Home » අල්ලේ රේඛාවලින් හෙළිවන ලෙඩ රෝග

අල්ලේ රේඛාවලින් හෙළිවන ලෙඩ රෝග

by thanushika
September 23, 2023 12:15 am 0 comment

අල්ල පරීක්ෂා කිරීමෙන් හා අල්ලේ පිහිටන රේඛා ලක්ෂණ සලකුණු ආදියෙන් කෙනෙකු තුළ බලපවත්නා රෝග ලක්ෂණ මොනවාදැයි කලින් දැන ගැනීමට හැකිවීම හස්ත රේඛා විද්‍යාව තුළින් ලද හැකි මහඟු කාර්යයකි. එය බොහෝ විට එම රෝග වළක්වා ගැනීමට ද මහත් පිටිවහලක් වෙයි. අල්ලක පිහිටන ප්‍රධාන රේඛා අප්‍රධාන රේඛාවලින් මෙන්ම අල්ලේ පිහිටන තිත්, ලප, දූපත් සලකුණු මඟින්ද කෙනෙකුට බලපාන ලෙඩ දුක්, හදිසි අනතුරු ආදිය ද කලින් දැනගත හැකිය.

අල්ලේ සිනිඳු ගතියෙන්ද, ප්‍රධාන රේඛා නොකැඩී පැහැදිලිව පිහිටීමෙන්ද සිහින් රේඛාවල අවම වීමද බොහෝ විට පුද්ගලයන්ගේ නීරෝගිකම පැහැදිලි වන බව සාමුද්‍රක ශාස්ත්‍රයේ පෙන්වා දී ඇත. නීරෝගි අයෙකුගේ අල්ල සුදු මිශ්‍ර රෝස පැහැයෙන් යුක්ත වන අතර ඉතා සියුම් උණුසුම් බවක්ද පෙන්වයි. ප්‍රධාන රේඛාවන් පැහැදිලිව පෙන්නුම් කළ යුතු අතර එම රේඛාවන් කැපීම්, බිඳීම්වලින් යුක්ත නොවිය යුතුය. අල්ල හා රේඛා රක්ත වර්ණයෙන් ද දිස් වීම, අල්ල වියළි බවක් පෙන්වීම ග්‍රහ මණ්ඩල රක්ත වර්ණ වීම ගැස්ට්‍රයිටීස් වැනි රුධිරය ආශිත රෝග වැලඳීමට හේතු වේ. අල්ලේ විහිදෙන පළල් වූ සියුමැලි රේඛාවලින් ශාරීරික දුර්වලකම් හා පාණ්ඩු ගතිය ප්‍රකට කරන අතර කිසියම් අයෙකුගේ අල්ල, සම හා රේඛා කහ පැහැයට හුරුනම් එමඟින් පෙන්නුම් කරන්නේ පිත් අධික රෝග වැලඳීමේ ප්‍රවණතාවක් ඇති බවයි. එය සෙංගමාලය වැනි උණ රෝග වැලඳීමට හේතු විය හැකිය. විවිධ වර්ණවලින් යුතු අඳුරු පැහැති රේඛාවලින් ආම වාත රෝගවලින් පීඩා විඳීමට සිදුවිය හැකිය.

