Home » ලොවක් මවිත කළ ලේඛක ස්මරණ

ලොවක් මවිත කළ ලේඛක ස්මරණ

by Mahesh Lakehouse
June 29, 2024 12:30 am 0 comment
දොස්ත­යෙ­ව්ස්කිගේ අත්අ­කුරු, දොස්ත­යෙ­ව්ස්කිගේ ලියන මේසය දෙපස තබා ඇති නොනි­මෙන ඉටි­ප­න්දම් සහ මැක්සිම් ගෝර්කිගේ අත්අ­කුරු සහ චිත්‍ර­යක්

– මැක්සිම් ගෝර්කිගේ ගෙදර ස්ටාර්ලින් කෙළින්ම සම්බන්ධ කරගත හැකි දුර­ක­ත­න­යක් තිබිලා
– තෝල්ස්තෝයි අන්ති­මට කිය­වලා තියෙන්නේ දොස්ත­යෙ­ව්ස්කිගේ කර්මසෝ සහෝ­ද­රයෝ
– නෙත් අඳ ඔස්ත්‍රොව්ස්කි වානේ පන්න­රය ලැබූ හැටි ලියා ඇත්තේ ලී පුව­රු­වක කොළ රඳ­වලා

මොස්කව් සිට පීටර්ස්බර්ගය දක්වා පැයට කිලෝමීටර් 225ක වේගයෙන් දුවන සස්සාන් දුම්රියේ මම ඉඳගෙන සිටිමි. කිලෝමීටර් අට සියයක් පැය හතරකින් හමාර කරන මේ සුපිරි දුම්රිය දැනට නම් අපට සිහිනයකි. එහෙත් ශ්‍රී ලංකා දුම්රිය සේවය ලොව ප්‍රථමයෙන් ම ආරම්භ වූ දුම්රිය සේවාවන්ගෙන් එකකි. වැඩට පෙර හඬ නැති දිනෙක අපේ රට මෙවැනි ඉලක්ක ජයගනු ඇත. එතෙක් මේ සුන්දර සිහිනයේ ජීවත් වෙමි. සුවපහසු ආසන, සුපිරිසිදු මැදිරි, අන්තර්ජාල පහසුකම්, සුන්දර නිල ඇඳුමකින් සැරසුණු ගුවන් සේවක සේවිකාවන්ට නොදෙවැනි සේවා දායකයන්, ඉහළම තලයේ ආපනශාලා ආදී එකී නොකී සෑම පහසුකමකින් ම සපිරි සස්පාන් දුම්රිය සැබැවින් ම නූතන තාක්ෂණයේ ආශ්චර්යයක් ම ය. ආශ්චර්ය ඇත්තේ එතැන නොවේ. පැරණි සෝවියට් මැදිරියෙන් මිදී මේ ආශ්චර්යයට එන්නට රුසියානු දුම්රිය සේවයට ගතව ඇත්තේ දශකයක කාලයක් පමණක් වීම ය.

සස්පාන් දුම්රියෙන් අප පීටර්ස්ග්බර්ග් කරා යන්නේ ජීවිත කාලය පුරා අප පුදුම කළ අපූර්ව ලේඛකයකුගේ ස්මරණ සියැසින් දකින්නට ය. ලොවක් වසඟ කළ මේ ලේඛකයා ජීවත් ව සිටියේ තූලා නම් පෙදෙසෙහි ය. මේ අටුවා ටිකා කියා ගෙන යද්දී මා කියන්නට යන විස්තරය ගැන ඔබ දැනටමත් අනුමාන වශයෙන් දන්නා බැව් දනිමි. යස්යානා පොල්යානාව සිහිනයක් ව පැවැති කාලය නිමා විණි. දෑසට එහි සුන්දරත්වයත් ලෝකයේ විශිෂ්ටතම නවකතා යැයි විචාරකයන් තිර වශයෙන් ම කියූ නවකතා ලියන්නට පසුබිම සැකසූ පරිසරයක් දකින්නට තරම් මා දෑස වාසනාවන්ත වූ බැව් ඔබට කියන්නට මැලි නොවෙමි. ලියෝ තෝල්ස්තෝයි නම් අසහාය ලේඛකයාට සෙවණ සැපයූ ඒ විසල් බිමෙන් අද සංරක්ෂණය කර ඇති හෙක්ටයාර් 462ක වපසරියේ අහස නොපෙනෙන තුරු වියනකි. බැලු බැලු අත ඇත්තේ ඕක්, බිරියෝසා, ලින්ඩන්, ෆයිනස් හා මේපල් වැනි විසල් තුරු පමණකි. වරින් වර ඇසෙන කුරුලු කූජන ඒ හුදෙකලා පරිසරයට අපූර්ව චමත්කාරයක් එක් කරයි. මේ මහා ලේඛකයා විසින් ගොවි දරුවන්ට ඉගැන්වීමට පටන් ගත් පාසල, සිය වත්තෙහි වැඩ කළ ගොවි ජනයා එනම් ප්‍රවේණි දාසයන් සිටි නිවෙස්, ගබඩා කාමර සහිත ගොවි බිම්, කුඩා වැව් හා පොකුණුවලින් සමන්විත මේ බිම අරණකට සම වූවකි.

