Home » සතියේ කල දවස

සතියේ කල දවස

ජුනි 10 සිට 16 වැනි ඉරිදා දක්වා

by Mahesh Lakehouse
June 8, 2024 12:30 am 0 comment

මේෂ 
සුබ සතියකි

සඳු ගමන් ගන්නේ 4, 5, 6 යන භාවයන් මතිනි. සතිය ආරම්භයේ සිටම යහපත් වූ වැඩ කටයුතුවලට අත ගසයි. ගෙදරදොර පිළිවෙළට අලංකාරවත්ව තබයි. දුවා දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය ගෙනදෙයි. මා පිය දූ දරු සෙනෙහස, ව්‍යාපාර, රැකියා දියුණුව ඇති කරන සුබ සතියක් ලෙස හඳුන්වා දිය හැක. අපල අවම වීමට අසරණ වූ අයට උපකාර කරන්න.

සුබ අංක – 8, 9, සුබ වර්ණ – නිල්, රතු, සුබ දවස් – අඟහරුවාදා, බදාදා

වෘෂභ
දූ දරු මා පිය බැඳීම්

සඳු ගමන් කරන්නෙ 3, 4, 5 යන භාවයන් හරහාය. ප්‍රාථමික අංශවල අධ්‍යාපනය ලබන දරුවන්ගේ සුවිශේෂී දක්ෂතා ඉස්මතුව පෙනෙයි. මා පිය දූ දරු සහෝදර බැඳීම් වැඩි දියුණුවන පරෝපකාර පිංකම් කටයුතුවල යෙදී දෙලොව දියුණුව සලසා ගනි. ගමන් බිමන් අධික වේ. සහජ දක්ෂතා අනුව කරන ස්වයං රැකියාවලින් ලාභ උපයයි. අපල අවම වීමට රෝගීන්ට උපකාර කරන්න.

සුබ අංක – 5, 6, සුබ වර්ණ – කොළ, සුදු, සුබ දවස් – සෙනසුරාදා, බදාදා

මිථුන
අතමිට මිල මුදල් ගැවසේ

සඳු ගමන් ගන්නේ 2, 3, 4 යන භාවයන් හරහාය. ඔබගේ මුදල් පසුම්බිය තරවෙන සතියකි. කරන කියන රැකියා කටයුතුවලින් ලාභ ප්‍රයෝජන උපයයි. ඔබගේ වටිනාකම අන්‍යයන්ට දැනෙන සතියක් බැවින් ඔබ සොයා එන පිරිස වැඩිවෙයි. බුද්ධිමත් බව වැඩිවෙයි. පැහැදිලි වචන භාවිතය නිසා අන්‍යයන්ට ප්‍රිය වෙයි. අපල අවම වීමට ඔබ කරන සේවාව උපරිමයෙන් අවංකව කර දෙන්න.

සුබ අංක – 3, 5, සුබ වර්ණ – කොළ, කහ, සුබ දවස් – බදාදා, සිකුරාදා

කටක
දුර ගමන් බිමන් යෙදේ

සඳු ගමන් ගන්නේ ලග්නය 2, 3 හරහාය. මේ සතියේ ඔබට දුර ගමන් නැතහොත් කෙටි ගමන් බිමන් වැඩිවිය හැක. ප්‍රිය වචන භාවිතය තුළින් අන්‍යයන්ගේ සිත් දිනයි. සාමකාමීව ගෘහ ජීවිතය පවත්වා ගත හැකි සහෝදර බැඳීම් වැඩිවන සහජ දක්ෂතා වැඩිදියුණු වන සතියකි. සෙම් රෝග උද්ගත විය හැකි බැවින් සෞඛ්‍ය තත්වය පිළිබඳව සැලකිලිමත් වන්න. උසස් උගත් මිතුරන් මුණගැසේ. අපල අවම වීමට දුර්වලයිනට උපස්ථාන කරන්න.

