Home » ඔබ නිරෝගී ද? කේන්දරෙන් දැනගන්නේ මෙහෙමයි

ඔබ නිරෝගී ද? කේන්දරෙන් දැනගන්නේ මෙහෙමයි

by thanushika
September 23, 2023 12:08 am 0 comment

අසනීප සොයා ගැනීම සම්බන්ධයෙන් පමණක් නොව, අසනීප ඇති වන කාල වකවානු සොයා ගැනීම සම්බන්ධයෙන් ද ජ්‍යොතිෂය ඉතා පලදායක ලෙස භාවිත කළ හැකිය. අතීතයේදී ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ජ්‍යොතිෂය පිළිබඳව ද දැනුමක් ලබා දී අසනීප සොයා ගැනීම සහ අසනීපවලට වඩාත් ඉඩකඩ ඇති කාල වකවානු තීරණය කරමින් රෝගියෙකුට වඩාත් පහසුවෙන් ප්‍රතිකාර කළ හැකි ආකාරය පිළිබඳව මඟ පෙන්වීම් කර ඇති බව අප අසා ඇත්තෙමු.

සැබැවින්ම බටහිර වෛද්‍යවරයෙකුට පවා යම් පුද්ගලයෙකුට අසනීපයක් ඇති වන කාල වකවානුවක් පිළිබඳ නිගමනය කිරීම කිසිසේත්ම කළ නොහැකිය.

එලෙස රෝගය හඳුනාගත නොහැකි වූ සමහර රෝගීන්ට තවදුරටත් ප්‍රතිකාර කිරීම නිෂ්ඵල බැවින් ජීවිත හානියක් සිදුවන බවට අනුමාන කර නිවසට එවන බවද මා විසින් නිරීක්ෂණය කර ඇත්තෙමි. නමුත් එලෙස ආපසු එවන ලද සමහර රෝගීන්ගේ රෝග ලක්ෂණ ඉබේම ඉවත්ව ගොස් වසර 20ක පමණ කාලයක් තිස්සේ තවදුරටත් ජීවත් වන අවස්ථා නිරීක්ෂණය කර ඇත. ඇතැම් අවස්ථාවලදී පරීක්ෂණ රැසක් සිදු කිරීමෙන් පසුවද වෛද්‍යවරුන් විසින් ලබා දෙන නිගමන සාවද්‍ය වන අවස්ථා ඇත.

උදාහරණ ලෙස මීට දසකයකට පමණ පෙර වෛද්‍ය පරීක්ෂාවකින් පසු මා දෙස උපහාසයෙන් නෙත් යොමු කළ බටහිර වෛද්‍යවරයෙකු පැවසුවේ අධික බීමත් බවින් ඉවත් වන තුරු මා තුළ ඇති අසනීපය සුව කර ගත නොහැකි බවය. කිසි විටෙක රස බැලීමටවත් “මත්පැන්” භාවිත කර නොමැති ඉතා දැඩි අමද්‍යපයෙකු වූ මා හට වෛද්‍යවරයාගේ නිගමනය අදහාගත නොහැකි විය. කිසි දිනෙක “මත්පැන්” පානය කර නොමැති බවට කිහිප වරක්ම දිවුරා ප්‍රකාශ කළද වෛද්‍යවරයා තම නිගමනය වෙනස් කිරීමට සූදානම් නොවීය. මා මෙහිදී උත්සාහ කරන්නේ සුවහසක් ජනී ජනයාට සුවපත් භාවය ලබා දෙමින් අමිල මෙහෙවරක් සිදු කරන බටහිර වෛද්‍ය විද්‍යාව අවතක්සේරුවට ලක් කිරීමට නොවේ. නමුත් සමහර අවස්ථාවලදී වෛද්‍යවරුන් විසින් ලබා දෙන නිගමන පිළිබඳව එකඟ විය නොහැකි බව පෙන්වා දීමට පමණක් මා හට අවශ්‍ය විය.

