Home » මම දැක්ක ලස්සනම හදවත තියෙන්නේ මගේ මහත්තයට

මම දැක්ක ලස්සනම හදවත තියෙන්නේ මගේ මහත්තයට

by sachintha
May 4, 2024 12:30 am 0 comment

– ලැබෙන හැම ජය පරාජයක්ම සතුටින් භාර ගන්න සූදානම්

-අපි අතර තියෙන්නෙ භාෂාවේ ප්‍රශ්නයක් මිසක මනුස්සකමේ ප්‍රශ්නයක් නොවේ

මේ දිනවලා සමාජ මාධ්‍යය තුළ සැරිසරන ඔබට දකින්න ලැබෙන සුන්දර යුවතියක් සචිනි චතුරංගි. ඇය කා අතරත් කතාබහට ලක්වන්නේ ජීවිතේ ලද අත්දැකීම් අත්විඳීම් හරි රහට ගළපාගෙන ජීවිතේ දිනපු කෙනෙක් නිසා. ඒ එක්කම දෙමළ විඩියෝ හදන සිංහල කෙනෙක් විදිහට. මේ ගැන අපි සචිනි චතුරංගි එක්කම කතා කළා. මේ ඇය මෙතෙක් ආ ගමන් මඟේ කතාව කෙටියෙන්.


සචිනි ඔබ ගැන මේ වෙද්දී සමාජ මාධ්‍යය තුළ වැඩි කතාබහක් ඇති වෙලා තියෙනවා, ඇත්තටම ඔබ කවුද?

මගේ නම සචිනි චතුරංගි. මගේ වයස අවුරුදු 25. ගොඩාක් අය මාව දන්නේ දෙමළ විඩියෝ හදන සිංහල කෙනෙක් විදිහට, ඔව් ඒ විදිහ හරි. ඒ වගෙම මම මේ වෙනකොට කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ අවසන් වසර ශිෂ්‍යාවක්.

පවුලේ විස්තර ගැන කිව්වොත්

අපි පුංචි සරල පවුලක්. මගේ පවුලේ තාත්තායි මල්ලිලා දෙන්නයි. අම්මා මීට අවුරුදු 7කට කලින් පිළිකාවක් නිසා අප අතරින් සමු ගන්නවා. මම විවාහකයි. මහත්තයගේ පවුලේ අම්මයි තාත්තයි. එයාලා කිසිම වෙලාවක මගේ හීනවලට තහංචි දැම්මේ නැහැ. තමන්ගේ දුවට වගෙම ආදරේ කරනවා. ඒ වගේම මගේ බාප්පායි පුංචියි, මගේ අම්මාගේ අඩුව නොදැනෙන්න අපිට ආදරේ කරනවා. අපි මගෙ මල්ලිලා දෙන්නාවත් බලාගෙන සතුටින් ජීවත් වෙනවා. මේ වගේ සහයෝගී පවුලක් ලැබෙන්න මම වාසනාවන්තයි.

ජිවිතේ ලබපු අත්දැකීම් අත්විඳීම් ඔබ අද දකින්නේ කොහොමද?

මගේ ජීවිතේ කටුක අත්දැකීම් තමයි මගේ හොඳම motivation එක වුණේ. ජීවිතේ අපි සාර්ථක වුණාම කියන්න අපිට ලස්සන කතාවක් තියෙන්න ඕනේ. ඉතින් මං ළඟත් ඒ වගේ කතාවක් තියෙනවා. ඒ වගේම වැටුණු තැන් රිදුණු තැන් හරි ලස්සන පාඩම් අපිට කියලා දෙනවා. ඒ හැම පාඩමක්ම ඉගෙන ගෙන මගේ ජීවිතේ මං ඉස්සරහට යනවා.

මේ වෙද්දී ඔබ මොකද කරන්නේ?