කෙනෙකුගේ ශරීරය තුළ රුධිර සංසරණයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව විශේෂයෙන් සටහන් වන රේඛාව හෘදය රේඛාව වේ. රුධිර ධාවනයේ යම්කිසි අක්‍රමිකතාවක් ඇතිවූ විට එම මොහොතේම හෘදය රේඛාවේ සටහන් වන නිසා සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමේදී අල්ලේ අනිත් රේඛාවලට වඩා හෘදය රේඛාව වැදගත් වෙයි. පෙණහලු හා ශ්වාසනාලයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ද මෙම රේඛාවේ සටහන් වෙයි. හෘදය රේඛාව කහ පැහැ ගැන්වී තිබීම හෘදය රෝග හෝ පෙණහලු රෝග ඇති බවට සලකුණකි. අධික දුම්පානය හෝ මත්පැන් පානය කරන අයගේ හෘදය රේඛාව කහ පැහැ ගැන්වී ඇති බව දැකිය හැකිය. හෘදය රේඛාව ගැඹුරුව අල්ලේ පිහිටා ඇති අය බොහෝ විට රුධිර ධාවන රෝග, ස්නායු දුර්වලතා ඇතිවීමෙන් අංශභාග වැනි රෝග පීඩාවන්ට ගොදුරු වෙයි. හෘදය රේඛාවේ කළු පාට තිත් වැටීම හදිසියේම හෘදයාබාධ රෝගයක් වැලඳීමට හේතු වන අතර ඒවා රතු කහ පැහැයකින් යුතු ලප තිත් අධික වීම රෝග තත්ත්වයන් පිළිබඳ සලකුණු ලෙස සැලකේ. එමෙන්ම මෙම පිහිටීම් ඇති බොහෝ පුද්ගලයින් දැඩි ලෙස කෝපසහගත වේ.

ජීවන රේඛාවේ පිහිටි ලප හෝ තිත්වලින් ද රෝගාබාධ හෝ කිසියම් ඥාතිවරයෙකුගේ වෙන්වීමක් පෙන්වන අතර එම ලප සටහන් කළු පැහැයට හෝ කහ පැහැවී නම් රෝගාබාධ ලක්ෂණයකි. බොහෝ විට ස්නායුගත රෝග මතුවීමට පුළුවන. අල්ලේ රේඛාවල පිහිටි දූපත් සටහන්වලින් ද අසනීපයක ලකුණු පෙන්නුම් කරන අතර නැතිනම් එම සලකුණ මානසික දුර්වලතාවන් ප්‍රකට කෙරේ. රේඛාවක් පැළීමෙන් අතු දෙකකට බෙදී නැවත එම අතු රේඛා එකතු වීමෙන් දූපත් සලකුණ නිර්මාණය වෙයි. කල්ගත වන රෝග, පාරම්පරික රෝග වැනි ව්‍යාධීන් පිළිබඳව දූපත් සටහනකින් හඳුනාගත හැකිය. මේ අනුව ශීර්ෂ රේඛාවේ දූපත් සලකුණින් මානසික රෝගාබාධ ද ජීවන රේඛාවේ දූපත් සලකුණුවලින් ශාරීරික දුබලතා ද, දෛව රේඛාවේ වී නම් දෛවය වෙනස් කරන තරමේ බලවත් රෝගද, අර්ථිකයේ බිඳ වැටීම් ද රවි රේඛාව හෙවත් කීර්ති රේඛාවේ නම් චර්ම රෝග මෙන්ම අපකීර්තිය, රාජ්‍ය දඬුවම්, තනතුරුවලින් පහවීම් ආදි අශුභ සිදුවීම් ද සුඛ රේඛාවේ වී නම් අනිවාර්යයෙන්ම රෝග පීඩා හෙළි කරන අතර සිකුරු මණ්ඩලයේ නම් ආදරය සම්බන්ධවද, අල්ලේ මැද කුජ තලාවේ නම් ලේ කෝප වීමෙන් ඇතිවන රෝග එනම් බොහෝ විට හෘදයාබාධ විය හැකිය. ගුරු මණ්ඩලයේ දූපත් ලකුණින් නම් ආත්ම ගෞරවයට හානියක් සිදුවිය හැකි අතර එය කාන්තාවකගේ අතේ පිහිටියේ නම් ඇය තම කන්‍යාභාවය නැතිකරගන්නා තැනැත්තියක් වේ.ජීවන රේඛාව දම්වැල් ආකාරව පිහිටීම ඉතා අභාග්‍යසම්පන්න යුගයකට මුහුණ පෑමකි. එම රේඛාව චන්ද්‍ර මණ්ඩලයෙන් කෙළවර වන්නේ නම් ගර්භාශගත රෝග හා මුත්‍රා රෝග ප්‍රකට කෙරෙන අතර චන්ද්‍ර මණ්ඩලයේ කතිර සලකුණු හා කවාකාර සලකුණු ජලයෙන් වන විපත් පෙන්නුම් කරයි. ජීවන රේඛාව තරු ලක්ෂණයකින් අවසන් වීම සිරුරේ දුබලතා හා ඌෂ්ණ රෝග පිළිබඳව දැනුම්වත් කරයි.

