Home » හිතට ගතට වද දෙන හිසරදය

හිතට ගතට වද දෙන හිසරදය

by Mahesh Lakehouse
June 15, 2024 12:30 am 0 comment

– ප්‍රතිකාර කිරීමේදී රෝගය හඳුනාගෙන ප්‍රතිකාර යෙදීමෙන් සුවය ලබා ගත හැකිය
– හිසරදයට ප්‍රතිකාර කිහිපයක්

ශ්‍රී ලාංකික ජන සමාජයේ කිසියම් දවසක හිසරදය නොවැලඳුන කෙනෙක් සොයා ගත නොහැකිය. ගත සිත දෙකම පීඩාවට පත් කරන හිසරදය ඒ තරම්ම සුලභය.

හිසරදය සහ හිසට සම්බන්ධ සියලු අවයවලට බලපෑමක් ඇති කරන සෞඛ්‍ය ගැටලුවකි. ඇතැමෙකුට හිසරදය සුලබ රෝගී තත්ත්වයකි. ඇතැමෙකුට එය කලාතුරකින් ඇතිවන පීඩාකාරි තත්ත්වයකි.

හිසරදයෙන් ඇතිවන වේදනාව අනුව සුළු හිසරද තත්ත්වයේ සිට දරාගත නොහැකි වේදනාවක් දක්වා දිවෙයි. තදබල හිසරද තත්ත්වයන්හි දී වේදනාව, ඔක්කාරය, වමනය ක්ලාන්තය ආහාර අරූචිය ඇති විය හැකිය. මෙසේ හිසරදයේ ස්වභාවයේ වෙනස්කම් ඇති වන්නේ හිසරදය ඇතිවීමට මූලික වූ හේතුන්ගේ ස්වභාවය අනුවය.

හිසරදය යනු රෝගයක් නොවේ. ශරීර අභ්‍යන්තරයෙන්ම ඇතිවන කිසියම් අස්වාභාවික තත්ත්වයක් හෝ රෝග තත්ත්වයක ලක්ෂණයකි. එබැවින් ප්‍රතිකාර කිරීමේ දී රෝගය හඳුනාගෙන රෝගය ඉවත් කිරීමට ඉවහල්වන ප්‍රතිකාර යෙදීමෙන් සුවය ලබා ගත හැකිය.

ආයුර්වේදයට අනුව හිස ශරිරයේ උතුම්ම අංගයයි. එය උත්තමාංගය ලෙස නම් කර ඇත. අපට බුද්ධිය අවබෝධය ලබා දෙන පංචේන්ද්‍රියන්ගෙන් හතරක්ම පිහිටා ඇත්තේ හිසෙහිය. තවද එම ඉන්ද්‍රියන්ට අයත් මූලස්ථානය පිහිටා ඇත්තේ හිස තුළය. අපගේ කැමැත්ත අනුව ක්‍රියාත්මක වන දෙඅත්, දෙපා, මුඛය, ගුදය, ලිංග යන කර්ම ඉන්ද්‍රියන්ගේ මූලස්ථාන පිහිටා ඇත්තේ හිස තුළය.

එමෙන්ම සමස්ත ශරීරයේ මෙහෙයුම කරන ස්නායු පද්ධයේ මූලස්ථානය ද මොළයයි. අපගේ මතක ගබඩාවද මොළය ය. හිස මිනිස් සිරුරේ උත්තමාංගය ලෙස සලකා ඇත්තේ එබැවිනි. මේ තත්ත්වය නිසා කවර හේතුවක් මත හිසරදය හැදුන ද හිසට සම්බන්ධ එම අවයවයන්හි අසහනකාරි පීඩාකාරී තත්ත්වයක් ඇතිවීම ස්වභාවිකය.

