්ව ඒත් මම කැමති මම වෙන්න

මගෙන් ඉල්ලන්නේ ෂාරුක්ව ඒත් මම කැමති මම වෙන්න

by thanushika
September 23, 2023 12:33 am 0 comment

ෂාරුක් ඛාන් වගේ පෙනුම තියෙන තරුණයෙක්ගේ ජායාරූප මේ දිනවල සමාජ මාධ්‍යය ඔස්සේ නිතරම හුවමාරු වෙනවා දකින්න ලැබෙනවා. බැලූ බැල්මට ඔහු ෂාරුක්ව අනුකරණය කරමින් ඉන්නේ. ඇත්තටම ඔහු කවුද? ලංකාවේ ෂාරුක් ඛාන් ලෙසින් සමාජ මාධ්‍යෙය් සැරිසරණ ඔහු කොළඹ ඩී. එස් සේනානායක විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ රජීන් ලක්ෂාන් ය. රජින් පදංචිව ඉන්නේ ගම්පහ කිරිඳිවැල.

ඔබ ෂාරුක් අනුකරණය කරන්න ගන්නේ කොයි කාලෙද?

මේක අහම්බෙන් ගොඩනැඟුණු දෙයක්. මම පුංචි කාලේ ඉඳන් රඟපාන්න ආසයි. මම කලා ක්ෂේත්‍රයට එන්න මොකක් හරි ක්‍රමයක් හොයද්දි මට හම්බුණා ටික් ටොක් කියන සමාජ මාධ්‍යය. ඒකට මම සාමාන්‍ය කෙනෙක් වගේ ෂාරුක් ඉන්න වීඩියෝ එකක් ඩබ් කරලා දැම්මා. එහෙම දැම්මම ඒක වයිරල් වුණා. මගෙන් ඒ විදියේ තව වීඩියෝ කරන්න කියලා කට්ටිය ඉල්ලුවා. ඒ ඉල්ලීම් එක්ක එක දිගටම ෂාරුක් ඉන්න සින්දු කරන්න ගත්තා. මොකක්ම හරි දෙයක් හින්දා මගේ පෙනුමත් ඒවාට ගැළපුණා. මම මගේ සිරුරේ කිසිම වෙනස්කමක් කරලා නැහැ.

පුංචි කාලෙදිත් කියලා තියෙනවද ෂාරුක් වගේ කියලා?

නැහැ එහෙම කවුරුත් කියලා නැහැ. ඇත්තටම පුංචි කාලේ නම් ඒ වගේ පෙනුමක් තිබ්බේ නැහැ. මට ඒ පෙනුම ආවේ අවුරුදු 20න් විතර පස්සේ. දැන් මගේ වයස අවුරුදු විසිතුනක් වෙනවා.

ඔබට කලා ක්ෂේත්‍රයේ වැඩවලට අවස්ථාවන් ලැබිලා තියෙනවද?

ටෙලි නාට්‍යය, චිත්‍රපට සහ ෆොටෝ ෂූට් වගේ ගොඩක් අවස්ථාවන් මේ වෙද්දී ලැබිලා තියෙනවා.

කොහොමද ඒ අවස්ථාවන් ලබා ගන්න හිතාගෙන ඉන්නේ?

ලැබෙන ආරාධනා ඔක්කොම නම් භාරගන්නේ නැහැ. යම් තෝරා බේරා ගැනීමක් එක්ක වැඩ කරන්න තමා හිතන් ඉන්නේ. මේ වෙද්දීත් කතා කරපු වැඩවලින් ලිමිට් එකක් ඇතුව තමයි භාර ගත්තේ.

ටික් ටොක්වල මේ වෙද්දී කොච්චර ෆෑන් බේස් එකක් ඉන්නවද?

දැනට ඉන්නවා ලක්ෂ 3කට වැඩි ප්‍රමාණයක්.

ඔබ වැඩි කාලයක් ගත කරන්නේ ටික් ටොක් එක්කද?

නැහැ. දැනට අවුරුද්දක් විතර කාලයක ඉඳන් ටික් ටොක්වලින් ඈත් වෙලා ඉන්නේ. මගේ පවුලේ අම්මා, තාත්තා, අක්කයි, නංගියි, මල්ලියි, මමයි ඉන්නේ. මේ වන විට මම තාත්තාගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ නිසා ටික් ටොක් කරන්න කාලය හොයා ගන්න බැරිවයි දැන් ඉන්නේ. ඒ වගේම මම නීතිය ඉගෙන ගන්නවා.

ඔබේ වැඩි කැමැත්ත නීතිඥවරයෙක් වෙන්නද?

එහෙම නැහැ. මම නීතිය හදාරන්නේ අධ්‍යාපනික වශයෙන් ශක්තිමත් වියයුතු නිසා සහ නීතිය කියන විෂයට ආස නිසා. මම ආසයි නිතිය ගැන ඉගෙන ගන්න. ඒ හැර නීතිඥවරයෙක් වෙන්නවත් ඒ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්නවත් ලොකු ආසාවක් නැහැ. රංගනයට ආසයි. නළුවෙක් වෙන්න කැමතියි. එහෙම කියලත් කලාව මගේ වෘත්තිය කරගන්න කැමැත්තක් නැහැ. මම කැමති ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් මගේ ස්ථාවරත්වයක් හදාගන්න.

රජීන් ලංකාවේ කැමතිම නළුවා කවුද?

ඉස්සර අයගෙන් නම් විජය කුමාරණතුංග සහ ගාමිණී ෆොන්සේකා මහතාට කැමතියි. දැන් පරම්පරාවෙන් නම් හේමාල් රණසිංහට.

හින්දි සිනමාවේ නම් ඔබ කැමතිම ෂාරුක්ටද?

ෂාරුක්ට විතරක් නෙවෙයි රිතික් රෝෂන්ට අමීර් ඛාන්ට මම ගොඩක්ම කැමතියි.

හැමදාම ෂාරුක් අනුකරණය කරන්නද අදහස?

ඇත්තටම ඔව්. මම මේ වෙද්දී ෂාරුක්ව අනුකරණය කිරීමක් කරන්නේ. ඒ තුළින් ප්‍රේක්ෂකයා යම් වින්දනයක් ලබනවා නම් එකේ ප්‍රශ්නයක් නැහැ. මට රඟපාන්න පුළුවන් කියන එක පෙන්නන්න එළියට දුන්නු දෙයක්. මට ලැබෙන ආරාධනාවලින් තෝරා බේරා කරන්න වෙලා තියෙන්නෙත් එයාලා මගෙන් ඉල්ලන්නේ ෂාරුක්වම නිසා. අනුකරණය තුළින්ම ඉස්සරහට යන්න මගේ අදහසක් නැහැ. මම පෞද්ගලිකවම කැමති මම විදියටම ඉස්සරහට යන්න. ඒ නිසා තව ලොකු කාලයක් මේ විදියට යන එකක් නැහැ. මගේම අනන්‍යයතාවයක් හදාගෙන යන්නයි උත්සහය.

රංගනය ගැන හදාරනවා ද?

ඔව් මම රංගනය හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒකත් එක හේතුවක් මේ කාලයේ මට ලැබෙන ආරාධනා භාර නොගන්න. මම හිතනවා මගේ බාහිර ස්වරූපය දැකලා මට ආරාධනා කළාට තාම රංගනය ගැන තියෙන විශ්වාසය මදි… ඒ නිසා මම මුලින්ම උත්සහ කරන්නේ රංගනය ගැන නිසි හැදෑරීමක් එක්ක ලැබෙන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජනය ගන්න.

අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division