මේ වෙනකොට මම අධ්‍යාපන කටයුතු වල නියැළෙමින් ඉන්නවා. ඊට අමතරව දෙමළ සිනමා නිර්මාණයක රූගත කිරීම්වල නියැළෙමින් ඉන්නවා. අධ්‍යාපන කටයුතුවල නිමාවත් සමඟ ඉන්දියාවේ සිනමා ක්ෂේත්‍රයේ පුහුණුවීම් සඳහා යාමට සූදානම් වෙමින් ඉන්නවා.

ඔබේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය මොකක් ද?

මගේ අම්මාගේ වියෝවත් එක්ක මගේ අධ්‍යාපනය කඩන් වැටෙනවා. නමුත්, පවුලේ අයගේ ඉල්ලීමත් සමඟ මම උසස් පෙළට මාස 7ක කාලයක් තියෙද්දි උපකාරක පංති යනවා. ඒ කාලේදී මගේ ආර්ථික අපහසුකම් නිසා මට සර් කෙනෙක් ෆ්‍රී කාර්ඩ් දෙනවා. මං ආදරෙන් මතක් කරන්න කැමැතියි ඒ සර් තමයි ගයාන් පතිරණ. එදා ක්ලාස් එකේ ලකුණු 3ක් තිබ්බ මං අවසන් විභාගය ලියන කොට ලකුණු 99ක් ගත්තා. ඒ වගේම ඒ සර් අපිට පෙන්නපු මාර්ගය ඉලක්කය ධෛර්‍යවන්තකම මගේ සාර්ථකත්වයට හේතුවක් වුණා. මට ලැබුණු ආදරය මගේ ආදරණීය සැමියා තමයි අද මං ඉන්න තැනට හේතුව වුණේ. මගේ ඉලක්කයත් එක්ක හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ මගේ ආදරණීය සැමියා මුණගැසීම.

මේ තරම් හොඳින් දෙමළ බස පුරුදු පුහුණු වුණේ කොහොමද?

මම පාසල් කාලයේ සිටම දෙමළ විෂය සඳහා වැඩි ලකුණු ප්‍රමාණයක් ගත්තා. එත් දෙමළ කථනය පුළුවන් වුණේ මාස 3ක වගේ කෙටි කාලයකදී. එයට හේතුව වුණේ දෙමළ චිත්‍රපටි එකක් නෑරම බලන නිසාම වෙන්නැති. මම හුඟාක් දෙමළ චිත්‍රපටි බලන්න කැමැතියි. ඒ වගෙම දෙමළ සංස්කෘතියට කැමැතියි. ඒ වගේම දෙමළ කතා කරන අයගේ ආදරයට සීමාවක් නැහැ. ඉතින් ශ්‍රී ලාංකිකයෙක් විදිහට මම තේරුම් ගත්ත එකම දේ අපි අතර තියෙන්නෙ භාෂාවේ ප්‍රශ්නයක් මිසක මනුස්සකමේ ප්‍රශ්නයක් නොවන බව. මට ඕනෑ වුණා මුළු සමාජයටම එය පෙන්වන්න. මම මගෙ කන්ටෙන්ට්වලට දෙමළ මාධ්‍ය තෝරාගත්තා. අද මගේ විඩියෝ බලන අයගෙන් ලැබෙන ආදරය වචනයෙන් කියා නිම කරන්න බැහැ.

ඔබේ ආදරේ ඔබට කොහෙදිද මුණගැහුණේ?

මම ආදරෙන් පරාජය වුණු කෙනෙක්. අවසානෙදී මට ආදරේ දිනන්න පුළුවන් වුණා. එ වගෙම ඒ ආදරේ මාව දිනෙව්වා. එයාගේ නම ශේෂාන් අපි මුලින්ම මුණ ගැහුණේ අවුරුදු 16දී යොවුන් සේනාංක පාඨමාලාවකදි. අපේ ආදර කතාවේ විශේෂම දේ තමයි එයාගේ ජීවිතේ පළවෙනි ආදරය මම. නමුත් පාඨමාලාව අවසන් වීමත් එක්ක අපි වෙන්වෙනවා. ආයෙමත් අවුරුදු 5කට පස්සේ සමාජ මාධ්‍ය හරහා අපි හමු වෙනවා. අවුරුදු 5ක කාලයක් යාළුවෝ වගේ හිටපු අපි පෙම්වතුන් වෙලා අපේම ජීවිතයක් පටන් ගන්නවා. අදටත් මටත් වඩා මගේ දියුණුව හිතන්නේ එයා. මම ආදරේ කරන කෙනෙක්ට වඩා මට ආදරේ කරන කෙනෙක් ලැබුණු නිසා ආදරේට තියෙන නියම වටිනාකම මගේ මහත්තයගෙන් දකිනවා.

