Home » IMF ‍වෙතින් ලැබුණේ රටේ ආර්ථිකය යළී ගොඩනැඟීමේ සාර්ථකත්වය ගැන පිළිතුරයි

IMF ‍වෙතින් ලැබුණේ රටේ ආර්ථිකය යළී ගොඩනැඟීමේ සාර්ථකත්වය ගැන පිළිතුරයි

මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

by Mahesh Lakehouse
June 15, 2024 12:30 am 0 comment

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබෙන විස්තීර්ණ ණය වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අනුමත කර තිබෙන අතර ඒ අනුව තෙවැනි ණය වාරිකය වන අමෙරිකානු ඩොලර් මිලියන 336 ක මුදලක් නිදහස් කිරීමට පියවර ගෙන තිබේ. ඉකුත් 2022 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටීමෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ වත්මන් රජය ක්‍රියාත්මක කළ ආර්ථික සහ මූල්‍ය ප්‍රතිසංස්කරණ හමුවේ ස්ථාවර මට්ටමකට ශ්‍රී ලංකාව පැමිණ තිබෙන අතර මේ දක්වා ක්‍රියාත්මක කළ වැඩසටහන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන සහයෝගය මෙන්ම තවදුරටත් ක්‍රියාත්මක කළ යුතුව තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ආදිය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ සමඟ “සිළුමිණ” කළ සංවාදයකි.

ජාත්‍යන්තර මූල්‍ය ඇරමුදල ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක කර තිබෙන විස්තීර්ණ ණය වැඩසටහන අදාලව තෙවැනි ණය වාරිකය ද මේ වන විට නිදහස් කර තිබෙනවා. ඒ වෙනුවෙන් රජය ගත් ක්‍රියාමාර්ග මොනවාද ?

රජය දැඩි විශ්වාසයකින් කටයුතු කළා තෙවැනි වාරිකය නිදහස් කර ගැනීමට හැකිවෙතැයි කියා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය 2023 වසරේ මාර්තු මාසයේත් දෙවැන්න 2023 දෙසැම්බර් මාසයේදිත් අපට ලැබුණා. ඒ අනුව 2024 වන විට අපි අපේක්ෂා කළ ආකාරයෙන් 2023 වසරේ මාර්තු මාසයේ අපි ඇතිකරගත් මාණ්ඩලික මට්ටමේ එකඟතාව අනුව මේ වාරිකය නිදහස් වීම සිදු වුණා. ඒ අනුව අපි බලාපොරොත්තු වන විදියටම මේ රටේ ආර්ථිකය නව මානයකට රැගෙන යන්න, නැවත ආර්ථික අර්බුදයකට මුහුණ නොදෙන රටක් බවට පරිවර්තනය කරන්න යන ගමන තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවැනි වාරිකය නිදහස් වීම සහ ජාත්‍යන්තරයට හා දේශීය වශයෙන් අපේ රටේ ආර්ථිකය ගොඩනැඟීමේ සාර්ථකත්වය පිළිබඳ සහතිකය ලබාදී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරික ලබාගැනීම සඳහා මෙතෙක් රජය ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිසංස්කරණ මොනවාද ?

විපක්ෂයේ කණ්ඩායම්වලින් රජයට පැමිණි චෝදනාවක් තමයි අද රට මෙහෙය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන කාරණය. 2022 වසරේ මාර්තු මාසයේදී තමයි රටක් ලෙස අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ඉල්ලුවේ. 2022 වසරේ අප්‍රේල් මාසයේ සිට මේ සාකච්ඡා ආරම්භ වෙලා අවශ්‍ය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කළා. මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජනාධිපතිවරයා සහ රජය ගනු ලැබූ ක්‍රියාමාර්ග හා ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අගය කිරීමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිදු කර තිබෙනවා. අපි විශ්වාස කරනවා 2022 වසරේ ඇතිවූ කඩාවැටීමෙන් රට මුදාගෙන 2024 දක්වා ගමන් කරද්දී විශාල කැපකිරීම් රැසක් කරන්න ජනාධිපතිවරයාට, ජනතාවට සහ රජයට සිදු වුණා. අපි ඒ කාලයේ පැහැදිලිව කිව්වා මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කෙටිකාලීනව දුෂ්කර වුණත් මැදිකාලීනව සහ දීර්ඝකාලීනව යහපත් ප්‍රතිඵල අරගෙන එනවා කියලා. මුල් දුෂ්කර කාලය අවසන් කොට අද වනවිට ප්‍රතිඵල ලබන තත්ත්වයට පැමිණ තිබෙනවා.