මේ විසල් තුරු වියන යටින් ඇවිද යමි. ලියෝ තෝල්ස්තෝයි නම් මහා ලේඛකයා මිහිදන් වූ ස්ථානය දැකීම අපේ අරමුණයි. ඒ මෘත දේහය තැන්පත් කළ තැන කිරි ගරුඩ හෝ රත්රන්වලින් නිමැවූ ස්මාරක හෝ වට වියන් ගෙවල් නැත. මාර්ටින් වික්‍රමසිංහයන් සෝවියට් දේශයේ නැඟීම කෘතියේ පෙරවදනෙහි තෝල්ස්තෝයිගේ සොහොන ගැන පවසා ඇත්තේ ඔහුට ඈතට එය පෙනුණේ එය බතල පාත්තියක ස්වරූපයෙන් බවකි. සත්‍යයකි. එය පෙනෙන්නේ එපරිද්දෙනි. බොරු සෝබනවලට බොහෝ ඉහළින් වූ පාරිසරික සාම්‍යයකින් ඒ බිම ඒකාලෝක වී තිබිණි. මැණික් කැට ලක්ෂ ගණනකින් හෝ ගත නොහැකි ආලෝකවත් බවක් එහි නිසඟයෙන් වැටී තිබිණි. ලියෝ තෝල්ස්තෝයිගේ මෘත දේහය ආදාහනය කළ ඒ ස්ථානය අදත් ඒ ආදාහනය කළ දා සේම පෙනෙන්නට සකසා තිබිණි. දින දෙකකට පමණ වරක් මේ ස්මරණ බිම මේ ලෙසින් පරිසරයේ ම කොටසක් කරන්නට කැපවූ පිරිසක් වෙති.

1910 නොවැම්බර් 20 වැනිදා ඇස්ටොපොවෝ දුම්රියපො­‍ෙළ්දී භෞතික කායෙන් නික්ම ගිය පසුව යස්යනා පොල්යානා වත්තේ මැද කොටසක, ඕක්, බිරියෝසා තුරු ගොමුවකින් වටෙව මෙසේ තෝල්ස්තෝයි නිහඬව ම නික්ම යන්නට ඇත. වසර 114ක් නික්ම ගිය අද දවසේ ද තෝල්ස්තෝයි පාඨක මනසේ ජීවත් වන්නේ අමරණීයත්වයේ ස්වභාවය පිළිබඳ අපට කියා දෙමිනි.

තෝල්ස්තෝයි ජීවිතයෙන් සමු ගන්නා තෙක් ජීවත් ව සිටි නිවෙස අද කෞතුකාගාරයක් සේ සංරක්ෂණය කර තිබේ. ඔහු භාවිත කළ දෑ, ලියූ දෑ එහි සංරක්ෂිත ය. ඒ අතරින් ම සිත නතර වූ තැනක් තිබිණි. ඒ 1910 නොවැම්බර් 10 වැනිදා පාන්දර ජාමයේ තම වෛද්‍යවරයා ද කැටුව රහසිගතව නිවෙසින් පිටව යෑමට පෙර ඔහු අවසන්වරට කියැවූ පොතයි. එය පියදෝර් දොස්තයෙව්ස්කිගේ ‘කරමසෝ සහෝදරයෝ’ ය. වීදුරු ආවරණයක් ඇතුළත කර්මසෝ සහෝදරයෝ හි ඔහු අවසන් වරට කියවා තබා ගිය පිටුව එලෙසින් ම පෙරළා තබා ඇත. අද අප දකින්නේ තෝල්ස්තෝයි කියවමින් සිටි ඒ පිටුවයි. ඔහු නිදා ගත් ඇඳ, ලිවීමට භාවිත කළ අයිතම, ඔහු පැලඳි ඇඳුම් ඇතුළු සියල්ල මෙහි මනාව සංරක්ෂණය කර ඇත. තෝල්ස්තෝයිගේ ස්මරණ පෙන්වමින් ඒවායෙහි කෞතුක විශේෂත්වය ගැන අපට මාර්ගෝපදේශනය කළ කැත්රින් අතිශය සුන්දර රුසියානු ලඳකි. ඒ සුන්දරත්වයට පර්යාව ව ඇගේ දැනුම මුසු ‍ෙතාල්ස්තෝයි භතිකත්වය අප විස්මපත් කරන සුලු ය.