ජීවිතේ ඔහු තුළින් දැක්ක හොඳම ගුණාංගය මොකක් ද?

එයා හරිම හොඳ කෙනෙක්. නිහතමානියි. මං එයාගෙන් දකින හොඳම දේ තමයි කිසිම වෙලාවක කිසිම කෙනෙක් පහත් නොකර තමන්ගේ හැකියාවන්ගෙන් ජීවත් වෙන එක. මගේ කඩා වැටීම් හුඟාක් මැද්දේ එයා මට කියන එකම දේ කිසිම කෙනෙක් කඩා වැටීමක් එක්ක ඉස්සරහට එන්නේ නෑ කියන එක. එයා ළඟ නිතරම ධනාත්මක සිතුවිලි තියෙනවා මම එකට හුඟාක් කැමතියි. ඒ වගේම එයා කොහෙ ගියත් හැම මනුස්සයෙක් එක්කම හිතවත් වෙනවා. මම පොඩ්ඩක් නිහඬව හිටියත් එයා එහෙම නෑ. එයා මිනිස්සු එක්ක හරිම සුහදශීලීව වැඩ කරනවා. මම මේ ලෝකේ දැක්ක ලස්සනම හදවත තියෙන්නේ මගේ මහත්තයට.

ඔබ කියනවා කලාවේ දොරටු මේ වෙද්දී ඔබට ඇරිලා තියෙන්නේ කියලා. මොනවද මේ වෙද්දී සම්බන්ධ වෙලා තියෙන නිර්මාණ?

ඉන්දියාවේ ප්‍රකට විකට නළු සන්ධානම් සර්ගේ DD Returns Movie එකේ සින්දුවකට රංගනයෙන් දායක වුණා. ලංකාවේ සිනමාශාලාවන් හි තිරගත වන දෙමළ චිත්‍රපටියකටද සම්බන්ධ වෙන්න ලැබුණා. එය ඉදිරියෙදී තිරගත වීමට නියමිතයි. ඒ වගෙම ඉන්දීය ප්‍රබල රූපවාහිනි නාලිකාවක් වන Puthiya thalaimurai සබ්ස්ක්‍රයිබ් 10M ඉන්න යූටියුබ් නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙන්න මට පුළුවන් වුණා. ලෝකයේ ප්‍රසිද්ධ රැප් ගායකයන් වන yogee B සහ Dr.burn සහ Yuvan Shankar Raj යන අයගේ සම්මුඛ සාකච්ඡා ලබාගන්න මට හැකිවුණා. ඒ වගෙම ලංකාවේ සිංහල ගීත නිර්මාණ කීපයකට රංගනයෙන් දායක වනවා. ඒ අතර සිංහල ටෙලි නාට්‍යකට සම්බන්ධ වීමේ අවස්ථාවද ලැබුණා.

ඔබේ ජීවිතේ ඉලක්කය මොකක් ද?

මගේ එකම ඉලක්කය මුළු ලෝකේම ආදරේ කරන මගේ රටේ නම ජාත්‍යන්තර වශයෙන් දිදුලන දක්ෂ වැදගත් නිළියක් වෙන එක. ඒ ඉලක්කය වෙනුවෙන් මහන්සි වෙනවා. ලැබෙන හැම ජය පරාජයක්ම සතුටින් භාර ගන්න මම සූදානමින් ඉන්නවා.

අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division