හිසරදය ඇතිවන හේතු විවිධාකාර වේ. ඇතැම් හේතු නොසලකා හල හැකි සරල හේතූන්ය. උදාහරණ වශයෙන් ගතහොත් කුසගින්න බොහෝ වේලාවක් දරාගෙන සිටීම, මල මුත්‍රවේග බොහෝ වේලාවක් දරාගෙන සිටීම, මලබද්ධය, කාන්තාවන්ගේ ඔසප් සමය, තද අව්ව, තද පින්නේ ගැවසීම, දෙනෙත් වෙහෙසට පත් කරන කාර්යයන්හි එක දිගට යෙදී සිටීම, සිසිල් කළ පානවර්ග භාවිතය, අයිස් ක්‍රීම්, රටකජු වැනි කෑම වර්ග ගැනීම වැනි හේතු දැක්විය හැකිය.

මෙවැනි හේතු නිසා ඇතිවන හිසරදය භායානක තත්ත්වයක් නොවේ. එය කෙටි වේලාවකට සීමාවන හිසරද තත්ත්වයකි. අදාළ හේතුව ඉවත් කිරීමෙන් හොඳ විවේකයක් ලබා ගැනීම, හොඳ නින්දක් ලබා ගැනීම වැනි ක්‍රමවලින් එම හිසරදය නැති වී යයි.

සැලකිය යුතු අවධානයක් ලක්විය යුතු බරපතළ රෝග තත්ත්වයන් නිසා ද හිසරදය ඇති වේ. උදාහරණ වශයෙන් මස්තිෂ්ක කලා ප්‍රදාහය ( මෙනින්ජයිටිස්) , මොළයේ පිළිකා තත්ත්ව, මස්තිෂ්ක ආඝාතය, අධික රුධිර පීඩනය, හිසට සිදුවන බරපතළ අනතුරු ආදිය දැක්විය හැකිය. එම තත්ත්වයන්ට අමතරව, දන්ත රෝග, අක්ෂි රෝග, ග්‍රීවා කෂේරුකා ආශ්‍රිත රෝග, ආදී තත්ත්ව නිසා ද හිසරද ඇති විය හැකිය.

මෙම තත්ත්වයන්ට අමතරව එතරම් බරපතළ නොවන රෝග තත්ත්වයන් වන සෙම්ප්‍රතිශ්‍යාව, පීනස, නළල සහ මුහුණ ආශ්‍රිත කෝඨරවල සෙම පිරී තදවීම හෙවත් කෝඨර ප්‍රදාහය ආදී තත්ත්වයන්ගෙන් ද හිසරදය ලක්ෂණයක් ලෙස ඇති වේ.

මේ දිනවල පවතින සීතල සුළඟ සහ වැසි සහිත තත්ත්වයන් නිසා බොහෝ සෙයින් ඇතිවිය හැකි හිසරද තත්ත්වයක් වන්නේ නළල සහ මුහුණ ආශ්‍රිත කෝඨරවල සෙම රැස්වීම නිසා ඇතිවන හිසරදය ය. මෙහිදී බොහෝ විට වේදනාව ඇති වන්නේ නළල සහ මුහුණ ආශ්‍රිත ප්‍රදේශවලය. හිස සහ මුහුණේ බර බව, නිදිබර බව, මුහුණ සහ ඇස් වටා ඉදිමුණ ස්වභාවයක් ඇති වීම, උගුරේ සෙම බැඳීම, කන්වල සෙම තදවීම, කන් ඇසීම අඩු වීම, නාසය සිරවීම, නාසයෙන් හුස්ම ගැනීම අපහසුවීම වැනි ලක්ෂණ ද ඇති වේ.

සෙම තද ඇති වූ කෝඨරවල ආසාදනයක් ඇති වුවහොත් තද උණ ගතිය ද ඇති විය හැකිය. මෙම රෝග තත්ත්වවලදී ඝණ වී ඇති සෙම දියකර හැරීමට ඉවහල්වන ශරීර අභ්‍යන්තරයට යොදන ප්‍රතිකාර සහ බාහිරට යොදන ප්‍රතිකාර ද යෙදිය යුතු වේ. පළපුරුදු වෛද්‍යවරයෙක් හමුවී අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්නා තෙක් සරල අත් බෙහෙත් වශයෙන් පහත සඳහන් ප්‍රතිකාර නිවසේ දී කරගත හැකිය.