පෙර සඳහන් කළ පරිද්දෙන් ම තෝල්ස්තෝයි ජීවිතය හැරදා යන්නට පෙර කියැවූ කර්මසෝ සහෝදරයෝ කෘතිය ලියූ පියොදෝර් දොස්තයෙව්ස්කිගේ ස්මරණ ඇතුළත් කෞතුකාගාරය නරඹන්නට අපට අවස්ථාව හිමි වීම ද වාසනාවක් බැව් නොකියා බැරි ය. ගූගල් සෙවුමේ උපකාරයෙන් මේ ස්ථානය සොයා ගත්තේ ජනක ඉණිමංකඩ සහෝදරයා ය. එය පිහිටා තිබුණේ අප නැවතී සිටි හෝටලයේ සිට මීටර් 700ක් දුරිනි. පීටර්ස්බර්ගයට මේ දිනවල කඩින් කඩ මඳ වැසි වැටේ. ඒ ජල බිඳිති ස්පර්ශ වෙද්දී දැනෙන්නේ ඉඳිකටු තුඩු ඇනෙන්නාක් මෙන් දැනීමකි. එය එතරම් ම පීඩාකාරී සීතලකි. එහෙත් ඒ අයිස් වන් වැස්සට අප නවතාලිය හැකි වූයේ නැත. අපරාධය හා දඬුවම ලියා ලෝක පූජිත වූ මේ නවකතාකරුවා ජීවත් වූ නිවෙස නොදැක පීටර්බර්ගයෙන් නික්ම එන්නට අප සූදානම් නැත.

1878 සිට 1881 දක්වා ඔහුගේ ජිවිතයේ අවසන් වසර දෙකහමාර ජීවත් වූ මේ නිවෙස සිව් මහල් ගොඩනැඟිල්ලකි. ඔහු සිය බිරිය අන්නා සහ දරුවා සමඟ ජීවත් ව ඇත්තේ මෙහි දෙවැනි මහලේ ය. මේ වන විට මේ මුළු ගොඩනැඟිල්ල ම දොස්තයෙව්ස්කිගේ අත්අකුරු සහිත අත් පිටපත්, මතක සටහන්, ඔහු භාවිත කළ පොත්පත්, ඔහුගේ ඡායාරූප, මූර්ති ආදිය සහිත කෞතුකාගාරයකි. ඔහු අවසන් හුස්ම හෙළු කාමරය ඒ තිබූ පරිද්දෙන් ම සංරක්ෂණය කර තිබේ. ඔහුගේ බිරිය අන්නාත් පුතුත් භාවිත කළ දෑ ද එලෙසින් ම සංරක්ෂිත ය. ඔහුගේ ලියන මේසය දෙපැත්තේ කිසිදා නොනිමෙන ඉටිපන්දම් දෙකකි. කොහොමත් මානව වර්ගයා කියවන්නේ යම්තාක් කාලයක් ද ඒ කාලය පුරා දොස්තයෙව්ස්කි ජීවත් වෙන්නේ ය.

