Home » ප්‍රභූ ආරක්ෂාවේ අවධානය නිසා දඬුගම් ඔයේ ඝාතන අබිරහස හෙළි වුණු හැටි

ප්‍රභූ ආරක්ෂාවේ අවධානය නිසා දඬුගම් ඔයේ ඝාතන අබිරහස හෙළි වුණු හැටි

by mahesh
September 23, 2023 12:30 am 0 comment

– පහර දී ඇත්තේ ජපන් යවන්න ගත්ත සල්ලි ඉල්ලලා. කිහිපදෙනෙක් එක දිගට මැරෙන තුරු ගහලා. නිල් පැහැති ගමන් මල්ලක දමා දඬුගම් ඔයට මිනිය දාලා
– ජනමාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලැබීමෙන් අනතුරුව මළ සිරුර හඳුනා ගන්නේ සහෝදරිය විසින්
– රතු පැහැති මෝටර් රථය ගැන මතක් වෙන්නෙ විශේෂ ආරක්ෂක මෙහෙයුම් රාජකාරියක නිරතව සිටි පොලිස් නිලධාරියකුට…

එදා සැප්තැම්බර් 15 වෙනිදාය. 
වේලාව සවස 3.30ට පමණ ඇත.

119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානයෙන් සීදූව පොලිසියට දුරකතන පණිවුඩයක් ලැබෙන්නේ කිරිදිගොඩ , බෙල්ලාන වත්ත ප්‍රදේශයේ දඬුගම ඔයේ ගමන් මල්ලක මළ සිරුරක් පාවෙමින් ඇති බවය.

මෙම පණිවුඩය මිරිහානේ පිහිටි 119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානයෙන් සීදූව පොලිසියට ලබාදෙන්නේ එම මළ සිරුර දුටු අයෙක් විසින් කළ දැනුම්දීමකට අනුවය. එහිදී මළ සිරුරක්ම එම බෑගයේ ඇතැයි 119 හදිසි ඇමතුම් අංශයට දුරකතන ඇමතුම දුන් පුද්ගලයා කීවේ නැත. ඔහු කීවේ ඔය ඉවුරේ ජපන් ජබර අතර සිරවී ඇති නිල් පැහැති ගමන් මල්ලකින් නරක් වී ගිය මිනිස් අතක් බෑගය ඉරාගෙන එළියට පැන ඇති බවකි. ඒ අවට දරා ගැනීමට නොහැකි තරමේ ගඳක් පවා වහනය වන බව ඇමතුම දුන් පුද්ගලයා 119 හදිසි ඇමතුම් අංශයට පවසා තිබුණේය. ඒ හැම දෙයක්ම මිරිහානේ පිහිටි හදිසි ඇමතුම් අංශය මඟින් සීදූව පොලිසියට ඒ මොහොතේම දැනුම් දුන්නේ ඒ ගැන සොයා බලන ලෙස පවසමිනි.

මෙම ඇමතුම ලද සැණින් වහාම ක්‍රියාත්මක වූ සීදූව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනුෂ්ක බණ්ඩාර ඒ කියූ ඉසව්වට යන්නේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද රැගෙනය. ඒ වන විටත් ඒ අවට වැසියන් කිහිප දෙනෙකුම එතැන රැස්වී සිටි බැවින් පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායමට එම ස්ථානය හඳුනා ගැනීමට එතරම් අපහසු වූයේ නැත.

එය නිල් පැහැති ගමන් මල්ලකි. එය තිබෙන්නේ ජපන් ජබර ගාලකට මැදිවීය. ඉවුරේ සිට මීටර් දෙක තුනක් ජලයේ තිබුණු එහි අතක් එළියට පැන ඇත්තේ බෑගය ඉරාගෙනය. එම අත කුණු වී තිබුණේ ඔජස් ගලමිනි. එළියට පැන තිබුණේ වම් අතය. එහි මාපට ඇගිල්ලෙහි නියපොත්ත ඇති කොටස කැපී ඇති බව පෙනී ගියේය. එය කලකට ඉහතදී සිදුවූ තුවාලයක් බව ද පොලිස් ස්ථානාධිපති ධනුෂ්ක බණ්ඩාර දුටුවේය. ඒ ඈත තියා මළ සිරුර හොඳින් නිරීක්ෂණය කිරීම හේතුවෙනි.

