Home » “හොරු ඇල්ලීම” විකුණා අවසන්

“හොරු ඇල්ලීම” විකුණා අවසන්

by Mahesh Lakehouse
May 18, 2024 12:30 am 0 comment

විජයග්‍රහණයෙන් වසර පහළොවක් ගතවෙන අද දිනයේ දැයේ ඒකීයභාවය වෙනුවෙන් සිය දිවි කුසුම මුදාහළ ඒ වීර කැල වෙත දණ බිම තබා වන්දනය කිරීම අප යුතුකමයි. ප්‍රාණ දානය පමණක් නොව කාය දානය, ශ්‍රම දානය ආදියෙන් ඔවුහු මේ බිම පෝෂණය කළහ. අද ජීවත් වෙන අප ඔවුන්ගෙන් නව පණ ලබා යළි උපන් සත්ත්වයෝය.

ත්‍රස්ත භීතිය මුළුමනින්ම පලවා හැර මේ රටට, විජයග්‍රහණයේ මාවත සිය ලෙයින් දහදියෙන් විවර කළ උදාර රණවිරුවන්, ඒ සඳහා නායකත්වය දුන්, පෙරමුණ ගත් සියලු දෙනා ද අප සිහිපත් කළ යුත්තේ, දේශයේ ආයුෂ දීර්ඝ කරන ලද ඔවුන් අමරණීය වන හෙයිනි.

විජයග්‍රහණයේ දිනය යෙදෙන අද දවසේ පරාජයක් පිළිබඳව කතාන්දර නොකිව යුත්තේ වුවත් “දිනනු බැරි තෙමේ“ වපුරන අසත්‍ය මත්තේ තවම මේ රට විපිළිසරව ඇත්තේය. ඒ ඔස්සේ ගොස් රැවටී ඇති දනන් වෙත රටක ජයග්‍රහණය සහ පරාජය අතර වෙනස කිමදැයි පැහැදිලි කළ යුත්තේය.

1994 පැවති එජාප ආණ්ඩුව පෙරළීම සඳහා පොදුජන එක්සත් පෙරමුණ මහජන අවධානය දිනා ගත හැකි කරුණු දෙකක් ඉදිරියට ගෙනාවේය. “දුෂණය සහ භීෂණය“ නම් දෙඋවදුරෙන් මේ රට මුදා ගන්නේ යැයි ප්‍රතිඥා දෙමින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බලයට පත්වූවාය. ඒ වන විට ජවිපෙ මුවා වී සිටියේ “මල් බඳුනට“ය. ආරිය බුලේගොඩගේ පක්ෂය යටතේ ජනාධිපතිවරණයට නිහාල් ගලප්පත්ති ජවිපෙ වෙනුවෙන් නාම යෝජනා භාර දුන්නේය. අවසාන මොහොතේ, චන්ද්‍රිකාට සහය ලබා දෙමින්, ගලප්පත්ති සිය අපේක්ෂකත්වය ඉවත් කර ගත්තේය. “දූෂණය සහ භීෂණය“ නිමා කිරීම සඳහා බලයට පැමිණි ආණ්ඩුව කොමිසම් ගණනාවක් එක පිට එක දමන්නට විය. කොමිසම් දමා දවසේ පුවත සඳහා කතා නිර්මාණය කරගත හැකි වුවත් , එවන් කිසිදු දූෂණයක් භිෂණයක් සොයා ගත නොහැකි විය. ජවිපෙ ද චන්ද්‍රිකාගේ ආණ්ඩුවට සහය දුන් බැවින්, දූෂණ සෙවීම සඳහා නොගත් මහන්සියක් නැත්තේය. අන්තිමට ජවිපෙ වෙනම ගමනක් යන්නට තීරණය කර, පක්ෂයක් ලෙස සංවිධාන ගත විය. මේ කාලය වන විට දූෂණ චෝදනා රාශියක්, චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව වෙත ගොනු වෙන්නට පටන් ගෙන තිබුණේය. පාර්ලිමේන්තුවේදී වරු ගණන් ආණ්ඩුවේ දූෂණ හෙළි කළ ජවිපෙ, ඇයගේ ආණ්ඩුව සමඟම පරිවාසයකට ගියේය.

ඊළඟ වාරයේදී ජවිපය මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා සිය සියලු වැර යොදන්නාහ. ටික දිනකින් මහින්දගේ ආණ්ඩුව දූෂිත යැයි කියමින්, එළියේ සිට මොර දෙන්නාහ. යහපාලන ආණ්ඩුව බලයට එන්නේ, හොරු ඇල්ලීමේ පදය පෙරටු කරගෙනය.