අල්ලේ රේඛාවන් අතරින් විශේෂයෙන් සෞඛ්‍ය පිළිබඳව සටහන් වන රේඛාව සුඛ රේඛාව නමින් හඳුන්වයි. මෙම රේඛාව ප්‍රධාන වශයෙන් චන්ද්‍ර මණ්ඩලයෙන් ආරම්භ වී බුධ මණ්ඩලයෙන් අවසන් වෙයි. මෙය බොහෝ දෙනෙකුගේ අත්වල නොපිහිටයි. තිබේ නම් පැහැදිලිවම තිබිය යුතුය. රේඛාව පිහිටා නැති වුවද ප්‍රශ්නයක් නොවන අතර රේඛාව පැහැදිලිව ඇත්නම් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් මෙන්ම කෙනෙකුගේ ආර්ථික දියුණුව ද එමඟින් පෙන්නුම් කරයි. එම රේඛාව විකෘති වීම්, කැඩුම් බිඳුම්, දඟරාකාර වීම් ආදිය නොවිය යුතුය. මෙම රේඛාව කහ පැහැ ගැන්වීමෙන් අක්ෂි ආබාධ ද, දූපත් සටහන් ආදිය පිහිටීමෙන් මුත්‍රා රෝග හා ආමාශගත, වකුගඩු රෝගද ඇතිවන බැව් ප්‍රකට කෙරේ. මෙම රේඛාව පටුව, සිහින්ව, ගැඹුරුව විහිද යෑම ශරීර සනීපයට යහපත් වන අතර එය පළල්ව, විෂමව විහිදීම හුදෙක් රෝග පීඩාදියට හේතු වේ. සුඛ රේඛාව කෙටිව දඟරාකාරව පිහිටීම මලබද්ධය හා හිසරුදාව ඇතිවීමට හේතුවිය හැකිය. රේඛාව උඩුකුරුව ශාඛා විහිද යෑම නීරෝගිභාවයට හා ධන ලාභවලට ද හේතුවේ.

අපට දීර්ඝායුෂ තිබේ ද දිවි ගමන කවදා කෙළවර වේද යන්න අල්ලේ රේඛාවලින් පැහැදිලිව සටහන් වෙයි. අල්ලේ ප්‍රධාන රේඛාවන් වන ජීවන රේඛාව, හෘදය රේඛාව, ශීර්ෂ රේඛාව ආදිය බාධක සලකුණුවලින් තොරව පැහැදිලිව දීර්ඝව තිබීම වැඩි ආයු කාලයක් පෙන්නුම් කෙරේ. මැණික් කටු ප්‍රදේශයේ වැටී ඇති රේඛා මැණික් කටු රේඛා නමින් හඳුන්වයි. සමහර අයගේ අත්වල එම රේඛා දෙක තුනකටත් වැඩියෙන් පිහිටිය හැකිය. මේවාද නීරෝගිභාවය පෙන්වන සලකුණු වේ. එම රේඛා පැහැදිලිව පිහිටන තරමට කෙනෙකුගේ අවයව ශක්තිමත් බව ප්‍රකට කරයි. මෙම රේඛා තුනකට වැඩි ගණනක් පැහැදිලිව වැටී ඇතිනම් දිගු කාලයක් නීරෝගිව ජීවත්විය හැකි බැව් සාමුද්‍රික ශාස්ත්‍රයේ සඳහන් වෙයි.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හිඹුටානේ පියතිලක ද අල්විස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division