“ මේ බොඩි එක අද ඊයේ එකක් නෙමෙයි වගේ පේන්නේ“ ධනුෂ්ක බණ්ඩාර සිය නිලධාරීන්ට එසේ පවසමින් එම නිල් පැහැති බෑගය ගොඩට ගැනීමට පෙර ඒ ගැන සිය උසස් නිලධාරීන් වන මීගමුව කොට්ඨාසයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක, සහකාර පොලිස් අධිකාරී ගාමිණී රත්නායක යන අය දැනුම්වත් කරනු ලැබුවේය. ඒ අයගේ ද උපදෙස් මත මීගමුව කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් ද එතැනට ගෙන්වා ගැනීමට ධනුෂ්ක බණ්ඩාර පියවර ගත්තේය. ඒ මෙම මළ සිරුර හමු වූ ස්ථානය හා ඒ අවට සියුම් විමර්ශනයක් පවත්වමින් විද්‍යාත්මක සාක්ෂි රැස් කරන්නටය. ඒ අතර මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා ට මේ ගැන දැනුම් දෙමින් ඔහුව එතැනට ගෙන්වා ගත්තේ මහේස්ත්‍රාත් අධික්ෂණයෙන් බෑගය ගොඩ ගන්නටය.

දඬුගම ඔයෙන් ගොඩගත් ඒ නිල් පැහැති බෑගය විවර කරනු ලබන්නේ අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් විසිනි. ඒ බෑගයේ පිටත හැම අස්සක් මුල්ලක්ම සිය නිරීක්ෂණයට ලක්කරමින් ජායාරූපගත කිරීමෙන් අනතුරුවය. බෑගය විවෘත කරන විට නහය කඩාගෙන යන ඉවසන්නට බැරි කුණු ගඳක් වහනය වූවත් ඒ සියල්ලම විඳ දරාගෙන වැඩ බලන මහේස්ත්‍රාත්වරයාත් පොලිස් නිලධාරීනුත් සිය නිරීක්ෂණ කටයුතු සිදු කරන්නට විය.

ගමන් මල්ලෙහි වූයේ වකුටු කර සිර කර දැමූ මළ සිරුරකි. එය පිරිමියකුගේය. බෑගය තුළ මළ සිරුරට අමතරව ලොකු කළු ගලක් ද තිබුණේය. ඒ දියට දැමූ මෙම මළ සිරුර සහිත බෑගය දියේ ගිල්ලීමට දැමූවත් බව වටහා ගැනීමට පොලිස් ස්ථානාධිපති ධනුෂ්ක බණ්ඩාර ඇතුළු නිලධාරීන්ට එතරම් අපහසු වූයේ නැත. ඒ අනුව පැහැදිලි වූයේ බෑගයක දැමූ මෙම සිරුර සංවිධානාත්මකව සිදුවූ අපරාධයක් බවකි.

මළ සිරුර එතැනින් රැගෙන යන්නේ මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයටය. මිය ගොස් සිටියේ හොඳින් හැඳ පැලඳගත් පුද්ගලයෙකි. හැද සිටි දිග කලිසමේ බඳ පටියක් පවා දමා තිබුණේය. පාදවල මේස් තිබුණු බැවින් ඔහු සපත්තු පැලඳි පුද්ගලයෙක් බව පැහැදිලි විය. කැපුම් පහරවල් පහරදීම් සලකුණු හෝ වෙනත් ඝාතන සලකුණු කිසිවකුත් බැලූ බැල්මට මළ සිරුරේ පෙනෙන්නට නොවීය. සිරුර හඳුනා ගැනීමට හැකි සාධක ලෙස තිබුණේ මියගොස් සිටි පුද්ගලයාගේ වම් අතේ මාපට ඇඟිල්ලෙහි නියපොත්ත ඇති ස්ථානයේ කොටසක අඩුකම හා ගෙලෙහි දකුණු පැත්තෙහි කන අසල සිට පහළට කොටා තිබුණු තරු 07ක පච්චයකි. එම පච්චය කුඩා තරුවකින් පටන්ගෙන එකින් එක ප්‍රමාණයෙන් විශාල වන ආකාරයේ කොටා තිබූවකි. මෙම මළ සිරුරේ අනන්‍යතාව ඒ වන විට හඳුනා ගෙන නොතිබුණු බැවින් මරණයට හේතුව සොයා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට කිසිසේත්ම ඉඩක් නොවීය. ඒ සිරුර හඳුනා ගැනීමක් කළ යුතුව ඇති බැවිනි. එබැවින් මළ සිරුර හඳුනා ගන්නා තුරු තැබෙන්නේ මීගමුව රෝහල් මෘත ශාරීරාගාරයේය.