ඒ ආණ්ඩුවේ හොරු ඇල්ලීමේ යන්ත්‍රණය එක් තැනකට සීමා වූයේ නැත. අල්ලස් කොමිසම සහ සාමාන්‍ය අධිකරණ ක්‍රියාවලියට එහා ගිය යන්ත්‍රණයක් එතැන නිර්මාණය වී තිබුණි. ජේ.සී. වැලිඅමුණ වෙනම හොරු අල්ලන ඒකකයක් සංවිධානය කර තිබුණි. ඩුබායි හි තිබූ දේපළ සහ මුදල් ගෙන ඒම පිණිස, රටේ නායකයාගේ බලතල වැලිඅමුණ වෙත ලිඛිතව පවරා දෙමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙනම ලිපියක් ද ඩුබායි බලා යෑම පිණිස වැලිඅමුණට ලබා දෙන්නේය. එහෙම ගොසින් සොයා ගත් දෙයක් නැත්තේය.

අර කල්ලිය සොරකම් කළ බව කියමින්, අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් අරලිය ගහ මන්දිරය අසල වෙනම දූෂණ සෙවීමේ ඒකකයක් ඇති කෙරිණි. එහි ෆයිල් සියල්ල බල බලා වෙනම කණ්ඩායමක්, නඩු පැවරීම සඳහා ක්‍රියාත්මක විය. අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමැති ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ සේවය කළ ආනන්ද විජේපාල, දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා විය.

2017 ජුනි මාසයේදී මෙම ලේකම් කාර්යාලය වසා දැමුවේය. නීතිපති දෙපාර්තමේන්තුව හරහා චෝදනා ගොනු කරන ලද නඩු හතළිස් දෙකක් සඳහා දූෂණ මර්දන කමිටුවේ විශේෂඥ උපදෙස් ලැබී තිබුණ මුත්, ඒ සියලු නඩු අහක ගියා මිස අනුර කුමාරගේ නායකත්වයෙන් “අල්ලන ලද හොරෙක් නැත්තේය“. එම ඒකකයෙන් කිසිම දූෂණයක් සොයා ගත නොහැකි වුව ද, එය නඩත්තු කිරීම සඳහා කෝටි තුනකට වැඩි මුදලක් එම කාර්යාලයේ වියදම් සඳහා ආණ්ඩුව දරා තිබුණේය. ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජිකයකු ලෙස දැන් සිටින ආනන්ද විජේපාල, මාලිමාව ලකුණින් ගල්ගමුව ප්‍රාදේශීය සභාවට තරග කිරීමට කණ්ඩායම් නායකයා ලෙස නාම යෝජනා ලබාදී තිබුණි. සොයන ලද දූෂණයක් නැත්තේ මුත් එම වසර දෙකක කාලය තුළ ඔහු වැටුප් ලෙස ලක්ෂ දොළහක මුදලක් ලබා ගෙන ඇතැයි, පාර්ලිමේන්තුවේදී පසු කලෙක හෙළි විය.

දූෂණ විරෝධී කමිටුව දූෂණ හෙළි කිරීම සඳහා වෙනම පොලිස් කොට්ඨාසයක් ස්ථාපිත කළේය. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව හෙවත් එෆ්.සී.අයි.ඩි.ය. පිහිටුවා අසුවෙන හැම දෙයක්ම එතැනට ගෙනවිත් ප්‍රශ්න කළේය. සාමාන්‍ය නඩුකර ලෙස එවන් චෝදනා පවත්වා ගෙන යෑම, කල් ඇදෙන බැවින් එක දිගට දිනපතා එවැනි නඩු ඇසීම පිණිස, වෙනම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් ද පිහිටුවිය.

මෙහෙම හොරු අල්ලනවා කියා අන්තිමට ඒ සඳහා අවශ්‍ය නීති නැති බව කියමින් වැලපෙමින් “හොරු අල්ලනවෝ” යැයි දේශපාලන වේදිකාවේ පාරම් බාන්නාහ. දැන් ඒ යුගය අවසන්ය. හොරුන්ට දවම් දිය හැකි තදබල යන්ත්‍රණයක් දැන් නිමවා අවසන්ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගතවූ දෙවසරක කාලය තුළ, දූෂණ මර්දනය පිණිසම නව නීති සම්මත කළේය. දකුණු ආසියාවේ ශක්තිමත්ම දූෂණ නීති ඇති රට ශ්‍රී ලංකාව හෙයින් දැන් වෙනදා මෙන් “ඔය මස් කඳ වෙන්දේසියේ දමා“ ඡන්ද කඩාගත නොහැකිය.

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division