මේ වැඩසටහන තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට විවිධ බලපෑම් සිදු කරන බවට චෝදනා එල්ල වෙනවා. එහි සත්‍යය කුමක්ද ?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිම අවස්ථාවක බලහත්කාරයෙන් කිසිදු ප්‍රතිසංස්කරණයක් හෝ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාවට පටවා නැහැ. රටේ පැවැති තත්ත්වය තුළ අපි සහාය ඉල්ලුවාම ඔවුන් අපිට කඩා වැටුණු ආර්ථිකය ගොඩනංවන්න සහ නැවත කඩා නොවැටෙන ආර්ථිකයක් කරා ගමන් කරන මාර්ගය පෙන්වා දී තිබෙනවා. එතැනදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පෙන්වා දී තිබෙනවා. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් තීරණ, ව්‍යුහාත්මක වෙනස්කම්, ණය කළමනාකරණය සඳහා වන ප්‍රතිව්‍යුහගතකරණයක් වෙත ගමන් කිරීම, යහපාලනයක් නිර්මාණය කිරීම සඳහා හඳුනාගත් දුර්වලතා නැති කරන්න රජයක් ලෙස ලබාගත යුතු ක්‍රියාමාර්ග ආදිය පෙන්වා දී තිබෙනවා.

එවිට රජයට තීන්දුවක් ගන්න වුණා මේ ගමන් මාර්ගයේ ගමන් කොට ජනතාව අපේක්ෂා කරන යහපත් ජීවන රටාවක් ඇති රටක් බවට ශ්‍රී ලංකාව පත්කරනවාද එසේ නොමැතිව 2022 පැවැති තත්ත්වය තුළ සියයට 70කින් උද්ධමනය නවතින්නේ නොමැතිව දිගින් දිගටම උද්ධමනය ඉහළ යන රටක ජීවත් වෙනවාද කියන කාරණය ගැන තීන්දුව ගන්න තිබ්බේ ජනාධිපතිතුමාට සහ රජයට ජනතාව වෙනුවෙන්. අපි නිවැරැදිම තීන්දුව ගත්තා. ඒ ගත්ත තීන්දුව නිවැරැදියි කියන එක අද සංඛ්‍යාත්මකව ඔප්පු වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම මේ වාරිකය අනුමත කිරීම අපි ආර්ථිකමය වශයෙන් තවදුරටත් ස්ථාවර වී ශක්තිමත් වීමට විශාල පිටුවහලක් වෙනවා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දින තුනක විවාදයක් කළා. ඡන්ද විමසීමක් කළා.

අද මේකට විරුද්ධ සියලු දෙනා එක්කෝ ඡන්දය දීමෙන් වැළකී සිටියා. එසේ නොමැති නම් විරුද්ධව ඡන්දය දුන්නා. ඒ නිසා අපිට හංගන්න දෙයක් නැහැ. අපි කරන ක්‍රියාමාර්ග පිළිබඳව පෙන්වාදී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ තත්ත්වය සම්බන්ධයෙන් කරුණු දක්වා තිබෙනවා. අපි ලබා තිබෙන ප්‍රගතිය සම්බන්ධයෙන් ඔවුන් අගය කිරීමකට ලක්කර තිබෙනවා. මේක සරල වැඩක් නොවෙයි. පදනම් විරහිත චෝදනා එල්ල කරනවා වගේ මේක ලෙහෙසි නැහැ. මේක කරන්න අමාරුයි, කරන්න බැහැ, මේක කරන්න එපා කියලා විශාල පිරිසක් කිවුවා. ඒ සියලු අභියෝගවලට රජය මුහුණ දුන්නා. ජනාධිපතිතුමාගේ සහ රජයට පැමිණි තර්ජන දෙස බලන්න. නමුත් ඒ තීන්දු නොගත්තා නම් අද අපිට රට ගැන කතා කරන්න ඉතිරි වෙන්නේ නැහැ. ඒ නිසා සම්පූර්ණ කළ යුතු කාරණා අපි සම්පූර්ණ කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය වාරික නිදහස් කිරීමට අදාළ සමාලෝචන සඳහා අනුමැතිය ලබාදුන්නද විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු විවිධ චෝදනා එල්ල කරනවා නේද?