කෙසේ වෙතත් දක්ෂ ජ්‍යොතිර්වේදියෙකුට යම් පුද්ගලයෙකුට ඇති විය හැකි අසනීප පිළිබඳව ඉතා හොඳ විනිශ්චයක් ලබා දිය හැකි වනු ඇත. උදාහරණ ලෙස යම් පුද්ගලයෙකුගේ 4 වන භාවය පාපී ග්‍රහයන්ගෙන් පීඩිත වී ඇත්නම් එම පුද්ගලයාට අනාගතයේදී හෘදයාබාධයක් වැලඳෙන්නට ඇති ඉඩකඩ වැඩි බවට අනුමාන කළ හැකි වනු ඇත. උදාහරණ ලෙස කොලෙස්ටරෝල් වැඩි වීම වෙනුවෙන් කිසිදා ඖෂධ ලබාගෙන නොමැති කොලෙස්ටරෝල් පරීක්ෂාවෙන් පසු කිසිදු ගැටලුවක් නොමැති බවට හඳුනා ගන්නා සමහර අයට පවා හදිසියේ හෘදයාබාධ වැලඳෙන අවස්ථා ඇත.

එවැනි අවස්ථා බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පැහැදිලි කිරීම අපහසු විය හැකි වුවද එවැනි කේන්දර හිමියන්ගේ 4 වන භාවය පාපී ග්‍රහයන්ගෙන් පාප පීඩිත වී ඇති බවට ජ්‍යොතිෂයෙන් හඳුනා ගත හැකි වනු ඇත. තවද යම් පුද්ගලයෙකුට ඇත්තේ ක්ෂණික මරණයක්ද නැද්ද යන්න පිළිබඳව එම පුද්ගලයාගේ උත්පත්ති කේන්දර සටහනේ 8 වන භාවය තුළ ග්‍රහ පිහිටීම් විශ්ලේෂණය කිරීමෙන් නිගමනය කළ හැකිය. ඒ අනුව අදාළ ජන්මියාට ක්ෂණික මරණයක් සිදුවේ නම් ඔහුට හෝ ඇයට හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම සහ එයින් මරණය සිදු වීමේ අවදානම සාමාන්‍ය අයෙකුට වඩා වැඩි බව නිගමනය කළ හැකි වනු ඇත.

මීට අමතර ලෙස යම් යම් අසනීප වර්ධනය වන කාල වකවානු පිළිබඳව ද ඉතා හොඳ අදහසක් ලබා දීමට දක්ෂ ජ්‍යොතිර්වේදියෙකුට හැකියාව ඇත. උදාහරණ ලෙස කිසියම් පුද්ගලයෙකුගේ උප්පත්ති කේන්දර සටහනක ඉතා තදබල ඒරාෂ්ටක කාලයක් නිර්මාණය වී ඇති විට එම පුද්ගලයාට එම ඒරාෂ්ටක කාල වකවානුව තුළ හෘදයාබාධයක් ඇතිවීමේ විශේෂ අවදානමක් හට ගනියි. එම පුද්ගලයාගේ උප්පත්ති කේන්දර සටහන තුළද හෘදය සම්බන්ධ අසනීප ඇතිවීමේ අවදානමක් ඇතිනම් ඉහත කාල වකවානුව තුළ හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම තවදුරටත් ඉහළ යයි. මෙම කොන්දේසි දෙකම සපුරද්දී ඒරාෂ්ටකය නිර්මාණය වී ඇත්තේ ද ශනි ග්‍රහයා “හෘදය” නිරූපණය කරන 4 වන භාවය තුළ ගමන් කරමින් සිටියදී නම් ඉහත කී පුද්ගලයාට ඉහත කී කාල සීමාව තුළ ස්ථිර ලෙසම හෘදයාබාධයක් වැලඳෙනු ඇත. කෙසේ වෙතත් අදාළ පුද්ගලයාගේ උප්පත්ති කේන්දර සටහන තුළ ඉතා ප්‍රබල දීර්ඝායුෂ යෝගයක් ඇත්නම් එම පුද්ගලයාට හෘදයාබාධයක් වැලඳුණ ද එම පුද්ගලයා එයින් මිය නොයනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී පාරින්ද්‍ර සුගතදාස

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division