සුබ අංක – 2, 7, සුබ වර්ණ – සුදු, කහ, සුබ දවස් – අඟහරුවාදා, බදාදා

සිංහ
බුද්ධිමත් තීරණ ගන්න

සඳු ගමන් ගන්නේ 12 ලග්නය හා දෙවැන්න මතිනි. ආරම්භක දින දෙක පාඩුවක් නිශ්ඵල ගමනක් යෙදිය හැකි බැවින් බුද්ධිමත්ව වැඩ කරන්න. ඉන්පසු අයහපත් නැත. කුටුම්භ සංරක්ෂණය හා රැකියා, ව්‍යාපාර යහපත් අයුරින් පවත්වා ගත හැක. උසස් උගත් හිතමිතුරන් හමුවේ ලෝභ නැතුව පින් දහම් කටයුතුවල යෙදෙයි. යහපත් සිතුවිලි උදාකරන වාසනාවන්ත සතියකි. අපල අවම විමට අභිසම්භිධාන පිරිත උදේ සවස කියන්න.

සුබ අංක – 1, 4, සුබ වර්ණ – රතු, තැඹිලි, සුබ දවස් – අඟහරුවාදා, බදාදා

කන්‍යා
මිශ්‍රඵල ගෙනදෙයි

සඳු ගමන් ගන්නේ 11, 12 ලග්නය මතිනි. ආරම්භය සතුටුදායකය. ඔබට ලැබිය යුතු ණය මුදලක් හෝ වෙනත් ලාභ ප්‍රයෝජනයක් ලැබෙන්නට ඉඩ ඇත. සතිය මැද කල්පනාකාරී විය යුත්තේ නිශ්ඵල වියදමක් යෙදිය හැකි බැවිනි. සතිය අග ඔබගේ කටයුතු ප්‍රශංසාවට ලක්විය හැකි ඔබ අගය කරන සුළු කොටසක් හෝ සිටීම නිසා සැනසීම ඇති කරයි. චිත්ත ශක්තිය වර්ධනය කර ගන්න. අපල අවම වීමට භාවනාවක යෙදෙන්න.

සුබ අංක – 2, 3, සුබ වර්ණ – කොළ, සුදු, සුබ දවස් – බදාදා, සිකුරාදා

තුලා
රැකියා, ව්‍යාපාර යහපත්

සඳු ගමන් ගන්නේ 10, 11, 12 යන භාවයන් හරහාය. රැකියා, ව්‍යාපාර කටයුතු වෙනුවෙන් ඇවිදිලි වැඩි වුවත් ලාභ ප්‍රයෝජන ඉපයිය හැකි වේ. තමාගේ ගෞරවයට හානි වන කිසිවක් කිරීමට ඉදිරිපත් නොවන මිතුරන් තෝරා බේරා ගැනීමට ද උනන්දුවේ. මව් පාර්ශ්වයේ හෝ ස්ත්‍රීන්ගෙන් උදව් උපකාර ලබයි. දරුවන්ගේ ඉගෙනුම් කටයුතු පිළිබඳ සතුටු විය හැකි සුබ සතියක් වන අතර සතිය අග අන්‍යයන්ගේ රැවටිලිවලට ලක්විය හැකි බැවින් බුද්ධිමත් වන්න. අපල අවම වීමට හැකි පමණින් කුසගින්නේ සිටින අයට උපකාර කරන්න.

සුබ අංක – 1, 2, සුබ වර්ණ – රෝස, සුදු, සුබ දවස් – සෙනසුරාදා, ඉරිදා

වෘශ්චික
පුණ්‍ය සිතුවිලි සහිතයි

සඳු ගමන් ගන්නේ 9, 10, 11 යන භාවයන් මතිනි. පුණ්‍ය සිතුවිලි මතු කෙරෙන අතර අසරණ අයට උදව් උපකාර කිරීම එකම අරමුණයි. එම අවස්ථාවන්ට මුල් වී කටයුතු කරයි. තමාගේ යැපීමට ඇති මුදල් පවා වියදම් කරයි. රැකියා, ව්‍යාපාර උනන්දුවෙන් කරගෙන යන දුවා දරුවන්ගේ කරුණු කාරණා පිළිබඳව සතුටුවිය හැකි සතියකි. අපල අවම වීමට පංචශීලය රැකීමම ප්‍රමාණවත් වේ.