අපි ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනේ අවසන් අදියරේ මේ වන විට ඉන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා 12 දින වොෂිංටන් නගරයේ වෙලාවත් සමඟ අපේ රාත්‍රී කාලය වන විටත් අනුමත කිරීමට නියමිතව තිබ්බ විධායක මට්ටමේ සාකච්ඡාවට පෙර කියනවා මේ අනුමත වීම සිදුවෙයි. ඒක හොඳයි. ඒ අනුමත සිදුවීම සිදු වන්නේ ශ්‍රී ලංකාව බැඳුම්කර හිමියන් සමඟ ඇතිකර ගන්නා අහිතකර එකඟතා මත බවට පවසනවා. මේ තත්ත්වය ඔහුට තේරුම් ගන්න බැහැ. අපි කිසිම අහිතකර එකඟතාවකට ගමන් කර නැහැ. කිසිම අහිතකර එකඟතාවකට එකඟ වෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉඩ ලබාදෙන්නෙත් නැහැ. අපේ ණයහිමියන් අපිට බලපෑමක් කරලත් නැහැ. බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කර තිබෙනවා. පළමු සාකච්ඡා වටය එකඟතාවකින් තොරව අවසන් කරන්න සිදු වුණා. එතනින් එහාට ගොස් අපේ උපදේශක, ඔවුන්ගේ උපදේශක හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් වී මොකක්ද කරන්න පුළුවන් හොඳම විසඳුම කියන කාරණාවට ශ්‍රී ලංකාවට සහාය දක්වන්න කටයුතු කළා.

නමුත් අද ඇතිව තිබෙන ආර්ථික ප්‍රගතිය පිළිබඳ නිවැරැදි සංසන්දනයක් කරගන්නත් පුළුවන්. උද්ධමනය සියයට 70ක් තිබ්බා 2022දී. ඩොලරයේ වටිනාකම රුපියල් 420ක මිලකට කළු කඩේ තිබුණා. මිල වශයෙන් ගත් විට 367ක ප්‍රමාණයේ තිබුණා. රටට සංචාරකයන් ආවේ නැහැ. සංවිධානාත්මක දේශපාලන කණ්ඩායම් කිව්වා විදේශ විනිමය බැංකු පද්ධතිය හරහා ශ්‍රී ලංකාවට එවන්න එපා. ඒ එවීම නවතා රටේ ආර්ථිකය කඩා වැටෙන්න කටයුතු කරන්න කියලා. අතවශ්‍ය භාණ්ඩ අපට ආනයනය කර ගන්න බැරි වුණා, මොකද විදේශ විනිමය ආසන්න වශයෙන් මිලියන 20ක ප්‍රමාණයකට ආසන්න වශයෙන් අඩු වුණා. 2022 අප්‍රේල් මාසයේ අපි ණය තාවකාලිකව අත්හිටුවන රටක් හැටියට තීන්දු කරනවා. ඊළඟට පෝලිම් යුගයක් තිබ්බා, දවස් පහක් පෝළිම්වල හිටියා තෙල් ගන්න බැරි වුණා, ගෑස් ගන්න බැරි වුණා. ජීවිත කිහිපයක් අහිමි වුණා. පොහොර තිබුණේ නැහැ, බෙහෙත් තිබුණේ නැහැ, ආහාර ද්‍රව්‍ය හිඟයක් තිබ්බා. මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගියා. ඒ වගේ බරපතළ තැනක තිබුණ ආර්ථිකයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මඟ පෙන්වීම මත රජය නිවැරැදි තීන්දු ගත් නිසා 2024 වෙද්දී මේ තත්ත්වය සම්පූර්ණයෙන් පහළ ගිහිල්ලා යහපත් ආර්ථිකයක් වෙත අප ගමන් කර තිබෙනවා. මේ ප්‍රගතිය ඉදිරියට අරගෙන යාම සහඅවදානම් තත්ත්වයන් තුළට ගමන් කිරීමෙන් වැළකීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මනාව පෙන්වා දෙනවා. රාජ්‍ය මූල්‍ය කළමණාකරණයට ගත් පියවර, ව්‍යුහාත්මක වෙනස්කම්වලට රජය කළ කැපවීම, විශේෂයෙන්ම අපේ රටේ යහපාලනයට තිබුණු කැපවීම, වංචා සහ දූෂණ නැති කිරීමට රජය ගත්තු ක්‍රියාමාර්ග පිළිබඳ මේ සමාලෝචනය තුළ විශේෂ අගය කිරීමකට ලක්කර තිබෙනවා.

රටේ අනාගතය සම්බන්ධයෙන් මේ වනවිට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ එලෙසින්ම පවත්වාගෙන යනවාද ? එසේ නොමැති නම් වෙනසක් අපේක්ෂා කරනවාද ?

