Home » සතියේ කලදවස

සතියේ කලදවස

by thanushika
September 23, 2023 12:29 am 0 comment

මේෂ – දරුවන්ගේ අධ්‍යාපන දියුණුව

සඳු ගමන් කරන්නේ 10, 11, 12 යන ලග්න භාවය මතිනි. රැකියා කටයුතුවල ප්‍රගතියක් පෙන්වන ලැබීම් සහිත දින කීපයකි. ගෘහ ජීවිතය තුළ යුතුකම් ඉටුකරන දරුවන්ගේ අධ්‍යාපනය සතුටුදායක ලෙස කරගෙන යන වාසනාවන්ත සතියකි. නිෂ්ඵල වියදම්, නිෂ්ඵල ගමන්, කලකිරීම් වැනි දේවල් ද සිදුවීමට හැකි බැවින් කල්පනාකාරී වන්න. අපල අවම කරගැනීමට අක්ෂි දුර්වලතා ඇති අයට උදවු කරන්න.

සුබ අංක – 4, 5, සුබ වර්ණ – නිල්, රතු, සුබ දවස – ඉරිදා

වෘෂභ – පුණ්‍ය සිතුවිලි සහිත සතියක්

සඳු ගමන් කරන්නේ 9, 10, 11, 12 යන භාවයන් මතිනි. පුණ්‍ය කටයුතු සඳහා උදවු උපකාර කරමින් රැකියා, ව්‍යාපාර ආදියෙන් ලාභ ප්‍රයෝජන හිමි කරගනිමින් සතුටුදායක ලෙස ගෘහ ජීවිතය ගෙන යයි. ඥාති හිතවතුන් නිවසට පැමිණෙන ආර්ථිකය ශක්තිමත්, දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය දක්වන සතියකි. අපල අවම කරගැනීමට සමාජ සුබ සාධන කටයුතුවල නිරත වන්න.

සුබ අංකය – 6, සුබ වර්ණය – රෝස, සුබ දවස – සෙනසුරාදා

මිථුන – ගෘහ ජීවිතයේ සතුට

සඳු ගමන් කරන්නේ 8, 9, 10, 11 යන භාවයන් මතිනි. ආරම්භය කනගාටුදායක පුවතක් කන වැකෙන්නට පුළුවන. ඉන්පසු දින කීපය අයහපත් නොවේ. රැකියා, ව්‍යාපාරවලින් ආදායම් හිමි කර දෙයි. පුණ්‍ය කටයුතුවලට සහභාගි වෙමින් ගෘහ ජීවිතය සතුටින් පවත්වාගෙන යයි. අපල අවම කරගැනීමට පාසල් යන අගහිඟතා ඇති දරුවෙකුට පොතපත පරිත්‍යාග කරන්න.

සුබ අංකය – 5, සුබ වර්ණය – කොළ, සුබ දවස – සිකුරාදා

කටක – ව්‍යාපාර කටයුතුවලට සුබදායකය

සඳු ගමන් කරන්නේ 7, 8, 9, 10 යන භාවයන් හරහාය. ව්‍යාපාර කටයුතුවලට සුබපල ගෙනෙන ගෘහ ජීවිතය ගැටලු නොමැතිව පවත්වාගෙන යන රැකියාවලින් ලාභ ප්‍රයෝජන ගෙන දෙන සතියක් බව පෙනෙන්නට ඇත. අපල අසනීප ගති පෙන්වන බැවින් අන්තරාය නිවාරණ පිරිත කියා ගමනබිමන යන්න.

සුබ අංකය – 7, සුබ වර්ණය – සුදු, සුබ දවස – සඳුදා

සිංහ – විදෙස් ගමන්වල සාර්ථකත්වය

සඳු ගමන් කරන්නේ 6, 7, 8, 9 යන භාවයන් මතිනි. ආරම්භය ගැටලු සහගත විය හැකි අතර ඉන් පසුව රැකියා, ව්‍යාපාර ආදියෙන් ලාභ ප්‍රයෝජන හිමිකර දෙන පුණ්‍ය කටයුතුවලට යොමු කෙරෙන බවක් පෙන්වයි. විදෙස් ගමන් සාර්ථක විය හැක. ගෘහ ජීවිතය සතුටින් ගෙවෙයි. අපල අවම කර ගැනීමට සූරිය පිරිත උදේට කියන්න.

සුබ අංකය – 4, සුබ වර්ණය – රතු, සුබ දවස – අඟහරුවාදා

කන්‍යා – දරුවන්ගේ බලාපොරොත්තු ඉටු වේ

සඳු ගමන් කරන්නේ 5, 6, 7, 8 යන භාවයන් මතිනි. දරුවන්ගේ යහපත් බලාපොරොත්තු සපල වන ප්‍රමාද වූ විවාහ දරුපල ආදි කරුණුවලට සුබ පල උදා කරන සතියකි. ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ගෙන දෙයි. සමාජ සේවා කටයුතුවලදී ප්‍රසාදයට ලක්වේ. අපල අවම වීමට කොහොඹ පැළයකට සත්කාර කරන්න.