මෙම මළ සිරුර සහිත ගමන් මල්ල දඬුගම ඔයට දැමුවේ කවුරුන්ද? කොතකකින්ද? මියගොස් ඇත්තේ කවුරුන්ද? මේ හැම පැනයකටම පිළිතුරු මුල් අවස්ථාවේදී සීදූව පොලිසියේ නිලධාරීන් සතුව නොවීය. ඒ හැම දෙයකටම පිළිතුරු ඇත්තේ සිරුර හඳුනා ගැනීමෙන් අනතුරුව බව වටහා ගත් පොලිස් ස්ථානාධිපති ධනුෂ්ක බණ්ඩාර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව දැනුම්වත් කරනු ලබන්නේ මළ සිරුර හඳුනා ගැනීමට ජනමාධ්‍ය සහය ගැනීමටය. ඒ මළ සිරුර සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ලබාදෙමින් සිරුර හඳුනා ගැනීමට මහජන සහය අපේක්ෂා කරමිනි. දඬුගම ඔයේ ගමන් මල්ලෙන් හමු වූ ගෙලෙහි තරු 07ක් සහිත පච්චයක් ඇති පුද්ගල මළ සිරුර ගැන ජන මාධ්‍ය මඟින් පුළුල් ප්‍රචාරයක් ලැබෙන්නේ ඒ අනුවය.

“අපේ අයියගෙත් බෙල්ලේ තරු හතක ටැටූ එකක් තිබ්බා. පහුගිය 11 වෙනිදා ඉදන් අයියාව හොයා ගන්න නැහැ“ යැයි පවසමින් තරුණියක් විසින් සීදූව පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලබා දෙන්නේ එම මාධ්‍ය ප්‍රචාරයෙන් පැය කිහිපයක් ඉක්ම ගිය තැනය. ඒ 16 වෙනිදා සවස් කාලයේදීය.

ශාමලී නමැති ඇය මහවැව කුඩා වැව පදිංචිකාරියකි. ඇය කී හැඩරුව හැටියට ගමන් මල්ලෙන් හමුවූ සිරුර බොහෝ විට ඇගේ සහෝදරයාගේ බව පොලිස් ස්ථානාධිපති ධනුෂ්ක බණ්ඩාරට හිතුණේය. ඒ බව වඩාත් තහවුරු කර ගැනීමට ඔහු ඇයට පවසන්නේ මළ සිරුර හඳුනාගැනීමට පැමිණෙන ලෙසය. ඒ අනුව ඇය සිය සැමියා වූ නිශාන්ත සමඟ සීදූව පොලිස් ස්ථානයට පැමිණෙන්නේ 17 වෙනිදාය. ඒ සිය සහෝදරයාගේ ඡායාරූප කිහිපයක් ද රැගෙනය.