සුබ අංක – 1, 2, 4, සුබ වර්ණය – තැඹිලි, සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා

ධනු
ගමන්බිමන් අධික වෙයි

සඳු ගමන් ගන්නේ 8, 9, 10 යන භාවයන් හරහාය. ආරම්භය කනගාටුදායක පුවත් කන වැකෙන්නට හැකි අතර ඉන්පසුව දින කීපය යහපත්ය. පුණ්‍ය කටයුතු දෙලොවටම වැඩදායක පරිදි යොදාගනියි. රැකියා, ව්‍යාපාරවල දියුණුව පිණිස වෙහෙස මහන්සි වෙයි. ගමන්බිමන් අධික වෙයි. ගෙදරදොර අත්‍යවශ්‍ය කටයුතු පිළිබඳ සැලසුම් සහගත ක්‍රියාමාර්ග අමතක නොකරයි. අපල අවම වීමට දාන මාන කටයුතුවලට උපකාරී වන්න. තමන් පුද්ගලිකව ද කරන්න.

සුබ අංක – 3, 5, සුබ වර්ණ – කොළ, තැඹිලි, සුබ දවස් – බදාදා, සිකුරාදා

මකර
සති අග සැනසීම උදාවේ

සඳු ගමන් කරන්නේ 7, 8, 9 යන භාවයන් මතිනි. ව්‍යාපාර කටයුතුවලින් මධ්‍යම ප්‍රමාණයේ ලාභ උපයයි. චිත්ත ශක්තිය පහත හෙළන කරුණු උද්ගත විය හැකි බැවින් බුද්ධිමත් වන්න. වංචාවලට හසු නොවන්න. ඔබෙන් උදව් උපකාර පතා එන කවරෙකුට වුවත් සුළු ප්‍රමාණයකින්වත් උදව් කරන්න. ඔබ කවදාවත් නොවැටෙන පුද්ගලයෙකු සේ ක්‍රියා කරන බැවින් සතිය අග සැනසීම උදාවේ. අපල අවම වීමට රතන සූත්‍රය කියන්න.

සුබ අංක – 8, 9, සුබ වර්ණ – සුදු, නිල්, සුබ දවස් – සිකුරාදා, අඟහරුවාදා

කුම්භ
යහපත් සතියකි

සඳු ගමන් ගන්නේ 6, 7, 8 යන භාවයන් මතිනි. රැකියා, ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ගත හැකි සතියකි. බුද්ධිමත් හිතවතුන් මුණගැසේ. තම අරමුණු අපේක්ෂා මුදුන්පත් කර ගැනීමට අවශ්‍ය විධි සහ ක්‍රමවේද සකස් කර ගැනීමට උනන්දු වෙයි. අන්‍යයන් සමඟ ඇසුරේදී වචනය පිළිබඳ සැලකිලිමත් වන්න. ඒ මිතුරන් අමනාප විය හැකි බැවිනි. අපල අවම වීමට පක්ෂීන්ට තිරිසනුන්ට ආහාර දෙන්න.

සුබ අංක – 7, 9, සුබ වර්ණ – නිල්, රතු, සුබ දවස් – සිකුරාදා, බ්‍රහස්පතින්දා

මීන
නිවැරදි තීරණවලට එළඹෙන්න

සඳු ගමන් කරන්නේ 5, 6, 7 යන භාවයන් හරහාය. දුවා දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වැඩිපුර වෙහෙසෙන සතියකි. ආදරය ප්‍රේමණීය සිතුවිලි පැන නැඟුණත් හැඟීම් පාලනය කර ගැනීමට බුද්ධිමත් වීම වැදගත් වේ. සතුරු කරදර මදකට සමනය වී සිතෙහි සැනසීම ඇතිවේ. එසේ වුවද ඔබ ඔබ ගන්න තීන්දු තීරණ සැමවිටම නිවැරදි ඒවාම නොවන බැව් වටහාගෙන වැඩ කරන්න. අපල අවම වීමට බ්‍රහස්පතින්දා දිනය මස් මාංශවලින් තොරව භාවනාවක යෙදෙන්න.

සුබ අංක – 4, 9, සුබ වර්ණ – රතු, කහ, සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division