එතැන සිට තවත් කිලෝමීටරයක් පමණ අධික සීතල සමඟ ඇද හැලෙන වර්ෂාව ගැන නොසිතා අප ගියේ අන්නා අහ්මතෝවා කිවිඳියගේ කෞතුකාගාරය නැරඹීමට ය. ඊට පෙර මට ඔබට යමක් කීමට අවැසි ය. රුසියානුවන්ගෙන් සියයට 99ක් ම පාහේ කතා කරන්නේ රුසියන් භාෂාව පමණකි. ගූගල් සෙවුමේ ආධාරයෙන් අප මේ ගමන ගිය ද සමහර අවස්ථාවල ගූගල් සෙවුම අපව නොමඟ යැව්වේ ය. එහෙත් රුසියන් පමණක් දන්නා මේ රටේ තරුණ තරුණියෝ ඉතා මිත්‍රශීලීව හැකි උපරිම ලෙස සංඥා යොදා ගනිමින් අපට පාර පෙන්වූහ. ඔවුහු මිත්‍රත්වයෙන් පිරුණෝ වෙති. දියබත් ව සීතලෙන් ගැහෙමින් සිටි අප අන්නා අහ්මතෝවා කිවිඳියගේ කෞතුකාගාරය සොයා ගත්තේ අසීරුවෙනි. අප හා සිටි කරුණාතිලක හඳුන්පතිරණ ලේඛකයා මේ කිවිඳියගේ කවි 25ක් පමණ සිංහලට නැඟූවෙකි. අන්නා අහ්මතෝවාගේ කවියක් ප්‍රථම වරට සිංහලට නඟන ලද්දේ ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහන් ය. ඇගේ ජීවන අන්දරයේ යම් යම් කරුණු සහ කවි කිහිපයක් පරිවර්තනය කළ නිර්මාණවේදිනියක වන සුධර්මා සුභාෂිණී ද අප සමඟ ය. මේ තිදෙනා ම අප සමඟ සිටීම වාසනාකි. එහෙත් මෙතෙක් ඇගේ කවි කාව්‍ය සංග්‍රහයක් සේ ලංකාවේ ප්‍රකාශනය වී නැත.

1917 විප්ලවයෙන් පසු බොහෝ පීඩාවලට මුහුණ දුන් කිවිඳියක වන ඇය ස්ටාර්ලින්ගේ දැඩි පළි ගැනීමට ලක් වූවාය. නොබෙල් සම්මානයට ද නම යෝජනා වූ අන්නා කිවිඳියගේ කවි දසදහස් ගණනක් එකල විනාශ කර තිබේ. ඇයගේ ස්මරණ අතර අත් අකුරු, භාවිත කළ පොත්පත්, ඡායාරූප අතර, කාන්තාවක ලෙස ඇය භාවිත කළ මුළුතැන්ගෙයි උපකරණ, මැහුම් ගෙතුම් ආදිය ද ඇතුළත් වීම විශේෂත්වයකි. ඇගේ කෞතුකාගාරයට එන මඟ උස් ලින්ඩන් ගසින් පිරුණකි. ඇගේ දිවිසැරිය සේම ඒ පරිසරය ද යම් ශෝකාකූල බවක් සිතට එක් කරයි. වැස්සෙන් සීතලව ගල් ව තිබූ අප ශරීර ඇගේ ස්මරණ එකතුවත් ඒ හා සැබැඳි ශෝකාකූල අන්දරයත් නිසා උණුසුම් ව තිබිණි. බොහෝ දෑ ඇත්තේ අකුරුවලට නැඟිය නොහැකි දුරක බැව් ඔබට කියමි.

එය බදාදා දිනයක් වූ බැවින් අපගේ කෞතුකාගාර නැරඹීමේ ආශාවට දිගු පැය කිහිපයක් එක්ව තිබිණි. බදාදා දිනවල පමණක් පීටර්ස්බර්ග්හි කෞතුකාගාර රාත්‍රී 8 තෙක් විවෘත ව තිබීම ඊට හේතුවයි. එබැවින් බාධාවකින් තොරව රාත්‍රී අට වන තුරු අපට මේ ස්මරණ අතර සරන්නට අවකාශ ලැබිණි. පීටස්බර්ගයට මේ දිනවල කළුවර ආගන්තුක ය. ඉර ද සඳ ද පායන්නේ එක ම අහසේ ය. එනම් ධවල රාත්‍රීන් ය. කොහොමත් අප මේ පසු කරමින් ඉන්නේ අපේ ජීවිතවල සදා ධවල දින බව ඔබට කියමි.