සැකය නිවැරදිය. දඬුගම ඔයේ පාවෙමින් තිබුණු බෑගයෙන් හමු වූ මළ සිරුර ශාමලීගේ සහෝදරයාගේය. ඔහු ඇටම්පල ආරච්චිගේ සුසන්ත රංජිත් රණසිංහය. උපත ලබා ඇත්තේ 1988 වසරේදීය. ඒ වන විට ඔහු පසුවෙමින් සිට ඇත්තේ 35 වැනි වියේය. සුසන්ත රංජිත් රණසිංහ පදිංචිව සිට ඇත්තේද මහවැවය. අවිවාහකයෙක් වන ඔහු කෙළිලොල් ජීවිතයක් ගතකරමින් සිටියෙකි. ස්ථිර රැකියාවක නිරත නොවූ ඔහු ඒ වන විට ආදායම් මාර්ගයක් ලෙස කරගෙන ගොස් තිබුණේ රුමේනියාව ඇතුළු යුරෝපීය රටවල සහ ජපානයේ රැකියා සඳහා තරුණයන් යවන බව සඳහන් කරමින් මුදල් රැස්කර වංචා කිරීම්ය. ඇගේ නැඟණිය පොලිසියට පවසා ඇති අකාරයට අනුව නම් සිය සහෝදරයා කර ඇත්තේ අතර මැදි කටයුත්තකි. සහෝදරයා විසින් වංචා කළ බව ඇය පිළීගන්නේ නැත. ඇය පවසන්නේ සහෝදරයාටත් ඔහුට ඉහළින් සිටි අය වංචාකර ඇති බවකි. කවුරුන් වංචා කළත් අවසානයේදී තරුණයන්ට රට රැකියා සිහින පෙන්වා මුදල් කඩාගෙන ඇත්තේ සුසන්ත රංජිත් රණසිංහය. ඒ නිසාම රට පුරාම පොලිසියවල ඔහුට එරෙහිව පැමිණිලිද ගොන්නකි. නැඟණිය පවසන ආකාරයට අනුව පසුගිය 11 වෙනිදා අතුරුදන්වන විට ත් ඔහු සිටි ඇත්තේ කට්ටි පනිමින් සැඟවෙමිනි. රට යන්නට මුදල් දී අමාරුවේ වැටී සිටි ඇතැම් අය මහ වැව නිවසට පැමිණ කෑ කෝ ගසා පමණක් නොව, නිවෙසට පහරදී දේපො‍වළට හානි කළ අවස්ථා ද ඇති බව නැඟණිය පොලිසියට කීවාය. මේ හැම දෙයක් ගැනම අවධානය යොමුකළ පොලිස් ස්ථානාධිපති ධනුෂ්ක බණ්ඩාරට පෙනී ගියේ සුසන්ත රංජන් රණසිංහගේ මළ සිරුර දඬුගම ඔයේ බෑගයක පාවීම හා රට රැකියා ජාවාරම අතර යම් සම්බන්ධයක් ඇති බවය.

මළ සිරුර ඒ වන විටත් නැඟණියත් මස්සිනාත් එක්ව හඳුනා ගෙන තිබුණු බැවින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පැවති බාධා ඉවත්ව ගොස් තිබුණේය. ඒ අනුව මීගමුව රෝහල් මෘත ශාරීරාගාරයේදී එතෙක් නාඳුනන මළ සිරුරක්ව පැවති සුසන්ත රංජන් රණසිංහගේ මරණයට හේතුව සොයා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු වන්නේ 18 වෙනිදාය. ඒ මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරියා විසිනි. සුසන්ත රංජන් රණසිංහගේ මරණය සිදුව ඇත්තේ පහරදීමකින් බව පෙනී යන්නේ එහිදීය. එසේ නම් ඔහුට පහදී මරා දැමුවේ කවුරුන්දැයි සොයා විමර්ශන ආරම්භ වන්නේ ඒත් සමඟිනි.