සුබ අංකය – 7, සුබ වර්ණය – කොළ, සුබ දවස – සිකුරාදා

තුලා – ගෙදර දොර අලංකරණයට වෙහෙසෙයි

සඳු ගමන් කරන්නේ 4, 5, 6, 7 යන භාවයන් මතිනි. ගෙදර දොර කටයුතුවලට ප්‍රමුඛත්වයක් දී කටයුතු කරයි. අලංකාරයට වැඩි කාලයක් ගත කරන මාපිය සහයෝගය හිමි වන සතියකි. ව්‍යාපාර ලාබ හිමි වේ. වෙනත් ලැබීම් ද සහිතය. රැකියා සඳහා ඇවිදිලි වැඩ යෙදේ. අපල අවම වීමට කුසගින්නේ සිටින අයෙකුට ආහාර වේලක් දෙන්න.

සුබ අංකය 6, සුබ වර්ණය – ක්‍රීම්, සුබ දවස – බදාදා

වෘශ්චික – පදිංචි ස්ථානයේ දියුණුව

සඳු ගමන් කරන්නේ 3, 4, 5, 6 යන භාවයන් මතිනි. සහෝදර සහයෝගය ඇති දූදරු මාපිය බැඳීම් වර්ධනය කරන සතියකි. සහජ දක්ෂතා ඔප් නැංවේ. පදිංචි ස්ථානයේ දියුණුව ගෙන දෙයි. රැකියා සඳහා ඇවිදිලි වැඩ යෙදේ. දරුවන්ගේ බලාපොරොත්තු පල දරයි. අපල අසනීප සුළු වශයෙන් පවතී. අපල අවම වීමට ලේ දෝෂ, අක්ෂි රෝග ඇති අයට උපකාර කරන්න.

සුබ අංකය – 7, සුබ වර්ණය – රතු, සුබ දවස – බ්‍රහස්පතින්දා

ධනු – අතමිට මුදල් ගැවසේ

සඳු ගමන් කරන්නේ 2, 3, 4, 5 යන භාවයන් මතිනි. අතමිට මිල මුදල් ගැවසේ. සහෝදර උපකාර හිමි වන අතර පවුලේ සාමාජිකයන්ගේ බැඳීම් වර්ධනය වේ. දරුවන්ගේ අධ්‍යාපනික දක්ෂතා අසන්නට ලැබෙයි. පුණ්‍ය කටයුතු සඳහා යොමු වන බවක් ඇත. රැකියා, ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන හිමිකර දෙයි. අපල අවම වීමට වස් කාලයේ බෝධි පූජාවලට යොමුවන්න.

සුබ අංකය – 9, සුබ වර්ණය – කහ, සුබ දවස – ඉරිදා

මකර – මානුෂීය ගුණධර්ම ප්‍රගුණ වේ

සඳු ගමන් කරන්නේ ලග්නය 1, 2, 3, 4 යන භාවයන් හරහාය. මානුෂීය ගුණධර්මවලින් යුතු ඔබ පදිංචි ස්ථානයේ දියුණුව වෙනුවෙන් කැපවීම් කරයි. මිල මුදල් අතමිට ගැවසේ. පවුලේ සාමාජිකයන් අතර බැඳීම් වර්ධනය කෙරේ. පුණ්‍ය කටයුතු වෙනුවෙන් කාලය වැය කරයි. නිවාස, දේපළ, ලාභ පෙන්නුම් කරයි. අපල අවම කරගැනීමට භාවනාවක යෙදෙන්න‍.

සුබ අංකය – 9, සුබ වර්ණය – නිල්, සුබ දවස – සිකුරාදා

කුම්භ – පුණ්‍ය කටයුතු වෙනුවෙන් කැප වේ

සඳු ගමන් කරන්නේ 12, 1, 2 සහ තුන්වැන්න හරහාය. ආරම්භය ගැටලු සහගත වුවත් ඉන්පසු දින කීපය අයහපත් නොවේ. ස්වෝත්සාහයෙන් සියලු වැඩකටයුතු කර ගනියි. පුණ්‍ය කටයුතු වෙනුවෙන් කැපවීම් කරයි. කතාවෙන් අන්‍යයන්ගේ සිත් දිනා පැහැදීමක් ඇති කරයි. සහෝදර උපකාර මාපිය සහයෝගය ලබයි. සුබ සතියකි. අපල අවම වීමට දුර්වල අයෙකුට උපකාර කරන්න.

සුබ අංකය – 3, සුබ වර්ණය – නිල්, සුබ දවස – සිකුරාදා

මීන – ලැබීම් සහිත සතියකි

සඳු ගමන් ආරම්භ කරන්නේ 11, 12 ලග්නය හා දෙවැන්න මතිනි. ආරම්භය සතුටුදායකය. ආර්ථිකය ශක්තිමත් වේ. අතමිට මිල මුදල් ගැවසේ. සමාජ සේවා හා සුබ සාධන කටයුතු පොදු කටයුතුවලට උදවු කරයි. කීර්තිය ගෞරවය හිමි වෙයි. ගෘහ ජීවිතයේ සමාදානය ඇති වේ. අපල අනතුරු සුළු වශයෙන් පවතී. වස් කාලයේ බෝධි පූජාවලට සහභාගි වන්න.

සුබ අංකය – 9, සුබ වර්ණය – කහ, සුබ දවස – බ්‍රහස්පතින්දා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division