තෝල්ස්තෝයි යස්යානා පොල්යානා වත්තේ ඕක්, බිරි­යෝසා තුරු මඬුල්ල මැද මිහි­දන් කර ඇති අයුරු

තෝල්ස්තෝයි යස්යානා පොල්යානා වත්තේ ඕක්, බිරි­යෝසා තුරු මඬුල්ල මැද මිහි­දන් කර ඇති අයුරු

රුසියාවේ හන්දියක් හන්දියක් ගානේ ඇත්තේ ලේඛක පිළිරූ ය. එමෙන්ම එහි බහුතරයක් ලේඛකයන්ගේ ජීවිතයේ අවසන් කාලය ගත කළ නිවෙස් සංරක්ෂණය කර කෞතුකාගාර බවට පත් කර තිබේ. අපේ රටේ ඒ වාසනාව හිමි වී ඇත්තේ මාර්ටින් වික්‍රමසිංහයන් ට පමණී. ඩබ්ලියු. ඒ. සිල්වා ලේඛකයාගේ ස්මරණ එකතුවක් ද හැකි පමණින් නඩත්තු කර ඇති බැව් සිහිපත් වේ.

මොස්කොව්හි දී ත්වෙර්ස්කයා වීදියේ පිහිටි නිකොලායි ඔස්ත්‍රාවොස්කි ගේ සංරක්ෂිත ස්මරණ එකතුව නැරඹීමේ අවස්ථාවක් ද අපට හිමි විණි. වානේ පන්නරය ලැබූ හැටි ලියා ලෝක පූජිත වූ මේ ලේඛකයාගේ ස්මරණ අතර දෑස් තෙත් කළ ස්මරණ රැසක් විණි. ඒ අතර ප්‍රධාන වූයේ ඔහු නිතර වාදනය කළ ගිටාරය, දෑස් අඳ නිසා ලේඛනය පහසු කරගන්නට ඔහු විසින් ම සකසා ගත් ලී පුවරුව හා මඟ සොයා ගන්නට භාවිත කළ සැරයටියයි. ඔස්ත්‍රොව්ස්කිගේ බිරිය දිනපතා රැකියාවට ගොස් ඇත්තේ දෑස් අන්ධ ඔහු ලියන මේසය ඉදිරිපිට වාඩි කරවා, ලියන කොළ මිටියක් උඩට පෙර කියූ ලී අයිතමය තබා පෑන අතට දීමෙනි. ඈ රැකියාව නිම කර එනතෙක් ඔහු ලේඛනයේ නිරතව ඇත. මුළුමනින් ම දෑස් අඳ ව සිටියදී තම එකම නවකතාව වන වානේ පන්නරය ලැබූ හැටි ලියූ ඔහු ගැන බොහෝ විස්තර අප සමඟ පැවැසුවේ රන්ජන දේවමිත්‍ර සේනාසිංහ සහෝදරයා ය.

වසර හතළිස් දෙකක් වැනි කෙටි කාලයක් ජීවත් වූ ඔස්ත්‍රොව්ස්කි සිය කෙටි දිවිසැරිය ඇතුළත බොහෝ රෝගවලින් පීඩා විඳි අතර අවසන් වසර කිහිපය ගෙවූයේ මුළුමනින් ම අන්ධ ව ය. යුක්රේනයේ උපත ලද්දකු වෙන ඔස්ත්‍රොව්ස්කිගේ නම එරටේ දී මේ වන විට භාවිත කිරීම පවා තහනම් ය.

දහනව වැනි සියවස මුලදී වන්කොව්ස්කි නම් සිටුවරියකට අයත්ව තිබූ මේ නිවෙස ඔස්ත්‍රොව්ස්කි වෙත ලබා දී ඇත්තේ සෝවියට් රජය විසිනි. ඔහුගේ අවසන් කාලය ගෙවුණු මේ නිවෙසේ ඔහු භාවිත සියල්ල සංරක්ෂණය කර තිබේ. මිනිසකුට බොහෝ දෑ අහිමි වූ පසුත් තවත් බොහෝ දෑ අන් අය වෙනුවෙන් කළ හැකි බැව් සපථ කළ මේ ලේඛකයාගේ ස්මරණ හද කම්පා කරවන සුළු ය.