සීදූව පොලිස් ස්ථානය අධීක්ෂණ භාරව සිටි සහකාර පොලිස් අධිකාරී ගාමිණී රත්නායක බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාශයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේත් කාලයක්ම ස්ථානාධිපති ලෙස සේවයකර අබිරහස් ඝාතන ගොන්නක්ම විසදා විමර්ශන අත්දැකීම් බහුලව ඇති නිලධාරියෙකි. මෙම අපරාධය විසඳීමට සීදූව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනුෂ්ක බණ්ඩාරට මඟ කියා දෙමින් හයියක් වන්නට වූයේ ඔහුය. ගාමිණි රත්නායකගේ උපදෙස්වලට අනුව යමින් විමර්ශන පැවැත්වීමට ධනුෂ්ක බණ්ඩාර පොලිස් කණ්ඩායමක්ම පත්කරනු ලැබීය. අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාර, උප පොලිස් පරීක්ෂකවරුන් වන මධුසංක, සුදත්, කොස්තාපල්වරුන්වන බණ්ඩාර (63561), වන්නිනායක(37928), තිලකරත්න (79888), බණ්ඩාර (27180), රණසිංහ (56302), ජයසුන්දර (97900), ජයලත් (97509), කාන්තා පොලිස් කොස්තාපල් කාවින්ද්‍යා රාජපක්ෂ (12052) සහ කොස්තාපල් රියැදුරු වනිගසූරිය (19253) යන නිලධාරීන් කණ්ඩායමට ඇතුළත්ව සිටියේය. මෙහිදී මෙම නිලධාරීන්ට පොලිස් ස්ථානාධිපති ධනුෂ්ක බණ්ඩාර විසින් විවිධ විමර්ශන ඉලක්ක ලබා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් කියුබානු සහ අමෙරිකානු සංචාරය සඳහා මෙරටින් පිටත්ව යාමට සමගාමීව කටුනායක අධිවේගී මාර්ගය ආශ්‍රිතව පැවති විශේෂ ආරක්ෂක මෙහෙයුම් රාජකාරියක නිරතව සිටි පොලිස් නිලධාරියකුගේ මතකයට නැඟෙන්නේ 12 වෙනිදා අලුයම් කාලයේදී අධිවේගී මාර්ගයට යටින් දිවෙන කිදිගොඩ කලපුව පාරේ ගමන් කළ රතු පැහැති මෝටර් රථයක් කෙරෙහිය. එම මෝටර් රථයේ හැඩය ගැන හොඳ මතකයක් එම නිලධාරියාට තිබුණත් එහි අංකයක් ඔහුගේ මතකයේ හරිහැටි නොවීය. අලුයම් කාලයේදී එම රථය එම කලපු මාර්ගයේ ගමන් කළේ ඇයිදැයි ඒ අනුව පොලිස් ස්ථානාධිපති ධනුෂ්ක බණ්ඩාර ඇතුළු නිලධාරීන්ට ගෙන දුන්නේ දැඩි සැකයකි. එම සැකය මුල් කරගෙන එම මෝටර් රථය හඳුනා ගැනීමේ මෙහෙයුම දියත් වන්නේ ආරක්ෂක කැමරා දත්ත පරීක්ෂාවක් ඔස්සේය. එය පහසු කටයුත්තක් නොවූවත් පොලිස් නිලධාරීන් වෙහෙසකර මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස එම මෝටර් රථය එක් ආරක්ෂක කැමරාවක සටහන්ව තිබී සොයා ගත්තේය. එම කැමරා දර්ශනවල මෝටර් රථයේ අංකය පැහැදිලි නැතත් මෝටර් රථයේ හැඩය සහ වර්ණය ඔස්සේ එහි ගමන් මඟ පන්නන්නට වූයේ ඒ ඔස්සේ පැහැදිලි තොරතුරක් අනාවරණය කර ගැනීමේ අපේක්ෂාව ඇතිවය. එම ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ හඹා යන විට පෙනී යන්නට වූයේ රථය පරණ සීදූව හන්දිය දෙසට ගමන් කරන බවකි.

පොලිස් ස්ථානාධිපති ධනුෂ්ක බණ්ඩාරට සුවිශේෂී දුරකථන ඇමතුමක් ලැබෙන්නේ මේ අතරතුරදීය. එමඟින් කියැවෙන්නේ පසුගිය 11 වෙනිදා සවස් කාලයේ දාගොන්න ප්‍රදේශයේ පොල් වත්තක් ආශ්‍රිත මාර්ගයකදී තරුණයකුට කළ අමානුෂික පහරදීමක් ගැනය. මෙම ඇමතුම ලබා දුන් පුද්ගලයා පවසන්නට වූයේ ඒ අසල රතු පැහැති මෝටර් රථයක්ද නතර කර තිබුණු බවය. එහි අංකය පවා ඔහු එම අවස්ථාවේදී සටහන් කරගෙන තිබී ඇත්තේ ඇතිවුණු යම් සැකයක් මුල් කරගෙනය. එම අංකය පවා පොලිස් ස්ථානාධිපතිවරයාගේ කනෙහි තැබීමට එම ඇමතුම දුන් පුද්ගලයා පියවර ගත්තේ සිය අනන්‍යතාව පවා සඟවමිනි.

