Home » මැතිවරණ අ​බිමුව වර්ජන

මැතිවරණ අ​බිමුව වර්ජන

by Mahesh Lakehouse
July 6, 2024 12:30 am 0 comment

රටක් ලෙස අප මුහුණදෙමින් සිටිනා ආර්ථික අර්බුදය නිසා ආහාර, සෞඛ්‍ය අධ්‍යාපන වැනි අත්‍යාවශ්‍ය වියදම් හැර අන් බොහෝ දේ අත­්හැර දැමීමට අපට සිදු විය. ඒ අනුව පළාත් පාලන ආයතන සහ අමාත්‍යංශ මඟින් සිදුකළ සංවර්ධන කටයුතු දෑ වසරක පමණ සිට අත­්හැර දමා ඇත්තේය. ඊට අමතරව සිදු කරනා ලද ඉදිකිරීම් සහ නඩත්තු වෙනුවෙන් ගෙවීම් සිදු වූයේ නැත.

රජයේ දැඩි කැපකි‍රීම් සහ අවස්ථාවාදී දේශපාලනයෙන් වියුක්තව අර්බුදය කියවාගත් සබුද්ධික ජනතාවගේ දායකත්වයෙන් මේ වන විට අර්බුදය සාර්ථකව කළමනාකරණය කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටියි. එහෙයින් අත්හිටුවා තිබූ සංවර්ධන කාර්යයන් සහ කොන්ත්‍රාත්කරුවන්ගේ ගෙවීම් නැවත ආරම්භ කිරීමට හැකියාව ලැබී තිබේ. ඒ අනුව විවිධ ඉදිකිරීම් සහ නඩත්තු කටයුතු සිදුකළ කොන්ත්‍රාත්කරුවන්ට පසුගිය සතිය වන විට රුපියල් බිලියන 200කට අධික මුදලක් ගෙවා ඇත.

ඊළඟ ඉලක්කය සංවර්ධන කටයුතු ආරම්භ කිරීමය. එහෙත් ඒ සඳහා පළාත් පාලන ආයතන විසුරුවා තිබීම බාධාවකි. එහෙයින් ආණ්ඩුකාරවරුන් යටතේ ක්‍රියාත්මක නව ව්‍යුහයක් ඔස්සේ එම කටයුතු වහා ආරම්භ කළ යුතු විය. එහෙත් දේශපාලන කණ්ණාඩිය තුළින් මිස විවෘත මනසින් සමාජය දෙස නොබලන පක්ෂ ඊට එරෙහිව අධිකරණයට සහ මැතිවරණ කොමිසම හමුවට යමින් සිටියි. ඔවුනගේ තර්කය මැතිවරණයක් අබිමුව රජය සංවර්ධන කටයුතු කිරීම නීති විරෝධීය යන්නය.

විපක්ෂයේ න්‍යාය අනුව මැතිවරණයක් ළංවූ විට සියලු සංවර්ධන කටයුතු නතර කළ යුත්තේය. නැත්නම් එය ආණ්ඩුවේ වාසියට හේතුවෙන බව ඔවුනගේ මතය වෙයි . එහෙත්; ජනතාවට ආණ්ඩුව පමණක් නොව රටම එපා කරවන වර්ජනවලට මැතිවරණ සමය කියා විශේෂයක් නැත. ඒවාට සර්වකාලීන වලංගුභාවයක් ඇතැයි ඔවුහු සිතති. එහෙයින් සංවර්ධන කටයුතුවලට වාරණ ඉල්ලන කිසිදු පක්ෂයක් රට වට්ටන වර්ජන නවතන්නට උසාවි යන්නෙ නැත.

මේ දිනවල ගුරුවරුන් වර්ජනයේය. ඔවුන් ඉල්ලා සිටිනුයේ වැටුප් විෂමතා නිවැරදි කරනා ලෙසය. වැටුප් විෂමතා නිවැරදි කිරීම කිසිම අවස්ථාවක ආණ්ඩුව ප්‍රතික්ෂේප කර නැත. ගැටලුව වනුයේ ඒ සඳහා අය වැයෙන් වෙන්කළ මුදල් නොතිබීමය. අධ්‍යාපන අමාත්‍යංශයට අනුව ගුරුවරුන්ගේ වැටුප් විෂමතා නිවැරදි කිරීම සඳහා පමණක් වැය වන මුදල රුපියල් බිලියන 42ක ඉක්මවයි. එවැනි මුදලක් මේ මුදල් වර්ෂය තුළ වෙන් කිරීමට නොහැකි බව පිළිගත හැකි තර්කයකි. මෙම වැටුප් විෂමතාව වසර 25ක සිට පැවැත එන්නකි. ඒ අනුව දශක දෙකහමාරක් පැරණි ගැටලුවක් කරළියට ගෙන එන්නට සුදුසු අවස්ථාව ලෙස ගුරු වෘත්තීය සමිති මේ අවස්ථාවම තෝරා ගැනීම අතිශයින්ම දේශපාලනික එකක් බවට අටුවා ටීකා අවශ්‍ය නැත.