ආයු­ර්වේද විශේ­ෂඥ වෛද්‍ය ඩී.ඩබ්.ජේ. සේනා­රත්න

ආයු­ර්වේද විශේ­ෂඥ වෛද්‍ය ඩී.ඩබ්.ජේ.
සේනා­රත්න

අභ්‍යන්තර ප්‍රතිකාර වශයෙන්

1 ඉඟුරු කොත්තමල්ලි දෙවර්ගය තැම්බූ වතුර දෙවරක් හෝ තුන් වරක් පානය කිරීම.

2 බෙලි මුල් තිප්පිලි මුල් සහ වියළි ඉඟුරු සමව ගෙන තම්බාගත් වතුර දවසට දෙවරක් හෝ තුන් වරක් පානය කිරීම.

3 ආහාර සමඟ රතුළූණු ගෙඩි කීපයක් අමුවෙන් විකා කෑම

4 විටින් විට උණුසුම් ජලය පානය කිරීම

බාහිර ප්‍රතිකාර

දුම් වාෂ්ප ඇල්ලීම. මේ සඳහා උණුසුම් ජල වාෂ්ප ඇල්ලීම කළ හැකිය. ඊට අමතරව දෙහි කොළ, කොත්තමල්ලි දෙවර්ගය තම්බාගත් ජලයෙන් හුමාලය ඇල්ලීම සුදුසුය. එමෙන්ම බෙලි කොළ තැම්බූ වතුරෙන් හුමාල ඇල්ලීම කළ හැකිය.

එසේ හුමාලය ඇල්ලීමෙන් පසු එම ජලයෙන් මුහුණ, නළල, බෙල්ල අවට සේදීම ඉතා ගුණදායක වේ. වරකට විනාඩි 10ක් 15ක් බැගින් දිනකට දෙවරක් හුමාලය ඇල්ලීම වඩාත් ප්‍රතිඵල දායක වේ.

එමෙන්ම සර්ව විෂාදී තෛලය හෝ විෂාදී තෛලය හෝ නිර්ගුණ්ඩ්‍යාදි තෛලය හෝ ගෙන මදක් රත් කර උණුසුම්ව ගෙන නළල, කම්මුල්, ගෙල අවට ගල්වා විනාඩි පහක් දහයක් පමණ හොඳින් පිරිමැද තැවිලි පොට්ටනියකින් එම ප්‍රදේශ තැවීම වඩාත් ගුණාදායක වේ.

තැවිලි පොට්ටනිය

සියඹලා කොළ, හීන් උඳුපියලිය. රතු ළූනු ටික ටික ගෙන කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා තැවීම ගුණදායක වේ. මෙම ප්‍රතිකාරය දිනයේ ඕනෑම වෙලාවක යෙදිය හැකි වුවත් උදය කාලයේ යොදන්නේ නම් වඩාත් ප්‍රතිඵලදායක වේ.

කෝඨර ප්‍රදාහයෙන් පෙළෙන අවස්ථාවලදී සීත සුළං වැදීම, පින්නේ ගැවසීම, නිදිවැරීම, තද හිරු එළියේ ගැවසීම දුම සහ දූවිලි ගැවසෙන ස්ථානවල රැඳී සිටීම, නුසුදුසුය.

එමෙන්ම ජලය සහ ශීතකළ කෑම සහ බීම. මුදවපු කිරි, මෑ කරල්, නිවිති වැනි ශීත ගුණයෙන් යුතු ආහර ගැනීම ද සුදුසු නැත. මෙම අත් බෙහෙත් භාවිතයෙන් සුවයක් නොලැබේ නම් අනිවාර්යයෙන් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවී ප්‍රතිකාර ගැනීම නිර්දේශ කෙරේ.

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division