කලපුව පාරේ සැකකටයුතු රතු පැහැති මෝටර් රථයක් ධාවනය කරනු ලබන්නේ 12 වෙනිදා අලුයම් කාලයේදීය. දාගොන්නේදී තරුණයකුට පහරදීමක් සහ රතු පැහැති මෝටර් රථයක් ඒ අසල තිබෙන්නේ 11 වෙනිදා සවස් කාලයේදීය. මේ දෙක අතර යම් සම්බන්ධයක් ඇතැයි අනුමාන කරමින් ධනුෂ්ක බණ්ඩාරනායක ඇතුළු නිලධාරීන් මුලින්ම මෙම මෝටර් රථයේ හිමිකරු හඳුනා ගැනීමට පියවර ගන්නේ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ද සහය ඇතිවය. එම රථය මෝටර් රථයක් යැයි කීවාට කුඩා වෑන් රථයක් බව පෙනී යන්නේ එහි ලියාපදිංචි තොරතුරු පොලිස් නිලධාරීන් අතට පත්වීමෙන් අනතුරුවය. එම රථයේ ලියාපදිංචි හිමිකරු කටාන පොලිස් වසමට අයත් කිඹුලාපිටියේය. එම ලිපිනය සොයා යන්නේ අපරාධ අංශයේ පොලිස් පරීක්ෂක කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමකි. එම ස්ථානයේ පිහිටියේ සමනල හෝටලය නම් වූ නවාතැන් පොළකය. රථයේ ලියාපදිංචි හිමිකරු වූයේ එම හෝටලයේ හිමිකරු රුවන් කුමාරය. පනස් හැවිරිදි වියේ පසු වූ රුවන් කුමාර පදිංචිව සිටි නිවෙස පිහිටා තිබුණේ හෝටලය පිටුපස කොටසේය. කිඹුලාපිටිය රුක්අත්තන හන්දියේ පිහිටි මෙම හෝටලය ඒ පැත්තේ ප්‍රසිද්ධ හෝටලයකි. දඬුගම ඔයේ ගමන් මල්ලෙහි පාවෙමින් තිබුණු මළ සිරුරේ අබිරහස විඳෙන්නට ගත්තේ මෝටර් රථයේ ලියාපදිංචි හිමිකරුවන් සොයා පොලිසිය එහි ගිය ගමනේදීමය.

රට රැකියාවලට යවන බව පවසමින් රට වටේටම පොලු තබා කට්ටි පනිමින් සිටි සුසන්ත රංජන් රණසිංහ සමනල හෝටලයේ හිමිකරුට ද රුපියල් ලක්ෂ 24ක පොල්ලක් තබා තිබුණේය. ඒ ඔහුගේ පුතුන් දෙදෙනා ජපානයේ රැකියාවකට යවන බව කියමිනි. රුවන් කුමාරගේ වැඩිමහල් පුතා අවුරුදු 25ක තරුණයෙකි. බාලයා අවුරුදු 23ක තරුණයෙකි. ඔවුන් සිහින මැව්වේ ජපානයේ රැකියාවක් කිරීමටය. රුවන් කුමාර තමා දන්නා කියන අයෙක් මඟින් දැන හඳුනාගත් සුසන්ත රංජන් රණසිංහට රුපියල් ලක්ෂ 24ක්ම දෙන්නේ දරුවන් දෙදෙනාව එකවරම ජපානයට යැවීමට හැකි බව ඔහු පැවසීම හේතුවෙනි. කතාබහේදි රුවන් කුමාරගේ විශ්වාසය පවා දිනාගත් සුසන්ත රංජන් රණසිංහ රුපියල් ලක්ෂ 24ක මුදල පවා ලබා ගත්තේ එම ගමන සංවිධානය කිරීමට වැය වන මුදලින් සුළු කොටසක් ලෙසිනි. රුවන් කුමාර ඒ වන විටත් සූදානම්ව සිට ඇත්තේ ලොකු ගාණක් ඒ වෙනුවෙන් වැය කිරීමටය. එම මුදල් ලබා ගැනීමෙන් පසු සුසන්ත රංජන් රණසිංහ විවිධ හේතු කියමින් රුවන් කුමාරව මඟ හරින්නට වූයේ අවසානයට ඔහු ඉන්නා කියන තැන්වලින් ද අතුරුදන් වෙමිනි. ඔහුව සොයා මහා වැව නිවෙසට ගොස් බඩු මුට්ටු පවා පොඩි කර දැමූවන් අතර රුවන් කුමාර ද සිටියේය.