මේ වන විටත් IMF අපේ ආර්ථික ක්‍රියකාරකම් නියාමනය කරයි. එනිසාම නෝට්ටු මුද්‍රණය කළ නොහැකිය. විදේශ ණය ලබාගත නොහැකිය. එහෙයින් දැඩි සීමා කිරීම් සහිතව ආර්ථිකය පවත්වා ගෙන යා යුතුය. එසේ නොකළහොත් රට බංකොලොත් භාවයෙන් මුදා ගැනීම සිහිනයකි. මේ වන විට ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව නිමකරමින් සිටී. චීනයේ එක්සිම් බැංකුව සමඟ ඊට අදාළ ගිවිසුම අත්සන් කර ඇත. පැරිස් සමාජය සමඟද එකඟතාවකට පැමිණ ඇත. විසඳා ගැනීමට අසීරුව තිබූ බැඳුම්කර ණයහිමියන් සමඟ එකඟතාවකට පැමිණීමට මිට දින තුනකට පෙර හැකියව ලැබුණි . ඒ අනුව රාජ්‍ය සිය සැලැස්මට අනුවම කටයුතු කරමින් නිශ්චිත ඉලක්කයකට ගමන් කරමින් සිටීයි.

මේ මොහොතේ වර්ජන දියත් කරන්නේ එකී ඉලක්කයෙන් ආණ්ඩුව ඉවත් කිරීමටය. ඩොලර් මිලියන 20 දක්වා පහත බැස තිබූ විනිමය සංචිතය අසීරුවෙන් ඩොලර් බිලියන 5.5 දක්වා ඉහළ නංවා ඇත. එහෙයින් රුපියල් 500 ඉක්මවා ඉහළ යනු ඇතැයි පැවසූ ඩොලරය රුපියල් 320 ට අඩුවෙන් නවතා ගන්නට හැකිව ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත හෙළීමට හැකි විය. එනිසා 70 % ඉක්මවා ඉහළ ගිය උද්ධමනය තනි ඉලක්කමක් දක්වා පහතට ආවේය. අද මුළු රටක් අත්විඳින්නේ ඒ නිදහසය. වර්ජකයන්ගේ ඉල්ලීම් ඉටු කරන්නට ඩොලර් සංචිතය දියකර වැටුප් ගෙවීමට ගියහොත් තවත් මාස හයකින් රට 2022 මාර්තුවට පල්ලම් බසිනු ඇත. එවිට වරායට තෙල් නැවක් පැමිණීම බ්‍රේකින් නිවුස් එකක් වන තරමට අර්බුදය දුර දිග යනු ඇත. විදුලිය කැපී කම්හල් වැසී දලුලමින් තිබෙනා ආර්ථිකය කේඩෑරී වී යනු ඇත. එම තත්ත්වය මහජනයාට දුක්ඛදායක අත්දැකීමක් විය හැකිමුත් විපක්ෂයට නම් තලුමැරිය හැකි අවස්ථාවකි.

මේ අරගලයට නායකත්වය දෙන දේශපාලන පක්ෂ නියෝජනය කරනා වෘත්තීය සමිති සියල්ලේ අරමුණ ස්ථාවර වෙමින් පවතින ආර්ථිකය අස්ථාවර කිරීමය. ඔවුන් අරගල කරනුයේ වැටුප් විෂමතාවට මුවාවී ආර්ථිකයට බර අවි ප්‍රහාරයක් එල්ල කරන්නය. මන්දයත් ප්‍රශ්න විසඳී මිනිසුන් සතුටින් සිටිනා රටක මෙම වෛරී දේශපාලනඥයන්ට සහ ඔවුන්ගේ පක්ෂවලට පැවැත්මක් නැති බව ඔවුන් ඉඳුරාම දන්නා බැවිනි.

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division