අනතුරුව අපට යන්නට අවස්ථාව ලැබුණේ මැක්සිම් ගෝර්කි අනුස්මරණ කෞතුකාගාරයට ය. අතිවිශේෂ ගෘහයක් වෙන එය ගෝර්කි වෙත ලබා දී තිබුණේ ව්‍යාපාරිකයකු විසිනි. ඔහු ඒ නිවෙස මුළුමනින්ම ගොඩනඟා තිබුණේ පරිසරයේ සියලු ශක්තීන් එහි අන්තර්ගත වෙන අයුරිනි.

එහි දුරකතන තුනක් සංරක්ෂණය කර තිබිණි. එකල ඉන් එකක් කෙළින්ම සම්බන්ධ වූයේ ස්ටාර්ලින්ට ය. එකක් ගෘහයේ අභ්‍යන්තර කටයුතු සඳහා සහ අනික නගරයේ වෙනත් කටයුතු සඳහා කතා කිරීමට යොදවා තිබේ. ඔහු විසින් පරිහරණය කරන ලද කෘති රාශියක් මෙහි සංරක්ෂණය කර තිබේ. ඔහුගේ සිතුවම්, මූර්ති, අත්පිටපත්, භාවිත උපකරණ සියල්ල ඒ එකතුවට ඇතුළත් ය.

අනතුරුව අපි ඇන්ටන් චෙකොෆ්ගේ සංරක්ෂිත නිවෙස වෙත ගියෙමු. චෙකොෆ්ගේ කතාව මහත් භක්තියෙන් යුතු ව මුළුමනින් අපට විස්තර කරන ලද්දේ අපගේ මාර්ගෝපදේශිකාව වන ගලීනා විසිනි. ඇය එකින් එක අප වෙත නොමසුරු ව මතක් කර දුන්නා ය. චෙකොෆ්ගේ ස්මරණ සේම එහි ඔහු සොහොයුරු නිකොලායිගේ චිත්‍ර ද සංරක්ෂණය කර තිබිණි. ඔහු අවසන් වරට පාවිච්චි කළ උපැස් යුවළ එහි වූ ලාච්චුවක දමා වසා සංරක්ෂණය කර තිබිණි. අත් පිටපත්, භාවිත බඩු භාණ්ඩ, නිතර කියැවූ පොත් මෙන් ම සිතුවම් රාශියක් ද එහි විණි. ඔහුගේ ලංකා ගමන ගැනත් ‘ග්‍රෑන්ඩ් ඔරියෙන්ටල්’ හෝටලයෙහි ස්මරණ ගැනත් මාර්ගෝපදේශිකා ගලීනා අප වෙත පවසන විට ඇගේ වුවනේ සොම්නසේ ලකුණු නිසඟයෙන් මතු වී තිබිණි.

ලේඛක ස්මරණ රැගත් කෞතුකාගාර සමූහය ගැන මෙවැනි කෙටි ලිපියකින් ලියා අවසන් කළ නොහැකි බැව් ඔබ දනී. අප මොස්කොව් හා පීටර්බර්ග් හි ගත කළ දින කිහිපය අනුස්මරණීය මතක සටහන් වූයේ මේ ස්මරණ නිසා ය. පුෂ්කින්ගේ විවාහ මංගල උත්සවය පැවැති දේවස්ථානයේ පටන් අස්සක් මුල්ලක් නෑර එහි විස්තර මාර්ගෝපදේශිකාව යෙලීනා අප හා පැවසුවේ ඇගේ සාහිත්‍ය හා ඉතිහාස දැනුම පිළිබඳ අප සිත්හි ගෞරවයක් ඇති කරමිනි.