කට්ටි පනිමින් සිටි සුසන්ත රංජන් රණසිංහව කොටුකර ගැනීමට හැමවිටම රුවන් කුමාර සිටියේ මාන බලමිනි. කොළඹ පිටකොටුව පාවෙන වෙ‍ෙළඳ සංකීර්ණය ආසන්නයේදී සුසන්ත රංජන් රණසිංහ පසුගිය 11 වෙනිදා කොටු වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. පාවෙන වෙ‍ෙළඳ සංකීර්ණය අසලින් රතු පැහැති වාහනයේ ඔහුව දමාගෙන රුවන් කුමාර ඔහුව රැගෙන එන්නේ දාගොන්නටය. ඒ වැඩිමහල් දරුවා වන නිමර්ශන සහ හෝටලයේ සේවකයකු වන කරුණාරත්න සමඟ එක්වය. කරුණාරත්න අවුරුදු 40ක් වයසැති පොලොන්නරුව නාගස්පුර පදිංචිකරුවෙකි. දාගොන්න වැව පාරේ පාළු ස්ථානයකට රැගෙන එන සුසන්ත රංජන් රණසිංහට මේ පිරිස එක්ව පහර දෙන්නේ රට රැකියා පෙන්වා කළ වංචාවට මතක හිටින්න පාඩමක් ඉගැන්වීමේ අපේක්ෂාව ඇතිවය. සීදූව පොලිස් ස්ථානාධිපති ධනුෂ්ක බණ්ඩාරට දුරකතන ඇමතුමකින් මෝටර් රථය ගැන තොරතුරු කියන්නේ එදා එම පහර දීම දුටු අයෙකි. එම පුද්ගලයා විසින් ලබා දුන් දුරකතන අංකය ඔස්සේ විමර්ශන ඉදිරියට යමින් මේ හැම දෙයක්ම හෙළි කරගන්නට හැකියාව ලැබෙන්නේ රුවන් කුමාරගෙන් ප්‍රශ්න කිරීමේදීය. දාගොන්න වැව අසලදී එල්ල කළ එම ප්‍රහාර හමුවේ බේරී පළායාමට ද සුසන්ත උත්සහ කිහිපයකම නිරත වී ඇත්තේය. එහෙත් ඒ හැම උත්සහයක්ම වැළකී ඇත්තේ සුසන්තට තනිවම ඔවුන් තිදෙනා සමඟ සටන් කරමින් පළායාමට ශක්තියක් නොවූ බැවිනි. අඩපණ වන තුරු දාගොන්න වැව අසල තබාගෙන සුසන්තට පහර දුන් රුවන් කුමාර ඇතුළු පිරිස අනතුරුව ඔහුව මෝටර් රථයට දමාගෙන රැගෙන යන්නේ කිඹුලාපිටියේ පිහිටි සමනල හෝටලයටය. එහි පිටුපස කොටසේ අලුතෙන් ඉදිවන දෙමහල් කබානා දෙකෙන් එකකට රැගෙන යන ඔහුව එහි ගැට ගසා රුවන් කුමාර නැවත පහර පිට පහර දෙන්නේ තමන්ගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 24 ඉල්ලමිනි. ඒ වන විටත් ඒ මුදල් කාන්තා ඇසුරට සහ කාබී විනෝද වන්නට ඔහු වැය කර හමාරය. රුවන් කුමාරට ලබා දෙන්නට ඔහු සතුව ඒ වන විට සතේ අතේ නොවීය.