ශ්‍රී ලංකාව තමයි පාලන විනිශ්චයන් පිළිබඳ යම් තක්සේරුවක් ලබා ගත් ආසියාවේ පළමුවෙනි රට. ඩයග්නොස්ටික් රිපෝට් එකක් පළමුවෙන්ම රිපෝට් වෙච්ච රට තමයි ශ්‍රී ලංකාව. ඒක පබ්ලිෂ් වුණා විතරක් නෙවෙයි ඒ වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ග සම්බන්ධයෙනුත් රජයේ වැඩපිළිවෙළ ප්‍රකාශයට පත්කරලා තිබෙනවා. ඒ නිසා මේ මාර්ගයේ ගමන් කරනවා මිසක් විකල්ප මාර්ග නැහැ. 2022 තෝරාගන්න තිබුණේ ඒ පැවැති තත්ත්වයෙන් රට මුදා ගන්න පියවර ටික මොනවද කියන එක. අපිට ඒකම තමයි අදටත් තිබෙන්නේ. වෙනස්කම් සිදු කිරීම නැවත 2022ට ගමන් කිරිමක්.

රජයේ වැඩපිළිවෙළ අපි ඉදිරිපත් කර තිබෙනවා. ක්‍රියාත්මක කර තිබෙනවා. වෙනස් කරන්නේ නැහැ කියලා තිබෙනවා. ඒකෙ ප්‍රතිඵල අපට ලැබෙමින් පවතිනවා. අපි කැමැතියි මේක විවේචනය කරන විරුද්ධවාදී මත දරන කණ්ඩායම්වල වැඩපිළිවෙළ දැනගන්න. කරනවා කියන වැඩපිළිවෙළ දැන්වත් රටට කියන්න. එහෙම නැතිව මැතිවරණයක් ප්‍රකාශයට පත්වෙලා ඒ දින සති කිහිපය තුළ ජනතාව රවටන්න වැඩ කරන්න එපා. තවම මීට විකල්ප පිළිගත හැකි වැඩපිළිවෙළක් විපක්ෂයේ කිසිම දේශපාලන පක්ෂයක් ඉදිරිපත් කර නැහැ. ඔවුන්ට වැඩපිළිවෙළකුත් නැහැ. ඔවුන්ට අවසානයේ ඉතුරු වෙන්නේ වචන වෙනස් කරලා වෙනත් ආකාරයකට ප්‍රකාශයට පත්කිරීම මිසක් වෙන විකල්පයක් නැහැ. ඒ හින්දා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ නායකත්වය තමයි 2022 තත්ත්වයෙන් 2024 දක්වා ඉන් ඉදිරියටත් රටේ අනාගතය තහවුරු කරන්න බලපාපු ප්‍රධාන කාරණය. එතුමා ගත්තු සෘජු තීන්දු එතුමාගේ නොපසුබට උත්සහය සහ එතුමා නොසැලෙන ආකාරයට තීන්දු ගත්තා.

ඇතැම් සමීක්ෂණ ආයතන රජයේ වැඩපිළිවෙළ පිළිබඳ යම් යම් දර්ශක ඉදිරිපත් කර තිබෙනවා. එම දර්ශකවල සත්‍යතාවක් තිබෙනවාද ?

ඇතැම් සමීක්ෂණ ආයතන දැඩි සේ රජය විවේචනය කරනවා. අනුමැතිය දෙන්න තිබියදී ඔවුන්ගේ විශ්වාසනීය භාවයත් කෙලෙසමින් දේශපාලන අරමුණු ඉටුකර ගන්න කටයුතු කර තිබෙනවා. රටක් නිවැරැදි විය යුතු තැන පෙන්වා දීම වැදගත්. නමුත් ඉදිරියට යද්දී හොඳ ක්‍රියාමාර්ග ගෙන තිබෙන විට ජාත්‍යන්තරය ඒ සම්බන්ධයෙන් ප්‍රශංසා කරන විට ඊට ප්‍රතිවිරුද්ධ මතයක් ඇති කරන්න දේශීය සමීක්ෂණ ආයතන කටයුතු කිරීම සම්බන්ධයෙන් කනගාටු වෙනවා. සමීක්ෂණ ආයතන බරපතළ ලෙස දේශපාලන අරමුණක් වැරැදි සහඟත ප්‍රවෘත්ති නිර්මාණය කළත් අපි පැය කිහිපයක් ඇතුළත ක්‍රියාවෙන් ශ්‍රී ලංකාවේ යහපත් තත්ත්වය ඔප්පු කර තිබෙනවා. විපක්ෂයත් රට ගැන හිතනවා නම් ජනාධිපතිවරයාට සහාය දිය යුතු වෙනවා. බැඳුම්කර හිමියන් සම්බන්ධයෙන් ගෙන යන මතය බොරුවක් ලෙස ඉදිරියේදී ඔප්පු වෙයි. ඉදිරියේදී වාසි සහගත තත්ත්වයන් මේ වැඩසටහන් තුළ ඒවි.

දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් රජය මේ වනවිට ගනිමින් සිටින ක්‍රියාමාර්ගවල ප්‍රගතිය කෙසේද ?

මේ තත්ත්වය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපිව අගය කිරීමට ලක්කර තිබෙනවා. කෙටි කලක් තුළ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ අවසානය අපිට දකින්න පුළුවන් වෙයි. ඉලක්කයක් මත කාල රාමුවක් තුළ අපි කටයුතු කර තිබෙනවා. රට පිළිබඳව මෙතෙක් පැවැති අවදානම මේ වනවිට පහව ගොස් තිබෙනවා. නමුත් එය පහව යන්නේ මේ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙනයාම තුළ පමණයි. වෙනස් කළ විගස නැවත කඩාවැටීමට ලක් වෙනවා. ඒ තත්ත්වය ඇති නොවන්න අපි කටයුතු කළ යුතු වෙනවා.

පසුගිය කාලයේ බලයට පත් සෑම රජයක්ම ක්‍රියාත්මක කළ වැරැදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් අද වන විට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදය ඇතිවී තිබෙන බවට පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයන් සඳහන් කරනවා. එවැනි අර්බුදයක් ඇතිවන්න හේතුව කුමක්ද ?

හැම ආණ්ඩුවක්ම උත්සාහ කළා නිවැරැදි ප්‍රතිපත්ති රට තුළ ක්‍රියාත්මක කරන්න. නමුත් අවාසනාවකට ඒ ඒ රජයන් හි නායකයන්ට විවිධ බලපෑම් ආවා. ඒ බලපෑම් ආවේ බොහෝ අවස්ථාවල තමන්ගේම රජය ඇතුළෙන්. ඒ වගේම බොහෝ ආණ්ඩු කටයුතු කළේ ජාත්‍යන්තරය, ජාත්‍යන්තර සංවිධානවල ගුණාත්මක ක්‍රියාමාර්ග පසෙකලා අප විසින් සිදු කරන ක්‍රියාමාර්ග නිවැරැදි යැයි කියන විනිශ්චයකින්. අපි ඒ වෙනස්කම් අවුරුදු 20කට පෙර කළා නම් 2022 තත්ත්වයට යන්නේ නැහැ. අපි ආර්ථික වශයෙන් කඩා වැටුණාම දරුණුම තැනට රට කඩා වැටුණා. නමුත් ආණ්ඩුව හැර විපක්ෂයේ දේශපාලන පක්ෂ එතැනින් පාඩමක් ඉගෙන ගෙන තිබෙනවා. ජනාධිපතිතුමා එතනින් ඉදිරියට රට ගෙන යන්න කටයුතු කරමින් ඉන්නවා. ගුණාත්මක වෙනස්කම්වලට රටක් ලෙස අද භාජනය වී තිබෙනවා.

මේ වැඩපිළිවෙළ තුළ වැදගත්ම දේම ශ්‍රී ලංකාව වෙනස්කම් කළ රටක් වශයෙන් ජාත්‍යන්තරය පිළිගෙන තිබෙනවා. විපක්ෂය හදන්නේ තවම මඩගොඩ තුළ අසාර්ථක ක්‍රමවේද තුළ රාජ්‍ය පාලනයක් කරනවා කියලා පොරොන්දු දෙන්න. මේ පොරොන්දුව මත ඉදිරියට යන්න බැහැ. ක්‍රියාව මත ඉදිරියට යනවා මිස පොරොන්දුව මත ඉදිරියට යන්න බැහැ. ආණ්ඩුවට මේකෙන් පාඩමක් ඉගෙන ගන්න පුළුවන් නම් සිදුවූ වැරැදි පිළිබඳ නැවත ඇති නොවන්න කටයුතු කරන්න පුළුවන් නම් විපක්ෂයේත් වගකීම තමයි ආණ්ඩුවේ මතයට එකඟ නොවුණත් මේ වැරැදි නැවත සිදු නොවන්නට වගබලා ගැනීම. එයින් පිළිඹිබු වෙන්නේ වැඩපිළිවෙළක් නොමැතිකමයි. විපක්ෂයේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් දෙකටම වැඩපිළිවෙළක් නැහැ. හැකියාවක් නැහැ. දැක්මක් නැහැ. විවේචනයට පමණක් සීමා වී තිබෙනවා.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division