රුසියාවේ බොහෝ දෑ අපට ආගන්තුක නොවන්නේ අප ළමා කාලය පොබවත් කළ රුසියන් සාහිත්‍යය නිසාය. ඒ මතක සටහන් සොයා ගිය මේ ගමන තවත් පොහොසත් කරන්නට රුසියානු පිටිසර පෙදෙසක නිවෙසකට ගිය ගමනත් ඉවහල් වූ බැව් නොකියා බැරිය. යස්යානා පොල්යානාවේ සිට තවත් සැතපුම් 30ක් පමණ ගිය විට මහා වගා බිමක් අබියස තනා තිබූ ඒ නිවහන කිසිදා මතකයෙන් බැහැර නොයනු ඇත. ඔවුන් නගරයට සාපේක්ෂ ව යම් දුෂ්කරතා විඳිතැයි අපට සිතුණත් සැබවින් ම ඔවුන්ට ඒ ගැන හාංකවිසියක් හෝ නොදැනෙන බව මා සිතුවේ ඔවුන්ගේ ඇස්වල වන සතුටේ දිලිසුම නිසා ය. අප දුෂ්කර යැයි සිතුව ද අයිලය දුෂ්කර යැයි පිළිගන්නට ඔවුහු සූදානම් නොවෙති. අඟලක් ගානේ වවා තමාට හැකි අයුරෙන් තමාගේ යුතුකම ඉටු කරන්නට පෙළ ගැසෙන අබිමානයේ සතුට මම ඒ ඇස් ඇතුළේ දුටුවෙමි. සැබවින්ම සතුට ඇත්තේ තමා කරන දෑට මුළු හිතෙන් ම අවංක වන්නන් අතර බැව් ලියා තබමි.

මම නිවා ගං ඉවුරේ ඉඳගෙන සිටිමි. ගඟ නිසල ය. ඉරත් හදත් එක ම අහසේ පායා තිබේ. ගං දිය ඉරටත් හදටත් දෙදෙනාට ම සිය ඇකයේ ඉඩ දෙන්නේ වෙනසක මායිමක් නැතිව ය. රාත්‍රියේ උදාවීමක් ගැන ලකුණකුදු නැත. අප දවල් යැයි සිතනා කාලයේ සේම මේ මොහොතේත් මංමාවත් කාර්යබහුල ය. එදා අප කියැවූ ලේඛකයන්ගේ ස්මරණ විඳීමේ ප්‍රහර්ශයෙන් මම උණුසුම් ව සිටිමි. ඔවුන් හා ගත කළ ඒ කාලයේ සතුටෙන් නිවී සිටිමි. ලේඛකයන්ට අබිමන් කරනා රටක් වෙනුවෙන් සිහින මවමි.

මිය යෑමට පෙර තොල්ස්තෝයි අවසන් වරට කියවා ඇත්තේ දොස්තයෙව්ස්කිගේ කර්මසෝ සහෝදරයෝ පොතයි. ඔහු කියවමින් සිටි පිටුව ඒ පෙරළු ලෙසින්ම සංරක්ෂණය කර ඇති අයුරු, අන්නා අහ්මතෝවා කෞතුකාගාරය ඉදිරිපසින් පෙනෙන අයුරු සහ ඔස්ත්‍රොව්ස්කි නිතර වාදනය කළ ගිටාරය, දෑස් නොපෙනෙන නිසා මඟ නිවැරදිව සොයා ගැනීමට භාවිත කළ සැරයටිය සහ ලියන කොළ රඳවා තබා ගෙන සිටීමට ඔහු විසින් ම සකස් කරන ලද ලී පුවරුව

මිය යෑමට පෙර තොල්ස්තෝයි අවසන් වරට කියවා ඇත්තේ දොස්තයෙව්ස්කිගේ කර්මසෝ සහෝදරයෝ පොතයි. ඔහු කියවමින් සිටි පිටුව ඒ පෙරළු ලෙසින්ම සංරක්ෂණය කර ඇති අයුරු, අන්නා අහ්මතෝවා කෞතුකාගාරය ඉදිරිපසින් පෙනෙන අයුරු සහ ඔස්ත්‍රොව්ස්කි නිතර වාදනය කළ ගිටාරය, දෑස් නොපෙනෙන නිසා මඟ නිවැරදිව සොයා ගැනීමට භාවිත කළ සැරයටිය සහ ලියන කොළ රඳවා තබා ගෙන සිටීමට ඔහු විසින් ම සකස් කරන ලද ලී පුවරුව

ඇන්ටන් චෙකොෆ් අවසන් වරට පැලඳි උපැස් යුවළ සහ මැක්සිම් ගෝර්කිගේ අත්අකුරු පිටපත් සහ භාවිත කළ උපැස් යුවළ

ඇන්ටන් චෙකොෆ් අවසන් වරට පැලඳි උපැස් යුවළ සහ මැක්සිම් ගෝර්කිගේ අත්අකුරු පිටපත් සහ භාවිත කළ උපැස් යුවළ

 

ඡායාරූප – චිරත්මා මීගහවත්ත

සුමුදු චතුරාණී ජයවර්ධන

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division