සුසන්තට පහරදී රුවන් කුමාරට හති වැටී සිටින විට රුවන්ගේ දෙවැනි පුතා දේශාන් ද තරහ පිට කරනු ලබන්නේ පහරවල් කිහිපයක් එල්ල කරමිනි. ඒ අතර හෝටලයේ ඒ වන විට රැඳී සිටි සෙසු සේවකයන් ද පහරක් දෙකක් එල්ල කරන්නට වූයේ සිය හාම්පුතාගේ මඟ යමිනි. ඒ අය අතර බාලසූරිය නමැති 32 හැවිරිදි වියැති සේවකයෙක්ද සිටියේය. ඔහු මහනුවර හපුදෙනියේ පදිංචිකරුවෙකි. ඒ හැරුණු කොට චාමල් කුමාර නමැති සේවකයා ද සිටියේය. ඔහු 36 හැවිරිදිය. ඔහු කිරින්ද පුහුල්වැල්ලේ පදිංචිකරුවෙකි.

මේ හැමෝම එක්ව විටෙන් විට කළ පහරදීම් ඉවසා ගැනීමට නොහැකිව සුසන්ත සිය අවසන් හුස්ම පොද වාතලයට මුසු කරනු ලබන්නේ සමනල හෝටලයේ ඉදි කෙරමින් තිබුණු කබානාව තුළය. ඒ යැයි කියා රුවන් කුමාර කලබල වූයේ නැත. මළ සිරුර ගමන් මල්ලක දමා ඊට කළු ගලක් ද දමා වැසුවේය. ඒ ගමන් මල්ල ගඟකට හෝ මුහුදකට දැමීමේ සැලසුමක් ඇතිවය. කළුගලක් දමන්නේ මළ සිරුර සහිත ගමන් මල්ල පානොවී දියේ ගිල්වන්නටය.

ගමන් මල්ල මෝටර් රථයේ දමාගෙන සිය පුතුන් සහ සේවකයන් කිහිප දෙනෙක් ද එහි නංවා ගෙන රුවන් කුමාර ගමන් කරන්නට වූයේ සීදූව දෙසටය. ඒ ගමන් මල්ල කලපුවට දැමීමටය. එදා පොලිස් ආරක්ෂාවක් ඒ ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක වීම හේතුවෙන් ඔවුන්ට සිදුවන්නේ මළ සිරුර කලපුවට දමනවා වෙනුවට පරණ සීදූව හන්දියට ආසන්නයේ ඇති කොටුගොඩ පාරේ පාලමෙන් දඬුගම් ඔයට දමන්නටය. 12 වෙනිදා පාන්දර ජාමේ මළ සිරුර සහිත ගමන් මල්ල එසේ පාලමෙන් ඔයට දැමූ ඔවුන් සිතන්නේ මෙම අපරාධය කිසිදා හෙළි නොවන අපරාධයක් බවට පත්වනු ඇතැයි කියාය.

ගඟේ ගිලිණු එම ගමන් මල්ල පාවෙන්නට පටන් ගෙන ඇත්තේ දින කිහිපයක් ගත වන විට සිරුර ජලයේ තිබී නරක් වෙමින් පිම්බෙන්නට පටන් ගැනීමත් සමඟිනි. කිලෝ මීටර් දෙකතුනක් දුර දඬුගම ඔයේ පාවෙමින් කලපුව දෙසට ඇදී ගිය බෑගය ජපන් ජබර ගොන්නක් මැද සිර වෙන්නේ ගමන් මල්ල පිපිරී සිරුරේ අතක් ද එළියට පනිමිනි. පොලිසියට මෙම බෑගය ගැන තොරතුරු 119 ඔස්සේ ප්‍රදේශවාසීන් ලබා දෙන්නේ එම අත දුටු නිසාය. 15 වෙනිදා සවස 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද එම දුරකතන ඇමතුමෙන් සොයාගත් බෑගයේ තිබුණු මළ සිරුරේ අබිරහස සීදූව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනුෂ්ක බණ්ඩාර ඇතුළු නිලධාරීන් 19 වෙනිදා වන විට විසඳන්නේ ඝාතකයින් ද අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ගෙන එමිනි.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division