Home » පොත් පුවත්

පොත් පුවත්

by Mahesh Lakehouse
July 6, 2024 12:58 am 0 comment

විපුල සිතිවිලි


කර්තෘ- ක්ලැරීන් සේවියර්
මිල- රු. 450/=
ප්‍රකාශනය- සූරිය ප්‍රකාශකයෝ

ජීවිතයේ තමා ඇසි, දුටු සහ විඳි දෑ ඇසුරෙන් ජීවිතය සකස් කරගැනීමේ මාවතක් පිළිබඳ ලේඛිකාවගේ සිතිවිලි සමුදායක් මේ කෘතිය ඇසුරෙන් විග්‍රහ වේ.

ඇය මිනිස් ජීවිතයේ විවිධ හැලහැප්පීම්, බාධක පීඩා ආදී සියල්ල හට ගැනීමට බලපෑම් කරන්නා වූ චිත්ත අභ්‍යන්තර ඝට්ටනවලට හේතු සොයා සිය සිත මෙහෙයවයි.

ඒ කරුණු නිසා චිත්තාභ්‍යන්තරයේ ඇති වන විවිධ මනෝභාව හේතුවෙන් සිත පීඩාවට පත් වෙන අයුරු මෙහි විග්‍රහ කෙරේ.

පරිසරය, බුදු දහම, දරුවන් වැනි මාතෘකා ඇසුරේ තමා අවට පරිසර සංසිද්ධීන් ගළපමින් කතුවරිය උත්සාහ දරන්නේ ජීවන අභ්‍යන්තර අරගලයේ ස්වභාවය ගැන පාඨකයාට යම් දැනුම්වත්භාවයක් ඇති කිරීමට විය යුතුය


සුවඳත් හොරු ගෙනිහිං

කර්තෘ- සුනිමල් සේනාරත්න
ප්‍රකාශනය- සමයවර්ධන පොත්හල

“සුවඳත් හොරු ගෙනිහිං” නවකතාව ආරම්භ වන්නේ, මෙහි කතා නායකයා වන මාධව තම ළමා කාලය ගත කළ අයුරු ආවර්ජනය කිරීමක් ලෙසිනි. ඔහු එදා පැවති ගමේ සුන්දර දිවි පෙවෙත දැඩි වේදනාවෙන් සිහිපත් කරයි. මාධවට මේවා සිහිපත් වන්නේ ඉගෙන ගෙන කලක් විදේශගතව සිට තම රටට නැවත පැමිණීමෙන් පසුවය.

එදා සිට අතීතයේ පැවැති ගැමි සුවඳ අද නැත.” සුවඳත් හොරු ගෙනිහිං” අතීතය ආවර්ජනය කරමින් මාධව මෙම ඛේදවාචකයට හේතු භූත වූ කරුණු මැනවින් සමාජය ඉදිරියේ කියාපායි. අපට වෙච්ච දේ මාධව අපූරුවට සමාජයට කියයි.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දිගුකලක් අත්දැකීම් ලද දෙස් – විදෙස් සරසවි රැසක උගනමින්, උපාධි රැසක් ද ලබාගෙන ලොව රටවල් රැසකදී තම දැනුම යාවත්කාලීන කරගත් සුනිමල් සේනාරත්න සුවඳත් හොරු ගෙනිහිං නවකතාවේ කතුවරයා ය.


හැරදා නොගිය මිතුරා

කර්තෘ- රංජිත් වික්‍රමනායක
ප්‍රකාශනය- සමයවර්ධන පොත්හල

ලෝක ප්‍රකට ගත් කතුවරියක වන ලැවීනියා ඩර්වන්ට් (Lavinia Derwent) ගේ “The Tale of Greyeriars Bobby” නමැති ග්‍රන්ථය ලේඛක රංජිත් වික්‍රමනායක විසින් “හැරදා නොගිය මිතුරා” නමින් සිංහලට පරිවර්තනය කර ඇත.

දහනව (19) වන සියවසේ ස්කොට්ලන්තයේ, එඩින්බර්ග්හි සිදුවූ සත්‍ය සිදුවීමක් පාදක කොටගෙන ලියැවී ඇති, මෙම කෘතිය බොබී නමැති බලු සුරතලකු වටා පරිච්ඡේද පහක් යටතේ ලියැවී ඇති අපූරු කතා පොතකි.

මිනිසකු සහ තිරිසන් සතකු අතර පැවැති, ආදරණීය බැඳීමක අගනා පාඩමක් අපට කියා දෙන මෙම කතාව අලළා මේ වන විට රටවල් ගණනාවක ග්‍රන්ථ රැසක් ද චිත්‍රපට රැසක් ද නිර්මාණය වී තිබේ.


ලොකු ළමයින්ට විතරයි 


කර්තෘ- නුවන් තොටවත්ත
ප්‍රකාශනය- සමයවර්ධන පොත්හල

ප්‍රකට ගත් කතුවරයකු වන වෛද්‍ය නුවන් තොටවත්ත ලියූ ‘ලොකු ළමයින්ට විතරයි’ යොවුන් නවකතාවේ දෙවන මුද්‍රණය ද නොබෝදා එළි දැක්විණි.

ළමා වයසේ සිටින දරුවන්ට බාහිර හිංසනවලින් වැළකී සිටීමත්, මනා ලෙස සෞඛ්‍ය රැකගෙන, සමාජයීය යහපැවැත්මක් පවත්වා ගෙන යාමට අවශ්‍ය දැනුමැති උපදේශන මාලාවක් ‘ලොකු ළමයින්ට විතරයි’ යොවුන් නවකතාව තුළින් අපූරු ලෙස ඉදිරිපත් කර තිබේ.

සෞඛ්‍ය අධ්‍යාපනික කෘති නිර්මාණය කිරීමට ජාත්‍යන්තර යුනිසෙෆ් (Unicef) ආයතනයට විශේෂඥ උපදේශකවරයකු ලෙස ද කටයුතු කරන, වෛද්‍ය නුවන් තොටවත්තගේ මෙම යොවුන් නවකතාව මෙරට ළමා පරපුරට විසල් උපදේශන මාලාවක් ලබාදීමට සමත් අගනා ග්‍රන්ථයකි.


බුද්ධි පරීක්ෂණය හා අභියෝග්‍යතාව 


කර්තෘ- සංදීප් ප්‍රකාශ් සිරිවර්ධන
මිල- රු. 1950/=
ප්‍රකාශනය- H.D.K ප්‍රකාශන

රාජ්‍ය සේවා තරග විභාග, එල්. එල්. බී. තරග විභාගය ඇතුළු උසස් මට්ටමේ තරග විභාග සඳහා අත්වැල සපයන ග්‍රන්ථ මාලාවකි.

ලංකා ගණකාධිකාරි සේවයේ නියුතු ලේඛකයා ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පීය ආයතනයේ සාමාජිකයෙකි.

ඉතා සරලව ගැඹුරු විෂය කරුණු පැහැදිලිව අන්තර්ගත කරමින් සම්පාදිත ග්‍රන්ථයකි.

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division